නාට්‍ය රසය ප්‍රේක්ෂකයන්ට නිසි ලෙස ලබාදීම මගේ සතුටයි, නර්තනයෙන් - රංගනයෙන් ජනාදරය දිනු කැළුම් ශ්‍රී


තමාගේ නර්තන හැකියාව නිසා කලා ලොව දොරටු විවර කරගත් ඔහු අද වෙන විට දක්ෂ නර්තන ශිල්පියෙකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකුද වී හමාරය. ජාතික රූපවාහිනියේ විකාශය වන මාරක සර්කස්හි පවන්ගේ චරිතයෙන් අපට හමුවෙන කැළුම් ශ්‍රී සමඟ කළ සොඳුරු කතාබහට මෙවර සැඳැල්ලේ ඉඩකඩ වෙන් වෙයි.

ප්‍ර මාරක සර්කස් ගැන මුලින්ම කතා කරමු ද?

මාරක සර්කස් කියන්නේ මට ලැබුණු වෙනස්ම චරිතයක් මෙන් ම වෙනස්ම කතා වස්තුවක්. මෙය කවීෂ සංදීපගේ රචනයෙන්, අනුෂ්ක ඉඳුනිල්ගේ නිෂ්පාදන දායකත්වයෙන්,  සේනත් විමලවීරයන්ගේ කතා සංකල්පයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිපැයුණු ටෙලි නිර්මාණයක්. පසුදිනෙක මේ නිර්මාණයේ අවසානය සිදුවුණත් තවමත් ප්‍රේක්ෂකයෝ කතාබහ වෙන ටෙලි නිර්මාණයක්.

ප්‍ර තරුණ කෙනෙකු විදිහට මේ චරිතය ගැන මොකද හිතන්නේ?

මගේ මුල්ම බලාපොරොත්තුව තරුණ කෙනෙකුට කවදාවත් මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ කියන එක. ඇත්තටම මේක මානසික ලෙඩක්. මේ කතාව ආරම්භ වෙන්නේම පවන් කියන මම නිරූපණය කරන චරිතයට ජීවිතයේ තව දවස් 100යි ඉතුරු කියන තැනින්. මට ඒ වීදිහේ අත්දැකීමක් ලැබිලා නැති නිසා ඒ චරිතය ඇතුළේ මට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණා කියල හිතනවා. එහෙම තත්ත්වයකට මුහුණ දුන්නම මොනවද මනුස්සයෙකුට වෙන්නේ. එයා මැරෙන එක ගැන සතුටු වෙනවද නැත්තම් මැරෙන්න කලින් තව මොනවද කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් හිතේ තියාගෙන සමාජයට වෙනස් මුහුණක් පෙන්නන විවිධ වෙනස්කම් තියෙන චරිතයක්. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කළා කියලා. 

ප්‍ර පවන් ප්‍රේම සම්බන්ධයකදී පෙම්වතියගේ මව පියාගේ අත ගැසීම් සහ බලපෑම් නිසා අපහසුතාවට පත්වෙනවනේ. එහෙම අපහසුතාවට ලක්වෙන පිරිස ගැන කැලුම්ගේ අදහස මොකද්ද?

එහෙම තරුණ පෙම්වතුන් පෙම්වතියන් අතරට දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ මැදිහත් වීම මම අනුමත කරන්නේ නැහැ. දෙන්නෙක් ඒ අයගේ කැමැත්තෙන් එකතු වෙන්නේ එක්කෙනෙක් වගේ හැමදේම බෙදාගෙන ජීවත් වෙන්න හිතාගෙන. අනෙත් අයගේ උපදෙස්, අවවාද අනුශාසනා තරුණ අයට ඕනෑ. නමුත් පවුල් ජීවිතයක් ඇතුළේ තියෙන ප්‍රශ්නවලට බාහිර පාර්ශ්වවල උපදෙස් ගන්න හොඳ නැහැ. ඒ ප්‍රශ්නවල ස්වභාවය, ඒවායේ මට්ටම දන්නේ ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන දෙදෙනා විතරයි. ඉතින් මම හිතන්නේ ඒ මැදිහත් වීම් ප්‍රශ්න වැඩි කරනවා. 

ප්‍ර කැලුම්ට ජීවිතේ ඒ වගේ අත්දැකීම් ලැබිලා නැද්ද?

මට විතරක් නෙවෙයි මම හිතනවා බහුතරයකට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති කියලා. මටත් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. නමුත් ඒ දේවල් මම විසඳගෙන තියෙනවා. ඒවගේ ප්‍රශ්නයකදී තවත් ගැටලු නැතිවෙන්න ඒ දේවල් සීරුවට විසඳගන්න මම කටයුතු කරලා තියෙනවා.

