දරු මුනුපුරන් වෙනුවෙන් රාජකීය පාසල් ගිය දේශපාලනඥයෝ


 

 

රටකට අගනාම සම්පත ඒ රටේ බාල පරපුරයි. දෙමාපියන්ට දරුවන් හැර වෙනත් වස්තුවක් නොමැත.   


සිය රටේ බාල පරපුර ගුණ නුවණින්, අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමට රටක පාලකයෝ විවිධ සැලසුම් සකස් කොට ක්‍රියාවට නගති. සිය දුවා දරුවන් සමාජයේ ඉහළම තලයට නංවාලීමට අපමණ වෙහෙසක් දෙමාපියෝ ද ගනිති.  


විශේෂයෙන්ම සිය දරුවන් ඇති දැඩි වී, ලොකු මහත් වී, ඔවුන්ගේ කටයුතු ඔවුන්ටම කරගත හැකි තත්ත්වයට පත්වන තුරු ලබාදෙන රැකවරණය සුළුපටු නොවේ. දක්වන සෙනෙහස, ආදරය, මෛත්‍රිය, කරුණාව අපරිමිතයි. සත්තකින්ම දුවා දරුවන් දෙමාපියන්ගේ ජීවිතයේ ම කොටසකි.  


කාර්ය බහුලම ඇතැම් ප්‍රභූ පන්තියේ දෙමාපියන් බො​හෝ විට සිදු කරන්නේ දරුවන්ගේ මේ සියලු කටයුතු සිය සේවක මණ්ඩලයේම කොටසකට පැවරීමය. පාසලට දරුවා ගෙන යන්නේත්, සවස පාසල හැරුණු විට ගෙන එන්නේත් රියදුරුය. පන්තියේ, පාසලේ ගුරු දෙගුරු රැස්වීමට බොහෝවිට සහභාගි වන්නේ පෞද්ගලික ලේකම්ය. නැතහොත් බොහෝ විට ළඟම ඥාතියෙකි. එසේත් නැත්නම් ආරක්ෂක නිලධාරියාය. ඇතැම් ඉහළම තලයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ට සිය දරුවාට වඩා ව්‍යාපාරය, රාජකාරිය වඩා වැදගත්ය. අපේ රටේ ඇතැම් දේශපාලනඥයින්ට ද සිය දරු මුණුබුරන්ට වඩා දේශපාලනය වැදගත්ය. දරුවාගේ කටයුත්තකට පාසලට පා නොතබන එවැන්නන් දවසේ පැය විසිහතරේම සිය දේශපාලන කටයුතුවල නිරත වෙති. එවන් ව්‍යාපාරිකයන්ගේ, උසස් නිලධාරීන්ගේ, දේශපාලනඥයන්ගේ දරුවන්ට දෙවියන්ගේම පිහිටය.  
මා මේ ඔබට කියන්න යන්නේ සිය දරු මුණුබුරන් වෙනුවෙන් ම මුළු ජීවිතයම කැපකොට, නිවසේ දී පමණක් නොව, පාසලේදීත් දරු මුණුබුරන් ගැන සොයා බලා අවශ්‍ය සියලු කටයුතු ඉතා ඉහළින්ම සපුරාලූ, අපේ රටේ දේශපාලනඥයින් කිහිප දෙනෙක් සම්බන්ධ රසවත් තොරතුරු කිහිපයකි.  

 


ලංකා සමසමාජ පක්ෂයේ නායක කීර්තිමත් අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා මහජන මන්ත්‍රීවරයෙක් හා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස වසර ගණනාවක් ම කටයුතු කළේය (මේ වනවිට ඒ මහතා මිය ගොස්ය). සිල්වා මහතා පදිංචිව සිටියේ කොළඹ 3, කොල්ලුපිටිය ප්‍රදේශයේය. එතුමා සිය මුණුබුරු වෙත දැක්වූයේ දැඩි සෙනෙහසකි. ආදරයකි. පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සිය ආදරණීය මුණුබුරාට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීමට පාසල වෙත මුණුබුරා කැඳවාගෙන පැමිණියේ ආචාර්ය සිල්වා මහතා ම ය.  


