ප්‍රාණ භුක්තිය


කෙටි කතාව

 

ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටවමුද?   
එක හොඳ අදහසක්!   
මොකද කියන්නේ?   
හැමෝම කැමතිද?   
අකමැති අය ඉන්නවද?   
මෙතන පහළොවක් විතර ඉන්නවා!   
තවත් ඕනෑනම් අපට ගමේ කැමති අය බඳවා ගන්නත් පුළුවන්!   
අපි එකතු වුනොත් කරන්න බැරි වැඩක් නෑ!   
එකමුතුකම තමයි අවශ්‍ය!   


අපට එකතු වුනොත් ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවා ගම දියුණු කරන්න පුළුවන්! අපේ ගමට මොනවා හරි කරන්න පුළුවන්! ඉතින් ගම දියුණු කිරීමට ඔයාලගෙ අදහස් මොනවාද? සැමගේ අදහස් අවශ්‍යයි. අපට කිසිම භේදයක් එපා! අපි හැමෝටම ඕනෑ එ්කනේ! අප සැමගේ අරමුණ ගම දියුණු කිරීම නේද?   


ඒ 1980 වසරයි! වොලිබෝල් ක්‍රීඩාව සඳහා එක්රැස් වූ අප කණ්ඩායම පහළොවක් පමණ ඇති! සෑම සති අන්තයකම ඉරුදින සැඳෑවල ගමේ එක කෙළවරක පිහිටි “තනිගහපිටිය වත්තට” වොලිබෝල් ක්‍රීඩාව සඳහා එක්වන්න වූයේ නිතැතින්මයි. වොලිබෝල් ක්‍රීඩාව සඳහා එකතුවූ අප විවිධ සාකච්ඡාවන්වල යෙදුනත් 1980 වසරේ එක සැන්දෑ භාගයක කළ කතාබහ තවමත් ආවර්ජනයට නැගෙයි.   


“තනිගහපිටිය වත්ත” නැමැති ඉඩම, ප්‍රමාණයෙන් පර්චස් 40ක් පමණ විය. අතීතයේ අප ඉපදෙන්නටත් පෙර මෙම ඉඩමේ කුඩා ගෙයක් තිබී ඇති බවත් එක් විශාල නුග රුකක් පමණක් තිබී ඇතිබවත් ගමේ එවකට පදිංචි සිටි බෙම්පි ආතා පවසා තිබූ බව මට තාමත් මතකයි. ඒ හින්දලු මේ ඉඩමට “තනිගහපිටිය වත්ත” කියලා නම වැටුණේ.   