ප්‍ර ඔබත් පියෙක්. ඔබේ අත්දැකීම් අනුව දරුවන්ට ලැබෙන්න ඕන නිදහස ගැන මොකද හිතන්නේ.

දරුවන්ට නිදහස ලැබෙන්න ඕන. නමුත් ඒ නිදහස දෙනවා කියන්නේ ළමයෙක් සම්පූර්ණයෙන්ම අත හැරලා එයට කැමති දෙයක් කරන්න දෙන එක නෙවෙයි. දෙමාපියන් විදිහට අපි ඔවුන්ට නිදහස බුක්ති විඳින විදිහ පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්න ඕන. සමාජයේ තියෙන ප්‍රශ්න, අසීමිත නිදහස නිසා වෙන්න පුළුවන් ගැටලු ගැන අපි විවෘතව කතාකරන්න ඕන. ඒ වගේම ඒ දේවල් විසඳගන්න විදිහ අපි කියලා දෙන්න ඕන. එවිට ඒ අය ඒ නිදහසේ වෙනස හා එය විදින්න ඕන වපසරිය තේරුම් ගන්නවා. ඒ නිසා දෙමාපියන් නිදහස දෙන්න බය වෙන්න ඕන නැහැ. එතකොට එයා නිදහස විඳින්න දන්න නිසා.

ප්‍ර ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?

මම කලාවට සම්බන්ධ වූ කාලයේ ඉඳන්ම මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ අඩුවක් නැතිව දැනෙනවා. මට ඒක මඟ තොටේ යනකොටත් දැනිලා තියෙනවා. පොඩි ළමයින්ගේ ඉඳලා මහලු අය දක්වාම ඒ ආදරේ ලැබෙනවා. මට හරිම සතුටුයි ඒ ලැබෙන ආදරය ගැන. 

ප්‍ර මොනවද අලුත් කලා වැඩ කටයුතු?

ඉදිරියේදී ටෙලිනාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. ඉන් එකක් මේ මස 19 දින හිරු නාලිකාවේ විකාශනය වීමට නියමිතයි. එය චංචල රේඛා නම් ටෙලි නිර්මාණයක්. චංචල රේඛා සිනමා පටය තමයි මේ විදිහට ටෙලි නාට්‍යයක් ලෙස නැවතත් ප්‍රේක්ෂකයන්ට තිළිණ වෙන්නේ. එහි මම නිරූපණය කරන්නේ සුන්දර ආදරවන්තයෙකුගේ චරිතයක්. මම හිතනවා මගේ ප්‍රේක්ෂකයන් මේ චරිතයත් හරිම ආදරයෙන් භාරගනීවී කියලා.

ප්‍ර නර්තනය පැත්තෙන් මොකුත් අලුත් වැඩ නැද්ද?

නර්තනය පැත්තෙන් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තුවකින් ඉන්නවා. මගේ යූටියුබ් නාළිකාව හරහා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මගේ නර්තන බලන්න ඉදිරියේදී අවස්ථාව ලැබෙයි. මම දැන් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරමිනුයි ඉන්නේ. ඉතින් ඉදිරියේදී ඒ වැඩ කටයුතු අවසන් කරලා වෙනස් විදිහකට නර්තනය සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍ර කොහොමද පුංචි පුතා එක්ක ගෙවෙන ජීවිතේ?

මගේ මුළු ලෝකෙම එයා. එයා එක්ක ඉන්නකොට මට වෙන කිසිම දෙයක් මතක නැහැ. මම ජීවිතේ වැඩිපුරම කැමතිත් එයා එක්ක කාලය ගත කරන්න තමයි. ඉතින් ඒ ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි. මගේ ලෝකෙම තියෙන්නේ එතන කීවොත් හරි.

ප්‍ර කලාවේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

මම එහෙම ලොකු ලොකු බලාපොරොත්තු තියන් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මට සම්මානයක් වෙනුවෙන්වත් එහෙම බලාපොරොත්තුවක් තිබිලා නැහැ. මගේ එකම සම්මානය තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මට හමුවුණාම කතාබහ කරන එක සහ ඒ ලැබෙන ආදරය. ඉතින් කලාව තුළ හරි දෙයින් ප්‍රේක්ෂකයන් පිනවලා ඒ අය සතුටු කරන්න පුළුවන් නම් නාට්‍යයක රසය හරියාකාරව ඒ අයට දෙන්න පුළුවන් නම් මම එතන තමයි සතුටු වෙන්නේ. ඉතින් මගෙන් කලාවට දෙන්න තියන සහයෝගය මම උපරිමයෙන්ම ලබා දෙන ගමන් හොඳ නිර්මාණත් එක්ක එකතුවෙලා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

දුලක්ෂි ලියනගේ