දළදා මාලිගාවට කොටි පහර දුන්දා


 

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට කුරිරු ත්‍රස්තවාදයින් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට විනාශ කර දැමීමට උත්සාහ කිරීම අද මෙන් මාගේ මතකයට මෙනෙහි ​ෙවන්නේ ඒ බිහිසුණූ බෝම්බ විනාශය සිදු වී ඉතාමත් කෙටි කලක් තුළ දී එම ස්ථානයට අවතීර්ණ වූ මාධ්‍යවේදියෙකු වශයෙනි. 

ශ්‍රී ලංකාවට නිදහස ලැබී 1999 වසර වන විට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මහනුවර පුරවරය කේන්ද්‍ර කර ගනිමින් එය උත්සවශ්‍රීයෙන් සැමරීමට එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් සංවිධානය කොට තිබු අතර එහි ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත් කොට තිබුණේ එවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යව සිටි ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාය.   
ඒ හා සමගාමීව මාස ගණනාවකට පෙර මහනුවර නගරය ඒ සඳහා සුදානම් කිරීම ආරම්භ වූ අතර මහනුවර නගරයේ සියලු ගොඩනැගිලි සුදු වර්ණයෙන් පිරියම් කිරීම එහි ප්‍රධාන කර්තව්‍යයක් විය. ඒ අනුව ඓතිහාසික දළදා මාලිගාව. රැජින හෝටලය, බෝගම්බර බන්ධනාගාරය ඇතුළු සියලුම රජයේ ගොඩනැගිලි සුදු වර්ණයෙන් පිරියම් කිරීම සිදු කෙරුන අතර සියලුම පෞද්ගලික ස්ථාන ඇතුළු ගොඩනැගිලි සුදු වර්ණයෙන් පිරියම් කරන ලෙස උපදෙස් ලබා ලබාදී තිබුණී.     


එම නිදහස් උත්සවයට සමගාමීව ක්‍රීඩා තරග ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කොට තිබූ අතර ඒ හා සමගාමීව පැවති ක්‍රීඩා උත්සවයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කොට තිබුණේ බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර දිනයේ එනම් 1988.01.27 වැනි දින සවස් භාගයේයි. එදින පාපැදි තරග, මැරතන් තරග ඇතුළු ක්‍රීඩා ඉසව් ගණනාවක් පැවති අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩත් රැජින හෝටලයත් අතර එවකට පැවති රථ ගාල තුළදීය. 

 
මෙම තරග පවතින අතරතුරම නිදහස් උත්සවයේ භාරදුර කර්තව්‍ය සියලු දේ භාරව කටයුතු කළ ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් විවෘත රථයක නැගී දළදා මාලිගා පරිශ්‍රය ඇතුළු අධි ආරක්ෂක කලාපයේ ආරක්ෂක නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර විජය පුවත්පත් සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය එවකට පිහිටා තිබු අංක 07 දේව වීදිය ඉදිරි පිටින් ගමන් කළේය. ඉන් අනතුරුව යෙදී තිබුණේ ස්වර්ණ ජයන්ති නිදහස් උත්සවයේ ක්‍රීඩා තරග ඇතුළු අනෙකුත් තරගවල ත්‍යාග ප්‍රදානෝත්සවයයි.   


සියලු තරඟකරුවන්ට සහතිතපත් බෙදා දීමෙන් අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා එහිදී කතාවක් කරමින් පවසා සිටියේ පෙබරවාරි 04 දින පැවැත්වෙන මෙරට ස්වර්ණ ජයන්ති නිදහස් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවත් නගරයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ශක්තිමත් බවත් මහනුවර අහසට ඉහළින් කපුටෙකුට හෝ ඉගිලීමට ඉඩ නොතබන බවත්ය.  
කෙසේ නමුත් එම ත්‍යාග ප්‍රදානෝත්සවය අවසන් වී මහනුවර රැජින හෝටලයේ සාදයක් පැවති අතර එම සාදයට ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ඇතුළු ඉහළම දේශපාලකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තවත් පිරිසක් ද සහභාගී වී සිටියහ. සාදයට සහභාගී වූ මා පාන්දර 01.00ට නිවසට ගොස් නිදි යහනට වැටී හෝරා කිහිපයක් ගත වූවා පමණි. දළදා මාලිගාවට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් මා සිටි නිවසේ කාමරයේ ජනෙල් දොරවල් එක්වරම දෙදරුම් කන්නට වූයේ එහි එක් වීදුරුවක් මගේ ඇඳ මතට කඩා හැළෙමිනි.  
ඒ සමඟම තවත් දැවැන්ත ශබ්දයක් මාගේ කන වැටුණි. මා හට එක් වරම සිහි වූයේ මීට පැය කිහිපයකට පෙර මා සමග සාදයකට සහභාගී වු ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතායි. වහාම ඇඳෙන් පහළට පැනගත් මා යතුරු පැදිය පණ ගන්වාගෙන පාරට ආවේ අනිවත්ත, මාපනාවතුර මාර්ගය ඔස්සේයි. එහි පහළට පැමිණ මාතලේ මහනුවර රේල්පාර පසුකොට ජාතික රක්ෂණ සංස්ථා ගොඩලැගිල්ල අසලට පැමිණෙන විට සියලු ගොඩනැගිලිවල දොර ජනෙල් වීදුරු මහ පාරේ තිබෙන අයුරු දැකගත හැකි විය.   