කොට කලිසමකින් සහ අත් කොට කමිසයකින් හෝ ටී ෂර්ට් එකකින් උඩුකය වසාගෙන කොල්ලුපිටිය සිය නිවසේ සිට සිය ආදරණීය මුණුබුරු සුරතින් අල්ලාගෙන කොළඹ 7 කුරුඳුවත්තේ පාසල දක්වා මාර්ගයේ දකුණුපස බිම් කඩ දිගේ පා ගමනින් පැමිණියේය. මේ ගමනේ දී ආචාර්ය සිල්වා සීයා, සිය මුණුබුරුට විවිධ රසවත් කතා ද කියයි. නිවස අසලින් අරඹන කතාව අවසන් වන්නේ මුණුබුරාගේ පාසලේ ගේට්ටුව අසලිනි.  
දිනපතා ම පාසල ආරම්භ කෙරෙන වෙලාවට පෙරාතුව ම පැමිණෙන මේ නීති විශාරද, පරිණත දේශපාලන නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඉතා ප්‍රසන්න ලෙස මුණුබුරුට සුබ පතා පන්ති කාමරයට යවයි. සන්සුන් ගමනින් මුණුබුරු පන්තියට ඇතුළත් වන තෙක් දැඩි අවධානයෙන් යුතුව බලා සිටී. මේ වනවිට පාසලට පැමිණෙන දරුවන්ගේ විනය කටයුතු සොයා බලන ගුරු භවතුන් උකුසු ඇස් යොමා දරුවන් දෙස බලා සිටිති.  


මෝටර් රථයෙන්, බසයෙන් හෝ පා ගමනින් පැමිණෙන දරුවෝ පාසල් බිමට ඇතුළු වෙති. මේ අතර දුවගෙන, පෙරළගෙන, දඩි බිඩි ගමනින් රිංගන ‘‘දඟයෝ’’ ද ගුරු භවතුන් නෙත් ගැටෙන විට පැමිණි වේගයට තිරිංග ගසා සුවච, කීකරු අහිංසකයෝ ලෙසින් සන්සුන් ගමනින්ම සිය පන්ති කාමර බලා පිය නගති. මේ දසුන, සිනාමුසු මුහුණෙන් නිරීක්‍ෂණය කරන නීති විශාරද ප්‍රබුද්ධ දේශපාලන නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විනය පාලක ගුරු භවතුන් සමීපයට යයි. පාසලේ දවසේ වැඩ අරඹන පළමු සංඥා හඬ එළඹෙන තුරු ඒ ගුරු භවතුන් සමඟ සුහද සොදුරු - මිතුරු කතා බහේ යෙදෙයි. ගුරු භවතුන්හුද සිල්වා මහතා සමඟ ඉතා මිත්‍ර ලීලාවෙන් සොම්නසින් විවිධ දේ දොඩති. පළමු සංඥා හඬත් සමඟම පා ගමනින්ම සිල්වා මහතා ආපසු නිවස බලා යයි.  


ගුරු ගෞරවය ඉහළින්ම දැක්වූ තවත් සුන්දර දේශපාලනඥයෙකි ඩලස් අලහප්පෙරුම මහතා. ඔහුටම නොදෙවෙනි ගති ලක්‍ෂණ ඇති තැනැත්තියකි, අලහප්පෙරුම මහතාගේ බිරිඳ. පුතුන් පාසල තුළ සිටියදී පන්ති භාර ගුරුතුමියන්ට දැක්වූයේ පුදුම ලෙන්ගතුකමකි. නාගරික කෙසේ වෙතත් අදත් අපේ රටේ ගම්බද පළාත්වල ගමේ පාසලේ ගුරු භවතුන්ට දෙමාපියන්, ගම්මුන් දක්වන්නේ විශ්මිත ආදර ගෞරවයකි. ගැමි පරිසරයේ හැදුන වැඩුන ඩලස් අලහප්පෙරුම යුවලද සිය පුතු​ගේ ඉගෙන ගන්නා පාසලට, එහි ගුරුවරුන්ට කරුණාබර මිත්‍රශීලත්වයක් උපරිමයෙන්ම දැක්වූහ. වසර ගණනාවක් ඉක්ම ගියත් දරුවන් පාසලේ සිටි යුගගේ ඒ දැක්වූ සෙනෙහස ආදරය ගෞරවය අදත් ගුරුවරු සොම්නසින් යුතුව සිහිපත් කරති. වරක් එක් ගුරුතුමියකගේ ස්වාමිපුරුෂයා තදබල ලෙස ​රෝගාතුර වූ අවස්ථාවක් විය. සිද්ධිය සැලවෙත්ම එ් පිළිබඳ කරුණු කාරණා වහා සොයා බලා පෞද්ගලිකවම ඉදිරිපත්ව ජනාධිපති අරමුදලින් ආධාර මුදලක් ලබාදීමට කටයුතු කර සිය සැමියා සුවපත් කර ගැනීමට අවංකවම සහාය වූ බව ද එක් ගුරුතුමියක් මා සමඟ පැවසුවාය.  


