දින 335ක් කොරෝනා සමඟ සටන් කළ පිළිකා රෝගී කාන්තාව


 

දින 335ක් පුරා ‘කොවිඩ් 19’ වයිරසය සමඟ සටන් කළ 47 හැවිරිදි ඇමෙරිකන් කාන්තාවක් ගැන ඇමෙරිකාවෙන් වාර්තා වේ. මේ කාන්තාව පිළිකා රෝගියකු බව ද පැවැසෙයි. මේ වනවිට වැඩිම දින ගණනක් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, රෝහල්ගතව සිටි පුද්ගලයා වන්නේ මැයයි.

 
ඇමෙරිකන් මාධ්‍ය මැයගේ අනන්‍යතාව හෙළිකර නැති නමුත්, ඇය මේරිලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිකාරියකි. මැයට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත්තේ 2020 වසරේ යැයි ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති. අද ඇය රෝහලෙන් පිටවී නිවසේ විවේකීව ගත කරන අතර ඇයට නිරන්තරයෙන් ඔක්සිජන් ලබාදීමට සිදුවී ඇත. ඇය වෙනුවෙන් හෙදියක් පැය 24 පුරා ඇය අසල සිටින බවද ඇමෙරිකන් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

 
රෝහල් ගත කිරීමෙන් නියමිත දින ගණන් පසු වෙද්දී, මෙම කාන්තාව තවදුරටත් කොරෝනා ආසාදිතයකුදැයි තහවුරු කිරීමට කළ පරීක්ෂණ සෑම එකක්ම ‘පොසිටිව්’ විය. ඇය ‘නෙගටිව්’ වී ඇත්තේ දින 335කට පසුවය. වෛද්‍යවරුන් ඇය රෝහලෙන් පිටකර ඇත්තේ ඉන්පසුවය. දින 335ක් තිස්සේ ඇගේ සිරුරේ ‘කොවිඩ් 19’ විෂබීජ පැවැතීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වෙනම පර්යේෂණ කිහිපයක් සිදුකර ඇත. මැය ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් අයකු බව ඇමෙරිකන් පුවත් සේවා පවසයි. කාන්තාවන්ගේ සිරුරේ තිබී ඇත්තේ ඇයට ආසාදනය වූ මුල් “කොවිඩ් 19” වයිරසය පමණක් බවත්, එය කිසිම අවස්ථාවක විකෘතිකරණයට ලක් නොවුණු බවත් වෛද්‍ය පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබේ. ඒ, වයිරසයේ ජාන පරීක්ෂා මඟිනි. “කොවිඩ් 19” වයිරස ප්‍රභේදයක් කිසිදු වෙනසකට ලක් නොවී, එහි ආරම්භක ස්වරූපයෙන් සිරුරේ වසරකට වැඩි කාලයක් රැඳී පැවතීම සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂකයන්ගේ වැඩි අවධානයක් යෙමු වී ඇති බව ද වාර්තා වේ.

 

 

 

 

ලුසිත ජයමාන්න 
“ලයිව් සයන්ස්” ඇසුරිනි