අපේ ගමේ සුන්දරත්වය වර්ණනා විෂයාතික්‍රාන්තයි! සැබෑම අලංකාරයක්! ගමේ අලංකාරය වැඩි වර්ධනය වීමට ගම වටා තිබූ මනහර කඳුපෙල මෙන්ම කඳුවල වැටී තිබූ ජෛව විවිධ ශාක වල පලාවන් පැහැය හේතු වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ගමේ එක කෙළවරක කන්දකින් ගලා හැලෙන සුන්දර දියඇල්ලද ගමට ආලෝකයක් ගෙන දෙන තරුණ සිත් වසඟ කරන ආකර්ෂණීය ලලනාවක් බඳු චමත්කාර දර්ශනයකි.   
සෙනරත් වොලිබෝල් කණ්ඩායමේ නායකයා මෙන්ම හැමටම උදව් කරන, සැමදෙනා සමග ළෙන්ගතුව කටයුතු කරන කැපී පෙනෙන චරිතයක් විය. ඔහුගේ මනා කැපවීම මෙන්ම බලවත් උනන්දුව හේතුවෙන් ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවාගන්නා ලද අතර සෙනරත් එම සමිතියේ සභාපතිකමට පත්වූයේ නිතරගයෙන්ම වීම මෙහි තවත් ලක්ෂණයක් විය. සමිතියේ සෙසු නිලතල සඳහා පත් වූ අයද කම්මැලි නැති වැඩකළ හැකි අවංක පිරිසක්වීම විශේෂ කරුණක් විය. විශේෂයෙන්ම සමිතියේ භාණ්ඩාගාරික ලෙස පත්වූ අමරවීර අවංක, වංචා නොකරන තැනැත්තෙක්වීම අපට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් විය.   
තරුණ සිතුවිලි උදාරයි යන්න සනාථ කරමින් අප ගමේ සිටි තරුණ පිරිස අපට මහත් ආඩම්බරයක් විය. තරුණ පිරිසේ එකමුතුකම උනන්දුව හා උද්යෝගය අවට ගම්වල තරුණ ප්‍රජාවට මෙන්ම වැඩිහිටියන්ට පවා පුදුම උපදවන මහත් ප්‍රශංසා කළයුතු ක්‍රියාවක් විය. “සැම එකාට” “එකා සැමට” යන්න වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අප ගමේ තරුණ පිරිස තුළ විය. ගමේ තරුණ පිරිස දේශපාලන වශයෙන් වෙනස් අදහස් දැරූවත් ඔවුන් අතර භේදයක් නොවූ අතර, ඔවුන්ගේ ඒකායන මාර්ගය වූයේ ගම නගා සිටුවීමේ ක්‍රියාදාමයයි. මේ ගම නගා සිටුවීමේ මුරගල වූයේ අප පිහිටුවා ගත් ග්‍රාම සංවර්ධන සමිතියයි.   
“ජෙරොම් මාස්ටර්” තරුණ පිරිස සමග ඉතා සමීපව විවිධ වැඩකටයුතු වලට සම්බන්ධව කටයුතු කරන ආකාරය ඇත්ත වශයෙන්ම හිතා ගන්නට නොහැකි තරම් විය. 

 
යෞවන වයසේ සිටි ගමේ තරුණයන් සමග තරුණ විය ඉක්මවා වැඩිහිටි වයසට ආසන්නව සිටි ජෙරොම් මාස්ටර් වැනි තැනැත්තෙක් මෙලෙසින් සම්බන්දකම් පැවැත්වීම එක්තරා අන්දමක පුදුමාකාර සිද්ධියකි.   
ගමේ මල ගෙදරකදී, පන්සලේ මල්වට්ටි වෙන්දේසියකදී මෙන්ම, පින්කම් වලදීද ගමේ පොදු උත්සව අවස්ථාවන් වලදීද ඔහු ගමේ තරුණ පිරිස හා එක්ව වැඩකටයුතුළෛ් තරුණ ජවයකින් යුතුව යැයි පැවසිය හැක.   


ගමේ ඉංග්‍රිසි දැනුමක් නොමැති බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ලිපියක් ලියා ගන්නට මෙන්ම ඉංග්‍රිසියෙන් රැකියාවකට අයදුම්පත්‍රයක් සකස්කර ගැනීමට පැමිණියේද ජෙරොම් මාස්ටර් ළඟටයි. ගමේ කෙනෙකු තම අවශ්‍යතාව සඳහා පැමිණි විට හැකි ඉක්මනින් එම වැඩය ඉටුකරදී ඒ සඳහා කිසිදු මුදලක් ලබා නොගැනීමද ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණයකි.   