ඒ හැරෙන්නට මාසික රැස්වීම්වලට නොවරදවාම පැමිණ සහාය දක්වයි. අවශ්‍ය ගුරු උපදෙස් ලබා ගනිමින් ගුරු දෙගුරු සම්බන්ධතාවය මතින් සිය දරුවාගේත්, පාසලේත් අධ්‍යාපනික සංවර්ධනයක් අපේක්‍ෂා කරයි. ඊට අවශ්‍ය තමන්ට කළ හැකි සියල්ලම ඉෂ්ඨ සිද්ධ කොට අනුග්‍රහය ලබා දුන්හ. දරුවන් සමඟ පාසලට පැමිණ සිය දරුවන්ගේ සහ අනෙකුත් ළමයින්ගේ යහපත වෙනුවෙන් අවංකවම ක්‍රියා කළ, ශ්‍රමය, ධනය, කාලය කැප කළ ඩලස් අලහප්පෙරුම යුවලට බොහෝ ගුරු භවත්හු අදත් ආශිර්වාද කරති. ඒ පාසල්වලට දරුවන් එවන වත්මන් ඇතැම් දේශපාලනඥයින්ට එයින් ආදර්ශයක් වේවා යන ප්‍රාර්ථනාවද සහිතවය.  
තමන්ද අධ්‍යාපනය ලැබූ පාසලට දරුවා ඇතුළත් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දරුවා වෙනුවෙන් ඕනෑම අවස්ථාවකට පාසලට, පන්තියට පැමිණීමට සැදී පැහැදී සිටි දේශපාලනඥයකි. විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආදරය දිනා සිටි කිරිඇල්ල මහතා පන්ති මාසික රැස්වීමේ සහ පාසල කැඳවන අවස්ථාවලට උපරිමයෙන්ම පැමිණ සහභාගි විය. තමාට ඒ සඳහා කාලය හරස් වුවහොත් සිය බිරිඳව හෝ ඒ සියල්ලටම සහභාගි කරවීය. දරුවා සිටින පන්ති සැමටම අවශ්‍ය උදව් උපකාර ද නොඅඩුව ලබා දුන්නේය.  
වේදිකාව දෙවනත් කරමින් චතුර ලෙස වචන හරඹ කරමින්, දේශපාලන කතා පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබද්දී, සිහින් සිරුරකින්, සන්සුන් ගමනින් බිමනින් වැඩි කතා බහක් නොමැතිව නිහඬ නිසලව සිටි දරුවෙකි. ඔහු සිටි පන්තිභාර ගුරුතුමියක් ඔහු ගැන කීවේ මෙලෙසිනි. “ඒ කාලේ හරිම නිහඬයි. වචනයක් කතා කරවා ගන්න බැහැ. හරිම පොඩි දරුවා. හරි නිහඬයි. දැන් වේදිකාවේ කතා කරන හැටි මට හරිම පුදුමයි. මට හිතා ගන්නවත් බැහැ” යි කීවාය. තාත්තා දොස්තර ජයලත් ජයවර්ධන මහතා පන්ති රැස්වීම්වලට නිතර පැමිණි අතර පාසලේ සියලු කටයුතුවලට සහාය දැක්වූ තවත් දේශපාලනඥයෙකි. කොතෙක් වැඩ රාජකාරි තිබුණත් පුතු ​ඉගෙනුම ලබන පාසලේ අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීමට වෙහෙස මහන්සි වූ තවත් ආදර්ශමත් පියෙකි.  
රත්නපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක දෙකෙන්ම පාර්ලිමේන්තු ගිය සුසන්ත පුංචිනිලමේ මහජන මන්ත්‍රීතුමා සිය දරුවා වෙනුවෙන් පාසලටත් පන්ති කාමරයටත් උදව් කළ තවත් කැපී පෙනෙන දේශපාලනඥයෙකි. ඔහු බිරිඳ ද පුදුම සහායක් දැක්වූවාය. ගාල්ලේ වජිර අබේවර්ධන, මහනුවර තිස්ස අත්තනායක, මොනරාගල විජිත් විජිතමුණි ද සොයිසා. කොළඹ තිලංග සුමතිපාල, මාතර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ගාල්ල චන්දිම වීරක්කොඩි යන දේශපාලනඥයින්ද සිය පුතුන් පාසලේ පන්ති කාමර තුළ ඉගෙනුම ලබද්දී, දරුවා ගැනත්, පාසල් ගැනත් නිරන්තරයෙන්ම සොයා බලා උදව් උපකාර කළ නිතර පැමිණි දෙමාපියන් බව මා කතා කළ සියලු ගුරුවරු සොම්නසින් යුතුව පැවසූහ.  