බෝම්බ ප්‍රහාරය එල්ල වී විනාඩි 15ක් වැනි කාලයක් තුළ දී බෝම්බ ප්‍රහාරය එල්ල වූ ඉසව්ව සොයා ඉදිරියට පැමිණ රැජින හෝටලය අසලට පැමිණෙන විට එහි අයිනේ කැඳ කරත්තයක් තබාගෙන සිටි අයෙකුගෙන් විමසා සිටියේ ශබ්දය පැමිණියේ කොහෙන්ද කියායි. නමුත් ඔහු පවසා සිටියේ මම දන්නේ නෑ මහත්තයා නාථ දේවාලය පැත්තෙන් කියාය. කෙසේ නමුත් ඒ වන විට රැජින හෝටලයේ දොර ජනෙල් වීදුරු සියල්ලක්ම මහ පාරේ තිබෙන අයුරු දක්නට ලැබුණි. මා සිතුවේ බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ අනුරුද්ධ රත්වත්තේ මහතා රැඳි සිටි රැජින හෝටලයට බවයි.   

 

සියල්ලට පෙර කැමරාව අතට ගත යුතු බව මෙනෙහිවී මා පා නැගුවේ අප විජය පුවත්පත් සමාගමේ දේව වීදිය කාර්යාලය වෙතයි. නාථ දේවාලය ඉදිරිපිට පිහිටා තිබු එම කාර්යාලයට සිදු වී තිබූ දේ ඇස් අදහාගත නොහැකි විය. එහි දැවැන්ත යකඩ දොර කඩාගෙන ගොස් අඩි කීපයක් කාර්යාලය ඇතුළේ තිබෙන අයුරු දක්නට ලැබුණි. සිදුවී ඇති දෙය අදහාගත නොහැකි නිසාත් පත්තරකාරයකු වශයෙන් අවස්ථාවට අනුව සිදු කළ යුතු දේ සිදු කළ යුතුව තිබු බැවිනුත් යකඩ දොරේ යකඩ තහඩු ඈත් කරමින් කාර්යාලය තුළට ඇතුළු වී ප්‍රථමයෙන් කැමරාව අතට ගෙන ඊට අවශ්‍ය දේත් සාක්කුවේ දමාගෙන මහ මළුව ඔස්සේ දළදා මාලිගාව දෙසට ගමන් කරන කරන විට දැකගත හැකි වූයේ කඩා වැටී එල්ලෙමින් තිබු පත්තිරිප්පුවේ වහලයයි.   
සිදුවී ඇති දේ හොඳින් අවබෝධකර ගත් මා තව මඳක් ඉදිරියට ගමන් කරන විට දැකගත හැකි වූයේ පත්තිරිප්පුව ඉදිරිපිටින් මහ මළුවේ සිට බසින පඩිපෙළ දෙක අසල මළ සිරුරු දෙකකි. තවත් ඉදිරියට ගමන් කරන විට දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ සඳකඩ පහන අසල විශාල වළක් හෑරී තිබෙන අයුරු දක්නට ලැබුණි. තවත් ඉදිරියට ගමන් කරන විට නාථ දේවාලය ආසන්න මාර්ගයේ කාකි ඇඳුම් අඳගත් කිහිප දෙනෙකුගේ සිරුරු පිළිස්සෙමින් තිබූ අතර ඒ භූමියේ සෑම අත විසිර ගොස් තිබු කුඩා කුඩා බෝම්බ දක්නට ලැබුණි. ඒ සියල්ල ඡායාරූප ගත කරමින් ඉදිරියට ගමන් කරන විට මාගේ හිතමිත්‍ර පොලිස් අධිකාරිවරයකු පවසා සිටියේ ඡායාරූප ගෙන හමාර කොට වහාම එම ස්ථානයෙන් නික්ම යන ලෙසයි. ඒ ඇයිදැයි මා විමසු විට ඔහුගේ ගමන් කථන යන්ත්‍රය මාගේ කන තැබුවේ ‘‘කියන දේ අහපං’’ කියාය. එහි අනෙක් කොනේසිටි පුද්ගලයා පොලිස් අධිකාරිවරයාට උපදෙස් දෙමින් සිටියේ එම ස්ථානයේ මාධ්‍යවේදීන් සිටී නම් වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි. එම කටහඬ ජනරාල් අනුරුද්ධ රත්වතේතේ මහතාගේ බව මා හට හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැතත් මා හට තව දෙයක් ප්‍රත්‍යක්ෂ විය. ඒ ජනරාල් අනුරුද්ද රත්වත්තේ මහතා ජීවතුන් අතර සිටින බවය.

 

 

ෂේන් සෙනෙවිරත්න   
ඡායාරූප - අන්තර් ජාලයෙනි