ඔහුට මගේ අම්මගේ පැත්තෙන් නෑකමක් තිබෙන බැව් වතාවක් අම්මා කියා ඇති බව මට මතකයට නැගේ. ඔහුට “මාස්ටර්” යන නම පටබැඳුනේ කවද සිට කෙලෙසින්ද යන්න මට මතකයට නගාගන්නට අපහසු වුවද ඔහු සතු වූ ඉංග්‍රීසි පිළිබඳ දැනුම මෙන්ම දිගු කලක පටන් ඔහු ගමේ ළමුන්ට හා වැඩිහිටියන් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි උගන්වමින් සිටි නිසා එම නාමය ලැබූ බව බොහෝ දුරට සිතිය හැක.   
අපේ ගමේ ජීවත් වූ වැදගත් යයි සම්මත පවුලකට අයත් ජෙරොම්ගේ පවුලේ අය පිළිබඳ ගමේ පැවතියේ දැඩි භක්තියක් මෙන්ම ආදරයකි. අපේ කථානායකයා වන මාස්ටර් ඔහුගේ පවුලේ බාලයා වන අතර ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු වූ අතර ඔහුගේ ලොකු අක්කා නිසි කල යෝජිත විවාහයකින් විවාහ වී ගමෙන් ඈත ප්‍රදේශයක ජීවත්ව සිටියාය. ඇය සිය පවුලේ අය සමග වුවද ඉතා සමීප බවක් නොවූයේ ඇගේ ස්වාමිපුරුෂයා දැඩි නීතිරීති සහිත ආඥාදායක බවින් අනූන වූ ආත්මාර්ථකාමී තැනැත්තෙක් නිසාම බැව් ගමේ වැඩි දෙනාගේ මතයයි. විවාහය සමග ගමෙන් පිටවී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටි ජෙරොම්ගේ වැඩිමහල් අක්කගේ ස්වාමිපුරුෂයා ගමට පැමිණියේ ජෙ​රොම්ගේ තාත්තාගේ මරණයට පමණක් බැව් අදත් ගමේ වැඩිහිටියන් පවසන කතාවකි.   


අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඉංග්‍රීසි විෂයට පමණක් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා තිබුණ ජෙරොම් අයියා එම විභාගයේ අනෙකුත් විෂයයන් සියල්ලම අසමත්වී සිටීම අති විශේෂ කාරණාවක් වුවද සත්‍ය එය විය.   
උග්‍ර වාමාංශික අදහස් දරන්නෙකු වූ ජෙරොම් අයියා එවකට ලංකා සමාජවාදී පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකයෙකු ද විය. කෙසේ වුවද පක්ෂය මෙහෙයවූ වෘත්තීය සමිති අරගල හර්තාල් ව්‍යාපාරය හා විරෝධතා ව්‍යාපාර ආදියේ ක්‍රියාකාරී ලෙස සහභාගී වූ ඔහුට පසුකාලීනව සමාජවාදී පක්ෂය තුළ කිසිදු පිළිගැනීමක් නොමැති තරම් විය. ඇත්ත වශයෙන්ම ජෙරොම් නොමැති කිසිදු වැඩසටහනක් සමාජවාදී පක්ෂය තුළ නොවූ බව අවධාරණයෙන් ප්‍රකාශ කළ හැක. මෑතක් වනතුරුම සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ කළුතර ශාඛාව නියෝජනය කල මෙම පුද්ගලයා කලින් සිටි වාමාංශික දේශපාලනයට හදිසියේ සමුදී ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී පසුකාලීනව දේශපාලන කටයුතුවල නියැලෙන්නට වීම අදහාගත කරුණක් විය.   