අභාවප්‍රාප්ත ජේ.ආර්. ජයවර්ධන ගරු ජනාධිපතිතුමාද ජීවතුන් අතර සිටියදී, කොතරම් වැඩ රාජකාරි පැවතියත් විටින් විට පාසලට පැමිණ සිය මුණුබුරන්ගේ අධ්‍යාපන සහ විනය කටයුතු සම්බන්ධව ගුරුවරුන් හමු වී සාකච්ඡා කිරීමේ සිරිතක් ද පැවතුනි.  
සිය පුතු පාසල් අධයාපනය ලබද්දී, පන්ති කාමරයේත්, පාසලේත්, අඩු පාඩු වෙතොත් සොයා බලා සපුරාලීමට හැකි සෑම උපකාරයක් ම කළ තවත් ප්‍රබුද්ධ දේශපාලනඥයෙකි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.  


පාසලේ ප්‍රාථමික අංශයේ සෑම මසකම අන්තිම බ්‍රහස්පතින්දා දෙමාපිය දිනය පැවැත් වේ. මේ දිනයට පාසල හැරුණු විට සෑම දෙමාපිය කෙනෙක්ම සිය දරුවා සිටින පන්තියට පැමිණ පන්ති භාර ගුරු භවතා මුණගැසිය යුතුය. ඒ මාසය තුළ දරුවාගේ ප්‍රගතියත් යම් අඩුපාඩුවක් දුර්වලතාවක් වෙතොත් ඒවාත් ගුරු දෙගුරුන් මුහුණට මුහුණ සාකච්ඡා කෙරේ. ඉන් ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ දරුවාගේම යහපතය. පන්ති භාර ගුරු භවතාවට හෝ විෂය භාර ගුරු භවතාට දරුවා කෙරෙහි දැක්විය යුතු ප්‍රගතියට කිසියම් බාධකයක් වෙතොත් දෙමාපිය සහායත් ලබාගෙන ඒ බාධක නැතිකොට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම, මෙහි පරමාර්ථයයි. නිදසුනට ගතහොත් කන් ඇසීම, ඇස් පෙනීම, අඩු දරුවකු සිටින්නට පුළුවන. එවන් දරුවන්ට ගුරු භවතා විශේෂ වැඩපිළිවෙළක් යෙදිය යුතුය. ගුරු භවතා දරුවා කෙරෙහි එවැන්නක් නොදනී නම් අවුලකි. ගුරු දෙගුරු සමීප සම්බන්ධතාවය මෙවැනි කාරණවලදී අවශ්‍ය වේ. කනගාටුවට කරුණ මා කලින් සඳහන් කළාක් මෙන් සමහර ‘කාර්යබහුල’ ඇතැම් දෙමාපියන් මේ රැස්වීම්වලට රියදුරුව, සේවකයකු, ආරක්ෂක නිලධාරියකුව එවීමය. 

