දේවී කුසුමාසන - පද්මා සහ ද ලේක් සමග මේ දිනවල හමුවෙන සුන්දර ‘දුමී’


මේ සුන්දර ශිල්පිනියගේ නම ‘දුමී’ වන්නිආරච්චි. ඇය රංගන ක්ෂේත්‍රයට මුලින්ම පැමිණියේ සංගීතේ ටෙලි නිර්මාණයෙන්. බොහෝ දෙනෙක් හඳුනන චරිතයක් වුණේ ඒ සමගයි.

“කුඩා කාලයේ ඉඳලම මම නර්තනය හදාරලා තිබුණා. ඒ වගේ දක්ෂතා නිසා තමයි ‘සංගීතේ’ නාට්‍යයේ චරිතයක් පවා ලැබුණේ. මගේ ගුරුතුමා වන මහාචාර්ය මුදියන්සේ දිසානායක සර්ව මේ මොහොතේ ගරුත්වයෙන් සිහිපත් කරන්න මම කැමැතියි. නිශාදි රත්නාවලී ගුරුතුමියවත් ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි. සහන් සර් යටතේ ලයනල් රංවල පදනමේ සාමාජිකාවක ලෙසත් හිටියා.”

ඒ විදියට මෙතෙක් ආ කලාවේ ගමන ගැන ආවර්ජනය කරන දුමී මේ දිනවල අපට දැකගන්න ලැබෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිගෙ දේවී කුසුමාසන චිත්‍රපටයේ ‘පද්මා’ ගේ චරිතයෙනි. ඊටත් අමතරව ධනුෂ්ක රේමන්ඩ්ගේ ‘ලේක්’ ටෙලි නිර්මාණය ඔස්සේද අපට ‘දුමී’ ගෙ රංගනයක් දැකගත හැකියි. මේ විදිහට හමුවන හැඩකාර නුවණක්කාර ‘දුමී’ සඳැල්ලට කියන්නේ මොනවද බලමු.

ප්‍ර දුමී, සම්පූර්ණ නම?

දුමී නිසංසලා වන්නිආරච්චි

ප්‍ර දුමී කියන්නද? නිසංසලා කියන්නද?

දුමී වන්නිආරච්චි කියන්න.

ප්‍ර ‘දුමී’ ගැන කොහොමද විස්තර කියන්නෙ?

මේ වන විට මම කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධව විශේෂවේදී උපාධිය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පසුගියදා නිම කළා. උපාධි ප්‍රදානෝත්සවයට සූදානමින් ඉන්නෙ. මගේ පවුලේ විස්තර කිව්වොත්, අම්මයි - තාත්තයි අයියයි මමයි. අයියා විවාහකයි.

ප්‍ර දුමීගෙ පාසල?

කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයෙන් පසුව උසස් පෙළට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. කොළඹ සෞන්දර්යය සරසවියට තේරුණේ ඉන් පසුවයි.

ප්‍ර දුමී හිතන විදිහට මොන විදිහෙ ගති පැවතුම් තියෙන කෙනෙක්ද?

සැබෑ ජීවිතයේදී මම බොහොම නිශ්ශබ්දව සිටින කෙනෙක්. පාඩුවෙ ඉන්න කැමැතියි. ඇසුරු කරන්නෙත් බොහොම අතළොස්සක් දෙනා විතරයි. තරමක් දුරට හුදෙකලා චරිතයක් කිව්වොත් හරි.

ප්‍ර ඒ විදිහට දුමී කැමතිද?

ඔව්, පාඩුවේ ඉන්න කැමති වගේම කළයුතු වැඩේ සහ බාරගත් වැඩේ උපරිමයෙන් කරන්න කැපවෙන කෙනෙක්. මිනිස්සුන්ට ලැදියි. ඒත් නිතර පාටි, උත්සවවලදී දැකගන්න ලැබෙන චරිතයක් නෙවෙයි.

ප්‍ර ‘දුමී’ ගෙ තියෙන ගුණාංග මොනවද කියලා ඇහුවොත්?

මම හිතන්නෙ මම හරි අවංකයි. ඒ වගේම තමයි අවංක අයට මම හරි අවංකයි. සුදුසු නැහැ කියලා හිතෙන තැන්වලින් ඈත්වෙලා මාව පරිස්සම් කරගන්න උත්සාහ ගන්න කෙනෙක්. හැකි විදිහට කාට හරි උදව් කරන්නත් උත්සාහ ගන්නවා.

ප්‍ර ආදරයේදිත් අවංකයි? 

අනිවාර්යයෙන්ම.

ප්‍ර ආදරය ගැන ‘දුමී’ හිතන විදිහ?

අපි හැමෝම ආදරය මත යැපෙන අය. ආදරය ලබන්න, ආදරය බෙදන්න අපට සිදුවෙනවා. ඒක ස්වභාවයෙන්ම පවතින දෙයක්නෙ. මට මගේ අම්මගෙන්, තාත්තාගෙන් පවුලෙන් සහ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය භුක්ති විඳිනවා. ආදරය හරි සුන්දර දෙයක්. එය විඳිනකොට වගේම ලබාදීමේත් එකහා සමානව ආදරය කරනකොට, ආදරය සුන්දරයි.

ප්‍ර ‘දුමී’ නිවේදිකාවක් විදිහටත් කටයුතු කළාද?

මීට අවුරුදු පහකට විතර පෙරදි, ආධුනික ගුවන්විදුලි නිවේදිකාවක ලෙස සිරස FM වැඩ කළා. එම්අයිඑම් (MIM) ආයතනයෙන්  ඩිප්ලෝමාව ලබා ගත්තට පස්සෙ තමයි, ඒ විදිහට කටයුතු කළේ. සිරස එක්ක බැඳීම ඇති වුණේ ඒ විදිහටයි.