පළාතේ නිදහස් පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය පතා අපමණ වෙහෙසක් ගෙන දිව රෑ නොබලා කටයුතු කිරීම නිසා එම අපේක්ෂකයා ජයග්‍රහණය කර අමාත්‍යධුරයක් ලැබුනේ වුවද ජෙරොම්ට රජයේ කිසිදු රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූයේ ඔහු සාමාන්‍ය පෙල ඉංග්‍රීසි විෂය පමණක් සමත්ව සිටීම හේතුවෙනි.   
වාමාංශික දේශපාලනයෙන් මෙන්ම මැදපන්ති දේශපාලනයෙන්ද කිසිදු සහනයක් සතුටක් ලබා ගැනීමට නොහැකි වූ ජෙරොම් අයියාගේ තරුණ වයස ඉක්මයාමට පෙර ඔහුගේ සිව් අවුරුදු ආදරය අතහැරෙන්නේ පිට පිට එන හෙණගෙඩි පුපුරන්නාක් මෙනි. ඔහු වෙතින් ඉංග්‍රීසි ඉගෙනගත් ගමේ මනා පෙනුමැති, වත්පොහොසත්කම් නොමැති තරුණියකගේ ඉල්ලීම පරිදි ජෙරොම් අයියා ඇය හා ආදරයෙන් බැඳෙන්නට විය. ඇයගේ පවුලේ දරිද්‍රතාව නිසාම කලින් සිටම ජෙරොම් අයියා ඇයට ඉංග්‍රීසි ඉගැන්වූයේ ගාස්තුවක් අයනොකර නොමිලේම බව ම හොදින් දන්නා කරුණකි. ආදරය ක්‍රමයෙන් මෝරා යද්දී දේශපාලන බලපෑම් මත රාජ්‍ය බැංකුවක රැකියාවක් ලබාගත් ඇය ජෙරොම් අයියා සමග තිබූ ආදරයට තිත තැබුවේ පුදුමාකාර ලෙසිනි. මෙම සිද්ධියෙන් පසු ජෙරොම් අයියා මා සමග පැවසූයේ තමන් ඉදිරි ජීවිත කාලයේදී විවාහ නොවී තනිකඩව ජීවත් වන බවයි. මෙම කථාව ඇසීමෙන් අනතුරුව මට ජෙරොම් අයියා ගැන මහත් දුකක් ඇති විය.   
එවකට රාජ්‍ය දෙපාර්තමේන්තුවක රැකියාවක් කළ තරුණ වයසේ සිටි මාද ඇතුළු කණ්ඩායමකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ආශාව මෙන්ම අවශ්‍යතාව අති මහත් වූ බැවින් ගමේ තරුණ අප කිහිප දෙනෙක් ජෙරොම් අයියාගෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමට කටයුතු සිදු වුයේ නිතැතින්මයි. ඔහු අප තරුණ පිරිසට මනා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළ අතර ඔහුගේ ඉගැන්වීම් ක්‍රමවල තිබූ සරල කම නිසාම අප සියල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වී පසු කාලීනව අපේ රැකියාවල උසස්වීම්වලට එය දැඩි බලපෑමක් වූ බව සඳහන් කල යුතුමය.   


ජෙරොම් අයියාගේ දෙවැනි අක්කාගේ විවාහයද මේ කාලයේ සිදු වූ අතර එම විවාහයට පෙර ඔහුගේ අම්මා තමාට අයත් ඉඩම තමන්ගේ ප්‍රාණ භුක්තියට යටකර ජෙරොම් නමට ලියාදීම අම්මා ගත් බුද්ධිමත් තීරණයක් විය.   
අම්මාගේ මරණයෙන් පසුව කුලී ගෙයක පදිංචිව සිටි පොඩි අක්කා තම අවිවාහක මල්ලිව බලා ගැනීමට කියා මහගෙදර පදිංචි වූ අතර අනතුරුව සිදුවූයේ සදාචාර නොවන කථාවක මුලාරම්භයයි.   
ජෙරොම් මල්ලිව ජීවිතාන්තය දක්වා හොඳින් බලාගන්න බව ප්‍රකාශ කළ ඔහුගේ පොඩි අක්කා හා ඇගේ ස්වාමිපුරුෂයා, ජෙරොම්ගේ ප්‍රාණ භුක්තිය තියා ගෙන ඔහුගේ ඉඩම තමා නමට ලියා දෙන ලෙස ඉල්ලා ජෙරොම්ගෙන්, පොඩි අක්කා නිතර නිතර ඉල්ලන ලදි. නීතිඥ මහතෙකු අල්ලාගෙන කපටිලෙස හා ශූරලෙස ප්‍රාණ භුක්තියකින් තොරව ජෙරොම්ගේ ඉඩම පොඩි අක්කගේ නමට ලියාපදිංචි කරන ලද්දේ ජෙරොම් අයියාට නොතේරෙන ලෙසයි. ඇත්ත වශයෙන් ජෙරොම් අයියා තම පොඩි අක්කා කෙරෙහි වූ අචල විශ්වාසය මේ පිළිබඳව සොයා නොබැලීමට එකම හා ප්‍රධානතම හේතුව විය.  