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතෙකුත් වැඩ රාජකාරි පැවතියත්, පුතු සිටි සෑම පන්තියකටම, සෑම මාසික ගුරු දෙගුරු හමුවකටම, ප්‍රමුඛත්වය දී සහභාගි වූ බව ගුරුවරු ඉතා සොම්නසින් පැවසූහ. පාසලේ කෘෂිකාර්මික අංශයට බෙහෙවින්ම උදව් උපකාර කළේය.  
මේ අතර ‘ගහේ කටු උල් කිරීමට අනවශ්‍යය’ යි කීවා සේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතුද පුදුම පරිත්‍යාගශීලී දරුවකු බව එම ගුරුවරු හෙළි කරති. පාසලේ පන්තියේ පොත්පත්, ඇඳුම් පැලඳුම් නැති, කෑම බීම් හිඟ ළමයින් දුටු විට, ඒ ළමයින්ට ඒවා සැපසුවේ කවුරුන්දැයි නොහඟවා අඩුපාඩු ඇති අයට ඒවා මේ දරුවා සැපයූ බව ද ඉතා ඇගැයීමෙන් යුතුව ගුරුවරු පැවසූහ. එක් පාසල් වාර අවසානයකදී නේවාසිකාගාරයේ සිටි ළමයි නිවස් බලා ගියහ. ඒත් එක් ළමයෙක් ගමට යා නොහැකිව සිටියේය. ඈත වනගත පෙදෙසක ඒ ළමයාගේ ගම වූ අතර වල් අලි ගමට වැදී හිරිහැර කරන නිසා ටික දවසක් ළමයාට ගමට නොඑන ලෙස දන්වා තිබුණිලු. නේවාසිකාගාරයේ සිටියත්, ඔහුට කෑම බීම නොමැත. මේ සිද්ධිය සිය කන වැටුණ විට සිරිසේන ජනාධිපතිතුමාගේ පුත්‍රයා, පාසලේ කැන්ටිම ලවා ඒ ළමයාට කෑම බීම සපයා ඇති අතර ඔහු අතින් කැන්ටිමට ඒ සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා ඇත. තමන්ට කෑම දුන්නේ කවුරුන් දැයි එ් කෑම ගත් ළමයාවත් නොදනී.  


‘මහජන එක්සත් පෙරමුණේ’ නායක ව

ත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආදරණීය බිරිඳ, හදිසියේම තරුණ වියේදීම, අභාවප්‍රාප්ත වූ බව මුළු රටම දන්නා ශෝචනීය කරුණකි. ඒ වනවිට කුඩා වියේ පසුවූ දුවක හා පුතෙක් සිටියහ.  


පක්‍ෂ නායකයකු, වෘත්තීය සමිති නායකයකු සහ සමාජ සේවකයකු ලෙස ක්‍රියා කරන දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා කාර්යබහුල, අවිවේකී, ක්‍රියාශීලී පුද්ගලයෙකි. නමුත් ඔහුට පියාගේ අාදරය මෙන්ම නෙත් දෙක වාගේ සිටින දරුවන් දෙදෙනාටම අම්මාගේ ආදරය ද ලබාදීමට සිදුවිය. මේ ඉතා ප්‍රබල අති දුෂ්කර, අභියෝගය, දිනේෂ් ගුණවර්ධන මහතා නොසැලී නොබියව භාර ගත්තේය. දැඩි කැපවීමෙන්, ධෛර්යයෙන් උත්සාහයෙන් යුතුව ඒ කාර්යයට සියල්ලටම වඩා ප්‍රමුඛස්ථානය දුන්නේය.  


පාසල් වියට පුතු පත් වූ විට තමන් ද අධ්‍යාපන ලැබූ පාසලට පුතු ඇතුළත් කළේය. අලුයමින් පිබිදී පුතු ලක ලෑස්ති කොට පාසලට කැඳවාගෙන පැමිණියේය. වෙනත් කාර්යබහුල ඇතැම් දෙමාපියන් මෙන් රියදුරු, සේවකයකු, ආරක්‍ෂක නිලධාරියකු අත පුතු පාසලට නොයවා තමාම කැටුව පැමිණ පාසල් ගේට්ටුවෙන් පාසල් වත්තට දමා ගියේ ද නැත. ගේට්ටුවෙන් පුතු සමඟ ඔහු ද ඇතුළු වේ. පුතුට නියමිත පන්ති කාමරයට ඇතුළු වනතුරු දෙනෙත් පුතු වෙතම එල්ල කරගෙන සිටී. සහතික වශයෙන්ම පුතු පන්ති කාමරයට ඇතුළු වූ බව සිතට දැනුණ විට ඔහු පාසලෙන් පිටවෙයි.  


සතියකට වරක් සෑම සඳුදාම උදය රැස්වීම ප්‍රාථමික අංශයේ එළිමහනේ පැවැත්වේ. මේ රැස්වීම පැවැත්වෙන දිනවලට දිනේෂ් ගුණවර්ධන මහතා පාසලෙන් එළියට නොගොසින් රැස්වීම ආසන්නයේ පුතුටත් නොපෙනෙන්නට කිසිවකු සමඟ කතා බහක් ද නොමැතිව හුදෙකලාව නිහඬව නිසලව බලා සිටි. උදය රැස්වීම අවසන් වී සියලුම ළමයින් සහ ගුරු මහත්ම මහත්මීන් පන්ති කාමරවලට ඇතුළු වූ විට දිනේෂ් ගුණවර්ධන මහතා පාසලෙන් පිටව යයි. ඒ යන්නේද රැස්වීම අවසන් වී සිය පුතු නියමිත පන්ති කාමරයට ඇතුළු වූ වග සිය දෙනෙතට තහවුරු වූවායින් පසුවය. ගුරුවරුන් වන අපි එදා දුටු ඒ අහිංසක සොදුරු ‘‘කොළුවා’’ උස් මහත් වී ගියත් අදත් සිය දයාබර සෙනෙහෙබර ආදරණීය පියාණන් අසලම දැවටෙමින් සිටින සොදුරු දසුන සොම්නසින් යුතුව දකින්නෙමු. මේ වනවිට දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ දක්‍ෂ නවක මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරයි. ඒ දරුවා යඳාමිණි ගුණවර්ධන මන්ත්‍රීතුමාය.  


දැනට ජීවතුන් අතර නැතත් හිටපු අගමැතිවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙස රටට විශාල සේවයක් සිදු කළ දි.මු. ජයරත්න මහතා එකල සිය පුතු වෙත දැක්වූයේ අපිරිමිත සෙනෙහසකි. ආදරයකි. පුතු පාසලට පැමිණි යුගයේ නිරන්තරයෙන්ම ගුරුවරුන් අතර ඉතා මිත්‍රශීලී සහසම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම පුතු කුඩා කල ප්‍රාථමික අංශයේ පන්තිවල සිටියදී වාර අවසානයේත්, වර්ෂාවසානයේත් සිය පුතු සිටි පන්තිවල පන්ති භාර ගුරු භවතුන් හමු වී සුහඳව කතා බහ කිරීමට අමතක නොකළේය. මාසිකව පැවැත්වෙන ගුරු දෙගුරු හමුවට තමාට සහභාගිවීමට අපහසුතාවක් වුවහොත් උපාධිධාරි ගුරුතුමියක් වූ එතුමාගේ දයාබර බිරිඳව හෝ ඊට සහභගි කරවීමට තරම් නිහතමානී විය. ගුරු දෙගුරු හමුවීම්වල අගය අවබෝධ කරගෙන සිටි ජයරත්න මහතා ගුරු සේවයට කිසියම් අඩුපාඩුවක් වුවහොත් ඒවා සපුරාලීමට තරම් කාරුණික වූයේය. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ඔහු පුත් නිහතමානී ගුණැති අනුරාධ ජයරත්නයන් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස රටට ජාතියට උදාර සේවාවක් සලසයි.  

 

හිටපු අමාත්‍යවරුන් ලෙස මුළු රටම දන්නා හඳුනන කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අදත් පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීන් ලෙසින් ක්‍රියා කරන අධිනීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාත්, ආර්ථික විද්‍යා අංශයේ ප්‍රාඥයකු ලෙස ප්‍රචලිත ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාත් සම්බන්ධව එකම සටහනක් තැබීමට මට සිතුනි. ඊට හේතුව නම් මේ දෙදෙනාම සිය පුතුන් පාසලේ ඉගෙනීම ලබද්දී සිය කැමැත්තෙන්ම පන්ති නියෝජිත තනතුර ලබාගෙන (පන්ති දෙකක) ඉතාමත් ප්‍රශංසාත්මක අන්දමින් කටයුතු කිරීම නිසාය.  