ප්‍ර ‘දුමී’ දිහා දෙතුන් පාරක් හැරිලා බලන්න තරම් හේතුව ලෙස දුමී දකින්නේ?

එහෙම බලනවද කියලා මම දන්නෙ නැහැ. එහෙම බලනවා නම් ඒකට හේතුව මගේ පෞර්ෂය වෙන්න ඇති. ඒ ගැන මට හරියටම විග්‍රහ කරන්න බැහැ. ඒත් සමහර අය මට මූණටම කියලා තියෙන දෙයක් තමයි මම ආඩම්බරයි කියලා. ඒත් එහෙම ආඩම්බර කෙනෙක් නෙවෙයි. ඒක ලොකුකමක් නෙවෙයි. මම මගේ පාඩුවෙ සිටින කෙනෙක්. කෙනෙකු හමු වූ විගස මිත්‍රශීලි වෙන්නෙ නැහැ. ඔහු හෝ ඇය ගැන අවබෝධ කරගත් පසුව තමයි කතා බහකට යන්නෙ. සමහර විට මා සතු නිශ්ශබ්දතාව නිසාම වෙන්නැති ඒ ස්වභාවය මා වෙතින් දකිනවා ඇත්තෙ. මම හිතන්නෙ මම මිනිස්සුන්ව නිරීක්ෂණය කරන කෙනෙක්.

ප්‍ර ජීවිතයේ, පැහැදිලි අරමුණක් තියෙනවද?

රංගනය වෘත්තිය විදිහට තෝරා ගනීවි. උසස්පෙළ සහ ඉන්පසුව සරසවි අධ්‍යාපනයට විෂයක් ලෙස හැදෑරුවෙත් රංගනය. ඒ නිසා මගේ රිද්මය නැඹුරුව ඒ අංශය වේවි. ඒ නිසා ඉදිරියටත් ඉගෙන ගන්න බලාපොරොත්තුව රංගන අංශයෙන්. උපාධියට පෙනී සිටියා කියලා එතැනින් මගේ අධ්‍යාපනය හමාර වෙන්නෙ නැහැ. තව ගොඩාක් දුර ඉගෙන ගන්න සහ හදාරන්න තියෙනවා. රංගනය කියන්නෙම පුළුල් විෂයක්. මට අවශ්‍ය කරන්නෙ ජනප්‍රිය ලේබලයට වඩා, චරිතාංග රංගන ශිල්පිනියක වීමටයි. ඒ වෙනුවෙන් අභ්‍යාස කරන කෙනෙක්. කවදාහරි රංගනය ඇති කියල දැනුණ දවසට, නතර කරනකල්, යාවත්කාලීන වෙමින්, ඒ ගැන ඉගෙනගන්න උත්සාහ ගන්නවා. රංගන විෂයට ගුරුවරයකු හෝ කථිකාචාර්යවරියක ලෙස සේවය ලබා දීමේ අරමුණකුත් තියෙනවා. ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තාම, ඒ ගැන හිතනවා.

ප්‍ර මේ කලා ක්ෂේත්‍රයේදී චරිත තෝරා ගැනීමේදී අනෙක් අයගේ බලපෑම්වලට අවනත නොවී කටයුතු කිරීමට ඔබ අනුගමනය කරන්නෙ?

චරිත තෝරා ගැනීමේදී ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්න කෙනෙක් නෙවෙයි මම. දේවී කුසුමාසන ෆිල්ම් එකේ චරිතය එක්ක ඊට පසුව තව ෆිල්ම් දෙකක චරිත ලැබුණා. ඒත් මම ඒවාට දායක නොවුණේ චරිතාංග රංගනයට කැමති නිසයි. අන්න ඒකයි මම ජනප්‍රිය කියන ශානරයේ චරිත පසුපස හඹා යන්නෙ නැත්තෙ. සමාජයට චරිත රංගනයකින් ගත හැකි යම්කිසි පණිවුඩයක් හෝ ආදර්ශයක් හෝ වින්දනයක් වෙනුවෙන් චරිත තෝරා ගන්න කැමැතියි. ක්ෂේත්‍රයේදී මට බලපෑම් එල්ල වෙලා නම් නැහැ. සමහර විට ඒකට හේතුව මගේ හෙවණැල්ලටත් වඩා සමීපව අම්මා මා එක්කම සිටීම නිසා වෙන්නැති, මම තමයි අම්මාව එක්කගෙන යන්නෙ. ඒ හැරත්, ඇය නාවත් මම මගේ විදිහ ගැන දන්නවා. ඒ වගේම මම අනවශ්‍ය විදිහට නිතරම හැමෝම එක්ක කතාබහට නොයන නිසා ඒ වගේ බලපෑම් නැති තරම්. මගේ සීමාව ලකුණු කරගෙන සිටියාම ප්‍රශ්න අවමයි.

ප්‍ර විවාහ යෝජනා එහෙම එන්නෙ නැද්ද?

ලැබිලා තියෙනවා. විවාහය කියන මාතෘකාවෙදි මම සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්. මගේ වෘත්තියේදී හෝ විවාහයේදී හෝ ජීවිතයේ විශේෂ  කඩඉම්වලදි නිසි වයසේදී ඒ සියල්ල සිදුවිය යුතුය සිදුකළ යුතුය කියලා හිතන කෙනෙක්.

සඳුන් ගමගේ