ජෙරොම්ට තමාගේ පොඩි අක්කා සලකන ආකාරය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. සමහර දිනවල ඔහුට කෑමදීම පවා අඩුකරන්නට විය. ජෙරොම්ගේ පොඩි අක්කා ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම ළමයි දෙදෙනාද ජෙරොම්ට විවිධ කරදර කරන්නට වූයේ ඔහු මේ ගෙදරින් එළවා දැමීම සඳහාමය. මේ වෙනස්කම් දුටු අප ජෙරොම් අයියාට අපගේ ගෙවල් වලින් කෑම ලබාදීමට කටයුතු කරන්නට විය. ඒ සඳහා ඉඩ ප්‍රස්ථා නොදීමටද එසේ නොකරන ලෙසද ජෙරොම්ගේ පොඩි අක්කාගෙන් අපට තර්ජන එල්ලවන්නට විය.  
ප්‍රණ භුක්තිය නොතබා තම පොඩි අක්කා ඇයගේ නමට සින්නක්කරව තම ඉඩම ලියාගෙන ඇති බව ජෙරොම්ට වටින් ගොඩින් ආරංචි වන්නට විය. එවිට ඔහු කළුතර ඉඩම රේජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් මේ පිළිබඳ විමසීම් කරන්නට විය. අවසානයේදී ඔහුට දැන ගන්නට ලැබුනේ තම ප්‍රාණභුක්තියෙන් තොරව පොඩි අක්කා කපටි ලෙස ඉඩම ඇයගේ නමට ලියාගෙන ඇති බවයි.   


මෙලෙස පොඩි අක්කා ඇතුළු පවුලේ අයගෙන් සිදුවන වෙනස් කම් නිසාම ජෙරොම් අයියාව අප තරුණ කැළ එකතු වී වැඩිහිටි නිවාසයක නැවැත්වීමට උත්සාහ ගත්ත ද ජෙරොම් අයියා එයට තරයේම විරුද්ධ විය. ඔහු තම නිවසින් ඉවත් නොවන බව අවධාරණයෙන් පැවසුවද ජෙරොම් අයියා තද බල අසහනයකින් වේදනාවකින් සිටි බව අපට පැහැදිලි විය.   


නිතර නිතර ගෙදරින් ඈත්ව තම එදිනෙදා කටයුතු කරගන්නට පුරුදු වූ ජෙරොම් අයියා රාත්‍රී කාලයට පමණක් තම නිවෙසට ඒමට පුරුදු වූ බැව් අපට දැනගන්නට ලැබුණි. රාත්‍රී ආහාරය පවා නොගෙන ජෙරොම් අයියා තම නිවසේ ගත කරන්නට වූ වාර ගණන විශාල ලෙස වැඩිවිය. ඔහු ගැන ඔහුගේ පොඩි අක්කා, ඇගේ ස්වාමිපුරුෂයා හා ළමයින් දෙදෙනා දක්වන සැලකිල්ල ක්‍රම ක්‍රමයෙන් අඩු කරන්නට වූයේ දුක්ඛදායක වේදනාවක් අප තරුණ පිරිසකගේ සිත් තුළ ජනිත කරවමිනි. 

 
මෙලෙසින් තම සහෝදරිය ඇගේ ස්වාමිපුරුෂයා හා ඇගේ දරුවන් දෙදෙනාගෙන් ජෙරොම්ට වන කෙනෙහිලිකම් වර්ධනය වූයේ හිතා ගන්නට පවා නොහැකි ලෙසයි. තරුණ අපටද ජෙරොම් අයියාට උදව් කිරීමට ඇගේ පොඩි අක්කා ඉඩනුදුන් අතර, ඇයගේ බොරු අවලාද හමුවේ අපට කළහැකි දෙයක් ද නොවීය.   
මෙලෙසින් මාස ගණනාවක් ගත විය. ගෙදර කිසිවකු නොමැති අවස්ථාවකදී ජෙරොම් අයියා බාල්කයක එල්ලී දිවිනසා ගත් බව දැනගන්නට ලැබුණි.

 

 

ගාමිණි පීටර්ස්   
උතුරු පයාගල