තිස් වසරකට පසු පෙර භවය සොයා ගනී


පෙර භවයේ ප්‍රබල සාක්කි

පෙර භවයේ දී අලි ඇසුර හෙළි කළ දරුවන් අතරින් අලි භාෂාව කතා කළ කනිෂ්ක නම් දරුවකු පිළිබිඳව පසුගිය ලිපියකින් අනාවරණය කළෙමු. එම දරුවා අද විවාහක තරුණයෙකි. මෙතෙක් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පැවති ඔහුගේ පෙර භවයේ තොරතුරු සනාථ කර ගත් බැව් කණිෂ්ක අප වෙත දක්වනු ලැබීය. පෙර භවයේ නිවස සහ දෙමාපිය ඥාතීන් ද හමුවීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව මෙම පුනර්භව සාධකය පිළිබඳව නැවත විමර්ශනයක් කිරීමට අපට ද අවස්ථාව ලැබිණි. 

1979 වසරේදී කොළඹ පෞද්ගලික රෝහලකදී උපත ලද කණිෂ්ක පෙර භවය හෙළි කිරීම ආරම්භ කළේ වයස අවුරුදු තුනේ සිටය. ඉතා කුඩා අවදියේ සිට ඔහු ජලයට අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි. ස්නානය කරවීම සඳහා සිරුරට ජලය දමන විට ඔහු දැඩි ලෙස බිය පත්ව කෑගැසීම සිරිත විය. 


​ෙම් අතර ඉතා කුඩා අවදියේ සිට ඔහු අලි ඇතුන්ගේ රූප දුටු විට ඒවා ලබා දෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කණිෂ්කගේ ප්‍රියතම සෙල්ලම් භාණ්ඩ වූයේ අලි ඇතුන්ගේ රූප සහ විවිධ අයුරින් නිර්මාණය කළ අලි ඇතුන්ය. එසේ එකතු කර ගත් ඇලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඔහු සතුව තිබිණි. සෙල්ලම් අලින් නෑවීම සහ උන්ට ආහාර දීමට ද පුංචි කණිෂ්ක හැම විටම උත්සාහ කළේය. 


තම පුංචි පුතුගේ මෙම හැසිරීම් රටාව දරුවන්ගේ සාමාන්‍ය සිරිත ලෙස දෙමාපියෝ සිතූහ. මේ අතර ඔහු තුළින් මතු වූ තවත් ක්‍රියාවක් විය. එනම් මහ මඟදී හෝ දක්නට ලැබෙන අලි ඇතුන් අසලට ගෙන යන ලෙස ඉල්ලා සිටීමය. 


කිසිදු බියක් නොමැතිව ඇලි ඇතුන් අසලට යෑමට ඔහු උනන්දු විය. එය නතර කර වීමට දෙමාපියෝ කොතරම් උත්සාහ ගත් නමුත් අලින්ට ඔහු දැක් වූ දැඩි ආදරය වැළැක්වීම අසීරු විය. තම පුත්‍රයා අලි ඇතුන්ට දක්වන මෙම විශේෂත්වය පෙර භවයක් හා සම්බන්ධ වන බවක් දෙමාපියෝ නොසිතූහ. 


හොඳින් කතා කිරීමට හැකි වීමත් සමග ඔහු දිනක් මව ඇමතීය. 


මට අලි දෙන්නෙක් හිටියා යැයි පැවසීය. එම වදන පිළිබඳව මව එතරම් අවධානයක් යොමු නොකළාය. නැවත නැවත එය ප්‍රකාශ කළ දරුවා ඔහු සිටි ප්‍රදේශය මහගම යනුවෙන් හැඳින්වූ බැව් ද කීවේය. ඒ සමගම අලින් පාලනය කිරීම සඳහා භාවිත කරනු ලබන වදන් කීපයක් ද හෙළි කළේය. 


දහ අලියා, දිරි අලියා යනුවෙන් ඔහු පැවසීය. තම පුත්‍රයාට කිසි දිනෙක අසන්නට නොලැබුණ මෙම වදන් ඔහු ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න දෙමාපියෝ මවිතයට පත්ව සිටියහ. 


කනිෂ්ක පෙර භවයක තොරතුරු හෙළි කිරීමක් සිදු කරන්නේ ද යන්න මවට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳව කිසිදු විමසීමක් කිරීමට පියා තදින්ම විරුද්ධ විය. දරුවාගේ එම ප්‍රකාශ අමතක කරවීමට උත්සාහ ගන්නා ලෙස පියා කණිෂ්කගේ මවට උපදෙස් දුන්නේය. පුත්‍රයාගෙන් එම තොරතුරු විමසීමෙන් ඔහුට කිසියම් මානසික බලපෑමක් ඇති විය හැකි යයි පියා සිතුවේය. 


එහෙත් පෙර භවය පිළිබඳව ඉතා හොඳ මතකයකින් සිටි කනිෂ්ක අලියකු නෑවීමට ගිය බවත් එහිදී ජලයට වැටී මරණයට පත් වූ බවත් කීවේය. පෙර භවයේදී අලි දෙදෙනෙකු සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. 


එහෙදී අලි දෙන්නෙක් හිටියා. අපි උන්ට කිතුල් දෙනවා. ඒ වත්තෙත් කිතුල් තිබුණා. නාවන්න යන කොට උන්ගෙ කුකුලට යකඩ දම්වැලක් දානවා යැයි ද ඔහු නිතර නිතර පැවසුවේය. පෙර සිටි ගම් ප්‍රදේශය මහගම බවත් එළගොඩ වත්ත යනුවෙන් නමක් ද ඔහු මතකයෙන් හෙළි කළේය. පෙර භවයේ පුද්ගල නමක් ලෙස ජයතිලක යනුවෙන් හැඳින් වූ බවක් ද ඔහුට මතක තිබිණි. 


දිනක් අලියෙකු නෑවීම සඳහා යන විට ජලයට වැටුණ බැව් ඔහු පැවසුවේ එදා අලියව නාවන්න අපි අරගෙන ගියා. එතකොට මාව විසිවී වතුරට වැටුණා. ඉතින් මට නින්ද ගියා යනුවෙනි. 


මට එහිදී කියන්නේ ලොකු අයියා කියලා යැයි ද කනිෂ්ක සිය පෙරභව මතකයෙන් අනාවරණය කළේය. ඇතැම් විට හඬනගා කෑ ගසන ඔහු අලි කුංචනා ද කරනවා යැයි ද මව සමග පැවසුවේ මව පුදුමයට පත් කරවමිණි. මෙම දරුවා හෙළි කළ තොරතුරු පිළිබඳව ප්‍රථම වරට විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබුණේ 1982 වසරේදීය. එහිදී කණිෂ්ක අනාවරණය කළ තොරතුරු පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර තිබේ. එහි සඳහන් වූ ප්‍රධාන කරුණු මෙසේය. 


මම එහෙදී අලි නෑව්වා. අපිට අලි දෙන්නෙක් හිටියා. මට ලොකු අයියා කියලා කතා කළා. නම ජයතිලක, අලින්ට කිතුල් කන්න දෙනවා. වත්තෙ කිතුල් තිබුණා. අලින්ව ගෙන යන විට කකුලට දම්වැලක් දානවා. 
 අලින්ව ගෙන යන්න ​ෙහණ්ඩුවක් ඕනෑ. මහගම හිටියා. එළගොඩ වත්තේ හිටියා. 


අලියව නාවන්න යනකොට විසිවී වතුරට වැටුණා. 


මට නින්ද ගියා. 


මේ අයුරින් කණිෂ්ක හෙළි කළ පෙරභව තොරතුරු පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන් ද ඒ  දිනවල ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී අවධානය යොමු කළ ප්‍රධානතම කරුණ ලෙස ගනු ලැබුවේ අලින් සිටි ජයතිලක නම් අයෙකු මිය ගිය නිවසක් සෙවීමය. ඒ අනුව එදා කණිෂ්කගේ පෙර භවය සෙවීම දුෂ්කර විය. පර්යේෂණ මට්ටමේ පවතින පුනර්භව සාධකයක් ලෙස මේ වන තුරු එය වාර්තා ගත වී තිබිණි. ඔහු හෙළි කළ තොරතුරු පසුගිය ලිපියකින් නැවත අනාවරණය වීමෙන් පසු කණිෂ්ක අප ඇමතුවේය. ඔහු විසින් තම පෙර භවය සොයා ගත් බැව් අප වෙත දැන්වීය. 


විවාහයෙන් පසු කනිෂ්කගේ බිරිය ඒ පිළිබඳව උනන්දුවක් ගත් බවත් පෙරභව තොරතුරු විමර්ශනය සඳහා මහත් වෙහෙසක් ගත් බවත් කනිෂ්ක පවසයි. ඔහු පෙර භවය සොයාගත් අන්දම කනිෂ්ක අප සමග හෙළි කළේ මෙසේය. 


මම පුංචි කාලේ කරපු ප්‍රකාශ මව විසින් මගේ බිරිඳටත් පැවසුවා. ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අැය දැඩි උත්සාහයක් ගත්තා. මතුගම ප්‍රදේශයේ අලි ඇතුන් සිටි නිවසක තරුණයෙකු මිය ගිය අලින් සිටි නිවසක් අපි සොයා බැලුවා. මහගමට නුදුරු දීයකඩුව ප්‍රදේශයේ අලියෙකු පහර දී මරණයට පත් වූ තරුණයකු පිළිබඳව අපට ආරංචි වුණා. ඒ පිළිබඳව කරුණු සෙවීමට මහින්ද විජේතිලක මහතාත් අපට උදව් කළා. 
ඒ අනුව අලියෙකු පහර දී ජලයට වැටී මිය ගිය තරුණයෙකුගේ තොරතුරු සොයා ගත හැකි වුණා. එම තරුණයා මිය ගොස් තිබුණේ අලි දෙදෙනෙකු සිටි නිවසක එක් අලියෙකු පහරදීම නිසයි. එම තොරතුරු සොයා බැලීමේදී මා කුඩා කල හෙළි කර තිබූ කරුණු එම තරුණයාගේ ජීවිත තොරතුරුවලට සමාන වුණා යැයි කනිෂ්ක පැවසීය. 


කනිෂ්ක පැවසූ පරිදි ඔහුගේ පෙරභවය ලෙස සනාථ වූ කරුණු විමර්ශනය කිරීමට පසු ගිය දිනෙක කණිෂ්කගේ පෙර භව ඥාතීන් ද හමු වුණෙමු. 


රණවක ආරච්චිගේ දිමිතියෙස් මහතා සහ ඔහුගේ බිරිය බේබි නෝනා පදිංචිව සිටියේ මතුගම දීයකඩුව ප්‍රදේශයේය. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩි මහල් දරුවා වූයේ ඊබට්ය. 1951 පෙබරවාරි 4 වැනිදා උපත ලැබූ ඊබට් අධ්‍යාපනය ලැබුවේ දීයකඩුව කනිෂ්ඨ විදුහලෙනි. ඊබට්ගේ දෙමාපියන්ගේ ජීවිකාව වූයේ ගොවිතැන සහ තේ වගාවෙන් ලද ආර්ථිකයෙනි. 


අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්වූ ඊබට් අධ්‍යාපනය ලැබුවේ පස් වැනි ශ්‍රේණිය දක්වා පමණි. 


අනතුරුව ඔහු පියාගේ ගොවිතැන් වැඩවලට සහාය වන්නට විය. ඔවුන් පදිංචි නිවසට ආසන්න නිවසක අලින් දෙදෙනෙකු ඇතිදැඩි කෙරිණ. එම අලින් බලා ගැනීමට ඇත් ගොව්වෙක් සිටියේය. අලි ඇතුන්ට ඉමහත් ආදරයක් දැක් වූ ඊබට් කුඩා කල සිටම එම නිවසට ගොස් අලින් දෙදෙනාටම ආහාර දීමටත් උන් නෑවීම සඳහා ගෙනයන විට දී ඇත් ගොව්වාට සහය වීමත් සිරිත විය. අලින් නෑවීමට ගෙනයන විටදී ඇත්ගොව්වා සමග  ඒ පිටුපසින් යෑමට ඊබට් මහත් ආශාවක් දැක්වීය. 


එදා 1968 ජුනි 05 වැනිදාය. ඒ වන විට ඊබට් වයස අවුරදු 18 ක තරුණයකුව සිටියේය. එදින නිව​ෙස්​ සිටි ඔහුට අසල නිවසේ අලියෙකු නෑවීමට ඇත්ගොව්වා විසින් ගෙන යනු දක්නට ලැබිණි. වහා එහි ගිය ඊබට් අත්ගොව්වාට එකතු වී අලියා පසු පසින් ගමන් කළේය. 


එදින ධාරානිපාත වර්ෂාව පැවති දිනයකි. අවට ප්‍රදේශය ජලයෙන් යට වී තිබිණි. ඊබට් අලියා අසලින්ම ගමන් කළේය. හදිසියේම ඊබට් දෙසට හැරුණු අලියා ඔහු හොඬවැ​ෙලන් අල්ලා ඉවතට විසි කළේය. ජලය පිරුණු ළඳු කැලෑවට ඊබට් වැටුණි. ඇත් ගොව්වා විසින් වහා අලියා මෙල්ල කරගනු ලැබීය. කෑ ගසන හඬ ඇසී එහි පැමිණි පිරිසට ඊබට් සොයා ගොඩගෙන රෝහල් ගත කළ නමුත් ඔහු අවසන් හුස්ම හෙළීය. 


මෙම සිදුවීම පිළිබඳව ඉතා හොඳ මතකයක් ඇති ඊබට්ගේ මිතුරෙකු වූ තිලකරත්න එම සිදුවීම අප සමග හෙළි කළේ මෙසේය. 


“අපේ ගෙදර තිබු​ෙණත් ඊබට්ලගේ ගෙවල් ළඟමයි. එදා එයා අලියා පිටුපසින් යනවා මමත් දැක්කා. ටික වේලාවකින් මිනිසුන් කෑ ගසන හඬ ඇසී මමත් එතනට දුවගෙන ගියා. ඊබට්ව වතුරට වැටී සිටියා. අපි එයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ වන විටත් එයා මරණයට පත්ව සිටියා” යැයි ඔහු කීය. 


ඊබට්ගේ මව වූ බේබි නෝනා දැන් අසූපස් වන වියේ පසුවන්නීය. ඊබට් පුතා ගැන ඇයට තවමත් ඉතා හොඳින් මතකය. ඊබට් පිළිබඳව ඇය අප සමග අනාවරණය කළේ මෙසේය. 


“ඊබට් පුතා ඉගෙන ගන්න ඒ තරම් උනන්දුවක් තිබුණේ නෑ. එයා තාත්තත් එක්ක ගොවිතැන් වැඩ කළා. අපේ ගේ ළඟ ගෙදරක අලින් දෙදෙනකු සිටියා. උන්ව බලා ගන්න ඇත් ගොව්වෙක් සිටියා. ඊබට් පුතා පුංචි කාලෙ ඉඳලම ඒ අලි දෙන්නා සිටි ගෙදරට යනවා. එයා අලින්ට හරිම ආදරෙයි. උන්ව නාවන්න අරගෙන යනකොට එයත් උන් පස්සෙන් යනවා. එදා හොඳටම වැස්ස තිබුණා. 


අලියෙකුව නාවන්න යන විටදී එයත් එදා පස්සෙන් ගියා. ඇත්ගොව්වත් එක්ක යනකොට හදිසියේම පුතාව අලියා හොඬවැලෙන් අරන් විසි කරලා තිබුණා. එයාව වැටිලා තිබුණේ වතුර පිරුණු තැනකට. මිනිස්සු එකතු වෙලා එයාව ගොඩ අරගෙන ඉස්පිරිතාලෙ අරන් යනකොටම මැරිලා යයි බේබි නෝනා සිය මතකය අවදි කළාය. 


කණිෂ්ක කුඩා කල හෙළිකළ පෙරභව තොරතුරුවල ඇතුළත් කරුණු රැසක් ඊබට්ගේ ජීවිත තොරතුරුවලට සමාන වී තිබේ. ඒ අතරින් ප්‍රධාන කරුණ වන්නේ කණිෂ්ක පැවසුවේ පෙර භවයේදී ඔහුට ඇමතුවේ ලොකු අයියා යනුවෙන් බවකි. ඊබට් පවුලේ වැඩිමහල් දරුවා නිසා ඔහුට බාල සොහොයුරියන් සහ සොහොයුරා ඔහු අමතා ඇත්තේ ලොකු අයියා යනුවෙනි. 


ඔහු එහි අලින් දෙදෙනකු සිටි බැවි හෙළි කළේය. ඊබට් මරණයට පත් වූ පහරදීම සිදු කළ අලියා සමග තවත් අලියෙක් සිටි පුවත ද සනාථ විය. කණිෂ්ක පැවසුවේ අලියා නාවන්න යන විටදී වතුරකට වැටුණ බවකි. එදා ඊබට් නොදැනුවත්වම එක්වරම ක්ෂණිකව අලියා ඔහු ජලයට විසි කර තිබේ. 


අලියාට එම ගෙවත්තේ දී කිතුල් කෑමට දුන් බව කනිෂ්ක පැවසීය. ඊබට් නිතරම අලින් දෙදෙනාට කෑම දීමට ඉදිරිපත් වී තිබේ. අලි ඇතුන්ට ඊබට් දැක් වූ ඉමහත් ආදරය කණිෂ්ක තුළින් ද දක්නට ලැබී ඇත්තේ ඉතා කුඩා අවදියේ සිටය. කනිෂ්ක හෙළි කළ ජයතිලක සහ පුද්ගල නාමයන් එළගොඩවත්ත නම් නමක් පිළිබඳව ද විමර්ශනයක් කළෙමු. එහිදී තහවුරු වූයේ ඊබට් එම අලින් දෙදෙනා ඇසුරු කරන සමයේදී ඇත්ගොව්වාට සහාය වීමට ජයතිලක නම් අයෙක් එහි නිතර පැමිණෙන බවකි. එළගොඩවත්ත යනුවෙන් කණිෂ්ක ප්‍රකාශ කර තිබූ ප්‍රදේශයක් පිළිබඳව අප විමර්ශනය කළ විටදී ඊබට්ගේ සොහොයුරියක් ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටියදී ගිය ප්‍රදේශ අතර එම ප්‍රදේශයේ තිබූ ලෙඩහේන වත්ත යනුවෙන් ප්‍රදේශයක් ගැන නිතර භාවිත වූ බවකි. කණිෂ්ක හෙළි කළ අනෙකුක් තොරතුරු අනුව ඊබට්ගේ යළි ඉපදීම කණිෂ්ක ලෙස සිදු වී ඇති බව ඊබට්ගේ මව සහ සොහොයුරියන් විසින් මුළුමනින්ම පිළිගැනීමට ලක්වී තිබේ. 


ඊබට්ගේ නිවසේ අයත් කනිෂ්කගේ පවුලේ ඥාතීන් ද මෙම පුනර්භව සාධකය නිසා ඥාතීන් බවට පත් වී තිබේ. 1968 ජුනි 05 වැනිදා උපන් ඊබට්ගේ මරණය සිදුවී ඇත්තේ 1979 අප්‍රේල් 17 වැනිදාය. තිස් වසරකට පමණ පසු පෙර භවය සොයාගත් සිදුවීමක් ලෙස කණිෂ්කගේ පුනර්භව සාධකය පර්යේෂණ අතරට එක් විය. 

 

 

 


තිස්ස ජයවර්ධන