අද්භුත අත්දැකීම්, මවාපෑම් පමණක් වුවත් වික්‍රමාන්විත හා අනතුරුදායක අත්දැකීම්වලට සැබෑවටම මුහුණ දෙන්නට සිදුවුණා.
1990 දී සුදත් මහදිවුල්වැව විසින් තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ධවල රාත්‍රිය අද්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ ටෙලි නාට්‍යයකි. ශිරන්ත ප්‍රේමවර්ධන එහි විශ්ව නමැති පුවත්පත් කලාවේදියාගේ චරිතය නිරූපණය කළේය.
“ඇත්තටම මේ චරිතය රඟ පාන්න හිටියෙ රිචඩ් ද සොයිසා. අවාසානාවන්ත විදියට ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු වුණ නිසා ඒ චරිතය මට රඟ පාන්න කියලා සුදත් මහදිවුල්වැව ආරාධනා කළා. ඇත්තටම ඒක මම හරිම කැමැත්තෙන් රඟ පෑව චරිතයක්. කුඹුක වලව්වේ අයිතිකාරි විදියට වීණා ජයකොඩි රඟ පෑවා’. මුරකාරයා විදියට රඟ පෑවේ ඉන්ද්‍රජිත් නාවින්න. ඒ වලව්වේ නවාතැන් ගන්න එන විශ්ව මුහුණ දෙන අත්දැකීම් තමයි ටෙලිනාට්‍යයේ තිබුණේ. ඒ කාලෙ මෙගානාට්‍ය තිබුණෙ නෑනෙ. මට මතක විදියට මේ නාට්‍යයත් කොටස් දහයකට වැඩිය විකාශය වුණේ නෑ. ඒ වුණාට කතා තේමාවේ තිබුණ ප්‍රබලත්වය, අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වය නිසා ඒක රසිකයන්ගේ සිත්වල තදින් ඇදබැඳ ගත්ත ටෙලිනාට්‍යයක් බවට පත් වුණා.”
විශ්වගේ චරිතය පිළිබඳව කතාබහකට එක් වෙමින් ශිරන්ත ප්‍රේමවර්ධන පැවසුවේය. අද්භුත අත්දැකීම් මවාපෑම් පමණක් වුවත් වික්‍රමාන්විත හා අනතුරුදායක අත්දැකීම්වලට සැබෑවටම මුහුණ දෙන්නට ශිරන්තට සිදු වූයේය.
“මරදානෙ ගුවන් පාලමේ පඩි පෙළ දිගේ ට්‍රේල් බයික් එකක් පදින දර්ශනයක් තිබ්බා. ඒක අනතුරුදායක වුණත් මම ඒ දර්ශනය රඟ පාන්න අකැමැති වුණේ නෑ. තරුණ කාලෙනෙ ඉතින්. බෙල්ල කඩලා ගියත් කරන්න තියෙන දේ කරනවා. ඒ කාලෙ මට තිබුණා ට්‍රේල් බයික් එකක්. ඒක පැදලා පළපුරුද්ද තිබිච්ච හින්දා වැඩි අමාරුවක් දැනුණෙත් නෑ.”
ඔහු සිනාසෙමින් කීවත් එවන් රඟපෑමක් සිහිපත් වෙද්දීත් මගේ සිරුර ලොමු දැහැගැන්විණ.
තාප්පවලින් පනින, පොලීසිය ලුහුබැඳ එද්දී පාර දිගේ වේගයෙන් දුවන දර්ශන ද රඟ පාන්නට ශිරන්තට සිදු වූයේය. සම්මාන උත්සවවලදී අවධානයට ලක් නොවුණ විශ්වගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාරනම් නොමඳව ලැබිණි.
“මේ අර හොල්මන් වලව්වේ විශ්ව නේද?”
කොතැනකට හෝ ගිය විට එලෙසින් හැඳින ගන්නා අය අනන්තවත් ඔහුට හමු වී තිබිණි. ඒ ආදරණීය ප්‍රතිචාරම සම්මානයක් ලෙස ඔහුට දැනිණි.
ප්‍රදීපා ධර්මදාස, තමාරා දිල්රුක්ෂි, රේණුකා බාලසූරිය, ඇතුළු පිරිසක් එහි අනෙකුත් චරිත නිරූපණය කළේය. ධවල රාත්‍රිය ඔහුගේ සිතේ නොමැකෙන ලෙස සටහන් කරන්නට ඔවුන්ගේ රඟපෑම් ද හේතු වූ බැව් ශිරන්ත කියන්නේය.
