මාස කිහිපයක දී මිලියන පහක රසික ප්‍රජාවක ගේ ආනන්දයට හේතු වූ ගීතයක් ගැයූ ළමා ගායක කණ්ඩායමක එක් ගායකයෙකු වීමේ භාග්‍යය ඔහුට ලැබිණ.
“මුව මඳහාසේ” ගීය ගායනා තරගයකට නව නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ දිනයේ දීම නිමේෂ් දුලංජන ඇතුළු කණ්ඩායම එක රැයින් රසික හදවත් දිනාගැනීමට සමත් වූහ.
ළයාන්විත ගායන විලාසයෙන් නිමේෂ් එම කණ්ඩායමේ කිසිවෙකු හට දෙවැනි නොවීය.
ඉන් පසු ඔහුගේ නව නිර්මාණ කිහිපයක් ජනගත විය. මේ අලුත්ම නිර්මාණයයි.
"සරාසඳ පවා අවපස දාට යයි කැපී
පිරිවරා සිටියට තනිවන දිනක් ඇති අපී
වරාමල පවා ඇත ගුණ දරාගෙන පිපී
ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි”
“සීතල රැයකදි
පූදින පුන්සද පෝයට එළිය බෙදයි
ඈතින් ඇසෙනා ඝණ්ඨා නාදෙට
පන්සල් යන්න හිතෙයි"
මේ ගීතයෙහි ගායකයා බෙලිඅත්ත සෙලෝරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන නිමේෂ් දුලංජන යි. මො/ හම්බෙගමුව ජාතික පාසලෙහි 10 පන්තියෙහි සිසුවෙකු වන ඔහු ගීත සහ පද්‍ය ගායන හැකියාවෙන් කලාප මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා කිහිප වරක් ඇගයීමට ලක් ව සිටී.
‘සරාසඳ පවා’ ගීතයෙහි තනු නිර්මාණය අත්තිඩියේ පුන්‍යරතන හිමියන් විසිනි. ඉන්දික ලියනගේ සහ අජන්ත ශ්‍රීලාල් පොන්සේකා විසින් පද රචනය කර ඇත. සංගීතය මිලාන් චාමින්ද විසිනි.
ජනප්‍රිය ගීත ගයනු වෙනුවට නව නිර්මාණ සහ සුභාවිත ගීවලට කැමැත්තක් දක්වන නිමේෂ් සංගීත විශාරද උපාධිය හදාරමින් සිටී.
"ඇඹිලිපිටිය පැරමවුන්ට් ඇකඩමියේ සංගීත විශාරද ප්‍රේමනාත් අත්තනායක ගුරුතුමා මුල සිටම සංගීතය හදාරන්න මට මග පෙන්වුවා. මා ඉගෙනුම ලබන විදුහලේ ප්‍රබුද්ධි ගුරු මෑණියන් ගෙනුත් සංගීතය හදාරනවා." නිමේෂ් පවසයි.
තම ගායන හැකියාව මුලින් ම හඳුනා ගත්තේ පියා බවත්, අගය කළේ පෙර පාසල් ගුරුවරිය වන හසිනි මහත්මිය බවත්, නිමේෂ් පවසයි.
"කලාව කියන්නේ අපේ හදවතට සමීපම දෙයක්. සියලුම බාධක, කම්කටොලු සහ බාධා මගහැර නිදහස් මනසක් ඇති කරගැනීම සඳහා කලාව පිහිට වෙනවා." නිමේෂ් ගේ අදහසයි .
ඔහුගේ ජීවිතයට පියා යෝධ සෙවණැල්ලක්ව සිටී. මේ ඒ ගැන නිමේෂ්ගේ අදහස්ය.
"තාත්තා ගැන තමයි මට කියන්න ගොඩක් දේවල් තියෙන්නේ. මගේ පියා තරම් මා වෙනුවෙන් මහන්සි වෙන වෙනත් කෙනෙක් නැහැ. එහෙම තාත්තා කෙනෙක් මා දැකලවත් අහලවත් නැහැ. මගේ මේ වයසට තාමත් පොඩි ළමයෙකුට වාගේ හැම දෙයක්ම සොයා බලා මාගේ සෙවණැල්ල මෙන් පසුපසින්ම ඉඳගෙන රැකවරණය ලබා දෙන්නෙ එයා . එයාට මොන අඩුපාඩු තිබුණත් මට කිසිම දෙයකින් අඩුවක් කර නැහැ. තාත්තා නොහිටින්න අද මම මෙතන නැහැ. මම තාත්තාට සැමදා ණයගැතියි. මගේ පියා තමයි මගේ ලෝකේ රජ්ජුරුවෝ."
සංගීත දිවියෙහි දිගු ගමනක් යන්නට නිමේෂ්ට සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර