දිල්හානී දුවනී...
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ...
දශක කිහිපයකට පෙරදී ක්ලැරන්ස් විජේවර්ධනයන්, ලියා-ගයා-වයා මේ ගීතය නිර්මාණය කළේ ඇය වෙනුවෙනි. එනම් දිල්හානි කොරයා වෙනුවෙනි. ක්ලැරන්ස් විජේවර්ධනයන් හට එසේ ‘දිල්හානි’ ගැන ගීතයක් නිර්මාණය කිරීමට හේතුවක් තිබිණි. ඒ ගැන අපි දිල්හානි කොරයාගෙන්ම අසා දැනගමු!
ප්‍ර ලංකාවේ ගීත කලාවේ කාන්තා නම්වලින් නිර්මාණය වූ ගීත බොහෝමයි. ඒ අතරින් දිල්හානී දුවනී ගීතයට හිමිවන්නේ විශේෂ තැනක්. ඔබ තමයි එහි උරුමක්කාරිය?
ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මාණය කළ ඉන්ද්‍රානි පෙරේරා ගැයූ ඒ ගීතය මා වෙනුවෙන් තමයි එදා නිර්මාණය කෙරුණෙ. කෙනෙක් වෙනුවෙන් නිර්මාණය වූ ගී අතරින් එදා වැඩියෙන්ම රෙකෝඩ්ස් අලෙවි වූ, ආදායම් වාර්තා තැබූ ගීතයක්. පළවැනි තැටිය අලෙවියට යොමුකළ දවසේ සිට වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නෙ ‘දිල්හානී’ ගීතය. පසුගියදා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය විශේෂිත වූ සම්මානයක් පිරිනැමීමේදී ඒ සඳහන ඇතුළත් වුණා. ඇයට ඒ සම්මානය හිමිවෙද්දී, ඇයට අවශ්‍ය වුණේ මා එක්කම ගිහින් ඒ සම්මානය ගන්න කියලා ඇය මට කිව්වා. ඒ වෙලාවෙ මම හිටියෙ ලංකාවේ නෙවෙයි.
ප්‍ර ‘දිල්හානී’ ගීතය ඉන්ද්‍රානි පෙරේරා මුලින්ම ගායනා කළේ මොන අවුරුද්දෙදී ද?
මුලින්ම මේ ගීතය හැදුවේ 1965 දී. මම ඉපදිලා සති 3 න් තමයි මේ ගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මාණය කරලා තියෙන්නෙ. මගේ අම්මයි තාත්තයි හමුවෙන්නට ඇවිත්, “මම වෙනුවෙන් මෙච්චර කල් මට සැලකූ සියලුම උපකාරවලට මට කළ හැකි කෘතගුණ සැලකීම තමයි මේ ගීතය කියලා ක්ලැරන්ස් මහතා ගිටාරය වයමින් දිල්හානි දුවනී, ගැයුවලු. ඒ ලස්සන ගීතය අහලා මගෙ අම්මයි තාත්තයි පුදුමයට පත්වෙලා. ලස්සන වචන සහ ලස්සන සංගීතයට අම්මයි තාත්තයි බොහොම සතුටු වෙලා. මගේ තාත්තගෙ නම ශ්‍රී සඝබෝ කොරයා.
“සිංදුව නම් සියයට සියයක්ම සාර්ථකයි. නමුත් ක්ලැරන්ස් මේ සිංදුව ගැහැනු කටහඬකින් කිව්වා නම්? මට හිතෙන්නෙ මීටත් වඩා මේ ගීතය තවත් සාර්ථක වේවි” කියලා තාත්තා කිව්වලු.
ප්‍ර ඊට පස්සෙද ඉන්ද්‍රානිව යොදාගත්තෙ?
ඒ වන විට අපි හිටියෙ රත්නපුරයේ. ඒ නිසා තාත්තා මේ ගීතය ගයන්න ළමයෙක් රත්නපුරයේ බාලිකාවකින් තෝරාගන්න කියලා, ක්ලැරන්ස් මහතාට කියලා.
“හොඳයි මම ඒක කරන්නම්කො කියලා” ක්ලැරන්ස් කිව්වලු. ඇයි මිස්ටර් කොරයා අපි ඇන්ජලින්ට හරි ලතා වල්පොලට හරි කියන්නෙ නැත්තෙ කියලා ක්ලැරන්ස් අහලා. නැහැ, ක්ලැරන්ස්, මට ඕනෑ අලුත්ම අලුත් කටහඬක් රත්නපුරයෙන්ම හොයාගන්න කියලා අපේ තාත්තා කිව්වලු.
ප්‍ර ඇයි රත්නපුරයෙන්ම හොයාගන්න කියලා තියෙන්නෙ?
එතකොට අපි හිටියෙ රත්නපුරයෙ. මම 1965 දී උපන්නෙත් රත්නපුරයේදී. ක්ලැරන්ස් මහතා එතකොට ඉඳලා තියෙන්නෙ අපේ ගෙදර. දවල් ඉඳලා රෑ එක දෙක වෙනතුරු සංගීත පුහුණුවීම් කටයුතු කරලා තියෙන්නෙ අපේ ගෙදර.
ප්‍ර හරි, අපි මොහොතකට ඔබගෙ පවුලේ විස්තර කියමු?
මගේ තාත්තා ශ්‍රී සඝබෝ කොරයා. මගේ අම්මගෙ නම ෆ්ලෝරා කොරයා. මගේ වැඩිමහල් සහෝදරියගෙ නම රමණි. ඇයටත් ක්ලැරන්ස් ‘රමණි’ නමින් ගීතයක් නිර්මාණය කළා. එය ගයන්නෙ ඇනස්ලි මාලේවන. ‘රමණි’ ගුරුවරියක්. එයාගෙ පවුල එක්ක පදිංචිය එංගලන්තයේ. මම පවුලේ දෙවැනියා. මම ඉන්නෙ ඩුබායි රාජ්‍යයේ. මාත් සේවය කරන්නෙ ගුරුවරියක ලෙසයි. මට ඉන්නෙත් දුවලාම දෙන්නෙක්. ලොකු දුවත් ටීචර් කෙනෙක්. අනෙක් දුව සූපවේදිනියක්. ඇයගේ අධ්‍යාපන කටයුතු හමාර කරලා ගිය මාසයේදි ලංකාවට ආවෙ. මගේ නැඟණියත් ටීචර් කෙනෙක්. ඇය ඉන්නෙ ඇමරිකාවේ. මගේ එකම මල්ලි මීට අවුරුදු තුනකට පෙරදි මිය ගියා. මගේ තාත්තා ඉන්නෙ ලංකාවේ, අපි එක්ක. තාත්තා තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් හට එයාගේ සංගීත ගමන යන්න සෑම අතකින්ම උදව් කළේ. මුන්ස්ටෝන් සංගීත කණ්ඩායම හදන්න ඒ නම පවා දැම්මෙ අපේ තාත්තා. මුලින්ම මුන්ස්ටෝන් කණ්ඩායමට ක්ලැරන්ස්, ඇනස්ලි, මංගල රුඩ්රිගෝ සහ මොන්ටි වටලාදෙණිය ඇතුළත් වුණා. 1965 දි මුන්ස්ටෝන් පටන්ගෙන තියෙන්නෙ මම උපන්න අවුරුද්දෙදිමයි.
ප්‍ර ක්ලැරන්ස්ට, ඔබගේ පියා එක්ක සබඳතා ඇතිවුණේ කොහොමද?
ඒ කාලයේ ක්ලැරන්ස් පදිංචි වෙලා ඉඳලා තියෙන්නෙ රත්නපුර බටුගෙදර. අපේ තාත්තාට එයා මුණගැහෙන විට මම ඉපදිලා නැහැ. ක්ලැරන්ස්ගෙ අම්මා ක්ලැරන්ස්ගෙ සංගීත ගමනට උදව් ඉල්ලලා හතර දෙනෙක් විතර හමුවෙන්න ගිහින්. ඒ කිසිම කෙනෙක්, එයාට අත දෙන්න කැමති වෙලා නැහැ. දවසක් දා රත්නපුරයේ දන්ත වෛද්‍යවරයකු වෙත (චීන ජාතික) ක්ලැරන්ස්ගෙ අම්මා ගිහින් සිටි වෙලාවක, ඔයා ගිහින් මේ මහත්මයාව හමුවෙන්න, එයාට විතරයි ඔයාගේ පුතාට උදව් කරන්න පුළුවන් කියලා ඒ මහත්මයා කිව්වලු. ඉන් පස්සෙ රත්නපුරයේ ‘ඉනර් සර්කියුලර් රෝඩ්’ එකේ තිබුණු අපේ ගෙදර හොයාගෙන ඒ අම්මයි පුතයි ඇවිත්. එදා අපේ අම්මා විතරයි ඉඳලා තියෙන්නෙ.
ඒ නිසා විස්තරය අම්මට කියලා. අපේ තාත්තා සංගීතයට පුදුම විදිහට ආසා කළ කෙනෙක්. තාත්තාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඒත් සංගීත කණ්ඩායමක් තිබිලා නැහැ. කොහොම හරි එදා තාත්තා එනකල්ම එයාලා ඉඳලා.