 දරුවන් වෙනුවෙන් සිය කැමැත්තෙන්ම රාජපක්‍ෂ මහතාත්, හර්ෂ ද සිල්වා මහතාත් පන්ති නියෝජිත තනතුරු ලබාගෙන කැපවීමෙන් ක්‍රියා කළ බව ගුරුවරු අදත් ඉතා ආඩම්බරයෙන් කතා කරති. අතේ මුදල් වැය වීම, කාලය මිඩංගු වීම, සිය ශ්‍රමය වැය වීම ගැන මේ අමාත්‍යවරු නොසිතූහ. ඔවුනට අවශ්‍ය වූයේ සිය දරුවන්ට මනා අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම මැනවින් සකස් කර දීමටය. ගුරුවරුන්ට අණ දීම, නියෝග දීම නොව, ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා මත ගුරුවරුන්ට සිය කාර්යය මැනවින් කරගෙන යාමට පහසුකම් සැපයීමය. සිය දරුවාගේ ගුරුවරයා කවුරුන්ද? සිය දරුවා ඉගෙනීම ලබන පන්ති කාමරය කොහේද? දරුවාගේ පන්ති මිත්‍රයින් කවුරුන්ද? ඒ මිත්‍රයන්ගේ දෙමාපියන් කවුරුන්ද? ආදී කිසිවක් නොදන්නා දෙමාපියන්ට වඩා විජයදාස රාජපක්‍ෂ, හර්ෂ ද සිල්වා වැනි දෙමාපියන් පාසලකට කොතරම් වටින්නේද? එවන් දෙමාපියන් දරුවන්ට මොන තරම් ආශිර්වාදයක්ද?  


 කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුතුන් ද පාසල් අධ්‍යාපනය ලබද්දී, එතුමා ද පාසල් කටයුතුවලට නිතරම සහභාගි වූවේය. දරුවන් සිටින පන්තිවල සියලු කටයුතුවලට අත හිත නොඅඩුවම ලබාදුන් අතර මාසික රැස්වීම්වලටද එක් වූයේය. හදිසිම කාර්යයක් යෙදුනහොත් තමා වෙනුවෙන් එම මහත්මියව හෝ සහභාගි කරවූයේය. දරුවන් පාසල් ගෙන ඒම, ගෙන යාම, සියලු බාහිර ක්‍රියාකාරකම් ආදියට රියදුරු, සේවකයකු හෝ ආරක්‍ෂක නිලධාරීන් යවන ඇතැම් දෙමාපියන් මෙන් නොව පුතුන්ගේ ඒ ඒ විශේෂ අවස්ථාවලට තමන්ම එක්ව සිටීම ගුණවර්ධන මහතාගේ සිරිතය. පාසලේ පිහිනුම් තටාකයේ පිහිනුම් පුහුණුවීම්වලට බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්තු ද පැමිණෙති. පිහිනුම් තටාකයට බැස දරුවන් පිහිනුම් උපදේශක ගුරු මහතාගේ උපදෙස් මත පිහිනුම් පුහුණු වෙති. සිහිල් නිල් දිය මත පුතුන් පිහිනා යද්දී පාසල් පිහිනුම් තටාකය ආසන්නයේ පුටුවක හිඳගෙන ඇසි පිය නොහෙළා බන්දුල ගුණවර්ධන මහතා බලා සිටින අයුරු නිතරම දුටු බව පිහිනුම් උපදේශක ගුරු භවතා ඉතා සොම්නසින් යුතුව පැවසීය. ගුණවර්ධන මහතා කොතෙකුත් කාර්යබහුල වුවත් එසේ පැමිණෙන්නේ දරුවන්ට ඇති ආදරය - සෙනෙහසට නොවේද? ආරක්‍ෂාවට නොවේද?

 

 

කොළඹ රාජකීය විද්‍යාලයේ 
(හිටපු) නියෝජ්‍ය විදුහල්පති 
හේරස් ප්‍රනාන්දු