ඔහු ක්ෂේත්‍රයට පිවිසියේ වේදිකා නාට්‍ය හරහාය. සුදර්ශියේ නාට්‍යවල රඟ පාද්දී ඔහුට සිතුණේ එවන් සුළු චරිත රඟ පා දිගු ගමනක් යන්නට නොහැකි වන බවය. ඉදින් ඔහු පරාක්‍රම නිරිඇල්ලගේ රංගන පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වූයේය. උදේනි අල්විස් සහ අජිත් ලොකුගේ ද ඒ පාඨමාලාවට සහභාගි වූයේ ඔහු සමඟමය. පරාක්‍රම ඉතා හොඳින් ඔවුන්ට ඉගැන්නුවා පමණක් නොව ඔහු නිර්මාණය කළ ඉන්ද්‍රඛීලය ටෙලි නාට්‍යයේ රඟ පාන්නට ද අවස්ථාව ලබා දුන්නේය.
තමා හොඳම අත්දැකීම් ලබා ගත්තේ දූ දරුවෝ ටෙලි නාට්‍යය තුළින් බැව් ශිරන්ත පවසන්නේය. ඔහු එහි රඟ පෑවේ සම්පත් ලෙස රඟ පෑ උදේනි අල්විස් ගේ මිතුරා ගේ චරිතයයි.
“දූදරුවෝ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරපු නාලන් මෙන්දිස්, පිටපත ලියපු සෝමවීර සේනානායක විතරක් නෙමෙයි එහි රඟ පෑව නළුනිළියනුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඔවුන්ගෙන් අපි ඉගෙන ගත්ත දේවල් ජීවිතයේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ” ඔහු සඳහන් කළේ ගෞරවයෙනි.
හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, නීල් අලස්, චාන්දනී සෙනෙවිරත්න, සුනේත්‍රා සරච්චන්ද්‍ර, චන්ද්‍රා කළුආරච්චි ඇතුළු පිරිස නවකයන්ට දුන් ආදර්ශය අසීමිතය.
“නාලන් මෙන්දිස් කියන්නෙ තමන්ගෙ ටෙලි නාට්‍ය කණ්ඩායමේ විනය ගැන උපරිමයෙන් සැලකිලිමත් වෙන අධ්‍යක්ෂවරයෙක්. දර්ශන තලයේ සිගරට්, මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම තමන්ගෙ දර්ශනය අවසාන වුණාට පස්සෙ පැත්තකට වෙලා ඉන්න අවසර නෑ. ඊළඟ දර්ශනයට තියෙන දෙබස් බලා ගන්න ඕන. පිටපතේ තියෙන දෙබස් කිසිසේත්ම වෙනස් කරන්න බෑ.” ශිරන්ත කීවේය.
දෙබසක මඳ වෙනස් වීමක් සිදු වීම ටෙලි නාට්‍යයට ලොකු බලපෑමක් වෙන්නේදැයි දිනෙක ශිරන්ත නාලන්ගෙන් විමසුවේය. එයට නාලන් දුන්නේ අපූරු පිළිතුරකි.
“පිටපත් රචකයා පිටපත ලියන්නෙ හැම වචනයක්ම ප්‍රවේසමට හසුරුවලා. එක සැරයක් නෙමෙයි දෙතුන් සැරයක් ලියනවා. ඊ ළඟට අධ්‍යක්ෂ, නිෂ්පාදක එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය තැන් වෙනස් කරනවා. එහෙම කරලා හොඳම කොටස තමයි මේ දීලා තියෙන්නෙ. ඒකේ වචනයක්වත් වෙනස් කරන්න නළුනිළියන්ට අයිතියක් නෑ. අනිත් එක මුල වැරදුණොත් ඒක අනිවාර්යයෙන්ම අගට බලපානවා”
ඔහු එය මොන තරම් අපූරුවට පැහැදිලි කළේ ද යත් අදටත් ශිරන්තට පිටපතක් අතට ගනිද්දී එය සිහිපත් වන්නේය.
මේ වන විට ශිරන්ත ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රඟ පා තිබේ. කෙළි මඬල, රිදී සීනු, අපේ ප්‍රින්සිපල් ඇතුළු චිත්‍රපටි කිහිපයක රඟ පෑ අතර තවත් චිත්‍රපටි කිහිපයක හඬ කවා තිබේ. වත්සුණු, ආර්. ඒ. ටී රැට්, සංවරය ටෙලි නාට්‍ය තුළින් ද ඔහු හමු වෙන්නට රසිකයන්ට අවස්ථාව ඇත්තේය.
චන්දි කොඩිකාර