අනේ මගේ පුතාට රස්සාවක් දෙන්න පුළුවන්ද කියලා ක්ලැරන්ස්ගෙ අම්මා අපේ තාත්තාගෙන් එදා ඇහුවලු. එතකොට ක්ලැරන්ස් සා/පෙළට ලියලා ප්‍රතිඵල එනකල් හිටපු කාලය. ඉතින් අපේ තාත්තා කරලා තියෙන්නෙ අපේ අම්මට අයත් තේ වත්තක සුපිරින්ටෙන්ඩන් ගාවට යවලා. ඒත් එයාට ඒ වැඩේ අල්ලලා ගිහින් නැහැ.
“මට ඕනෙ සංගීතඥයකු වෙන්න, සංගීතයෙන් උඩට එන්න මිස්ටර් කොරයා” කියලා ක්ලැරන්ස් තාත්තාට කිව්වලු. එහෙනං ඔයා දන්න සිංදුවක් කියන්න කිව්වාම, මුලින්ම ඉංග්‍රීසි ගීත දෙකක් ගයලා, නෑ නෑ ක්ලැරන්ස් සිංහල සිංදු දෙකක් ගයන්න කිව්වාම, ක්ලැරන්ස් අංකල්ම ලියූ ගීත දෙකක් ගයලා. ඒ කටහඬ අහලා තාත්තා පුදුම වුණාලු. තාත්තා පසුවදා එයාගෙ ගීත කිහිපයක් ටේප් රෙකෝඩර් එකෙන් පටිගත කරගෙන.
පසුව ඇනස්ලිවයි ක්ලැරන්ස්වයි එකතු කරලා ගමනක් යන්න කියලා තාත්තා උපදෙස් දීලා. පසුව කණ්ඩායම හදන්න තව කිහිප දෙනෙක් ඉන්නත් එපායැ. ඒ අනුව තමයි ඇනස්ලි, මොන්ටි, මංගල සහ ක්ලැරන්ස් යොදාගෙන මුන්ස්ටෝන් (රත්නපුරයේ සිටි නිසා) සංගීත කණ්ඩායම හදන්න, මගේ තාත්තා එදා මුල් වෙලා තියෙන්නෙ. මුලින් ක්ලැරන්ස් අංකල් ඒ බෑන්ඩ් එකට දාලා තියෙන්නෙ ‘ක්ලැරිරියන්ස්’ කියන නම. අපේ තාත්තා තමයි ‘මුන්ස්ටෝන්’ කියන නම යෝජනා කරලා තිබුණෙ.
ප්‍ර ඒ විදිහට ඇවිත් ක්ලැරන්ස්ලා ලස්සන ගමනක් ගියානෙ. ඉතින් දැන් අපි කියමු, දිල්හානිගෙ තොරතුරු?
මම ඉපදිලා සති තුනයි. ඒ දිනවල තමයි, ක්ලැරන්ස් මහතා අපේ ගෙදර සංගීත කටයුතු පුහුණුවීම් පටන්ගෙන තියෙන්නෙ. සිකුරාදා සිට සති අන්තයේ දිගටම පුහුණුවීම් කටයුතු කරලා. හැබැයි මම නිතරම අඬනවලු. එතකොට එයාලා ප්‍රැක්ටිස් කරද්දි අපේ අම්මයි තාත්තයි මාව තොටිල්ලක දාලා එතැන තියනවලු. එතකොට මගේ ඇඬිල්ල නතරවෙලා. දිගටම සංගීතය අහන පුරුද්ද ඇතිවෙලා. අන්න ඒ විදිහට දවස් ගතවෙද්දි එක් දවසක ක්ලැරන්ස් කලින්ම ඇවිත් මාවත් ළඟ තියාගෙන තමයි දිල්හානී දුවනී ගීතය හදලා තියෙන්නෙ. පැය දෙකක් ඇතුළතදී තනුව දාලා, ගීතය ලියලා ඉවර කරලා. ඒ විදිහට තමයි දිල්හානී ගීතය එදා නිර්මාණය වී තියෙන්නෙ.
ප්‍ර දැන් ඔබගේ පියා ශ්‍රී සඝබෝ කොරයාගෙ වයස?
අවුරුදු 91 යි.
ප්‍ර ඔබගෙ ගම?
මම ඉන්නෙ ඩුබායි රාජ්‍යයේ. තාත්තා ඉන්නෙ රාජගිරියෙ.
සඳුන් ගමගේ