තාක්ෂණයට යටවූ ළමා පරපුර


කෙතරම් අරගල කර රට රැක ගත්ත ද රටක් පාලනය කරගන්නට නැණවත් තරුණ පරම්පරාවක් සිටිය යුතුය. රටක අනාගතය තීරණය වන්නේ ඒ රටේ අනාගත පරම්පරාව මතය. දැනුමින් පිරිපුන් බරසාර අනාගත පරම්පරාවක් ස්ථාපිත වන්නේ ඔවුන්ට ලබා දෙන අධ්‍යාපනය මතය. අප වැනි රටක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැබවින්ම වාසනාවත්ත වන්නේ ඔවුන් නිතැතින්ම නිදහස් අධ්‍යාපනයේ උරුමකරුවන් වන නිසාය. නමුත් අද වන විට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් අධ්‍යාපනයට වඩා අවධානය යොමු වී ඇත්තේ වෙනත් දිශානතියක් කරාය.  


ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග ලෝකයම එක තැන ඇණ හිටියේය. ඒ සමගම නූතන තාක්‍ෂණයට පියාපත් ලැබුණේය. එය බෙහෙවින් ඵලදායකය. නමුත් එහි අහිතකර කලාපයන් ද බොහෝය. මක්නිසාද යත් නූතන මිනිසා ධනවාදී ආකල්පයන් පසුපස හඹා යන්නේ පිස්සන් ලෙසය. ඔවුන්ට සිත් පිත් නැත. ඇත්තේ එකම අරමුණකි. ඒ බල්ලන් මරා හෝ මුදල් ඉපැයීමේ අරමුණයි. මෙය ප්‍රබල පාසල් අධ්‍යාපනයට බලපෑවේය. ඉන් මාර්ගගත අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වුණි. එම නිසා එදා ​වේල පිරිමසා ගන්නා පහළම පන්තියේ දරුවන්ට පවා කොතෙක් නැති බැරිකම් මධ්‍යයේ වුවද ජංගම දුරකථනයක් විසින් රැගෙන දෙනු ලැබුණි. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රීඝ්‍ර වර්ධනයක් ඉන් ඇති නොවූයේ එය පැරණි අධ්‍යාපන රටාවට ආදේශකයක් නොවන නිසාය.  


අද වන විට පළමු වසරේ පාසල් සිසුවා ළඟ ද ස්මාර්ට් දුරකථනයක් ඇත. ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැත. අද ඔවුන් ඊට ඇබ්බැහි වී ඇත. එය නිමා නොවන ඇබ්බැහියකි. අද වන විට සමස්ත පාසල් ප්‍රජාවගෙන් බහුතරයක් දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත. ඔවුන්ට අනාගතයක් නැත. ඇත්තේ නොසන්සිඳෙන කෙටි කාලීන ප්‍රීතියක් ලබා ගැනීමට හැඩගැසුණු මනසකි. ඔවුන් අධ්‍යාපනය අතින් මොටවී ඇත. අධ්‍යාපනයෙන් මොට වූ පරම්පාරවක් අනාගත සමාජය හා ගැටීමේ දී වහලුන් බවට පත් වන බව නොරහසකි.  
මෙම දුරකථන ක්‍රීඩා නිසා පාසල් සිසුන්ගේ පටන් ආකල්ප පිරිහී ඇත. මනස විකෘති වී ඇත. තවත් බොහෝ අයහපත් ප්‍රතිඵල තිබුණ ද ඒවා කතා කරනවාට වඩා ඊට විසඳුමක් සෙවීම බෙහෙවින් වැදගත්ය. මෙයට දෙමාපියන්ට හෝ නොමග යන යහළුවන් දෙස බලා අපට කළ හැකි දෙයක් නැත. එසේ කිරීමට යාමේ දී අපට බහුතර සමාජයේ අප්‍රසාදයට ලක් වේ. මෙය පාසල් සිසුන් අතර බහුලව සිදුවන දෙයකි. එය සමස්ත ශ්‍රී ලංකාවටම පොදුය.  


වසර 2500 ක ඉතිහාසයක් ඇතැයි කියමින් පුරසාරම් කියවන අපේ රටේ පාලකයින්ට රටේ තරුණ පරම්පරාවවත් රැක ගැනීමට නොහැකි වීම අභාග්‍යයකි. කෙසේ වෙතත් පිට රටවල් වලටත් සහල් යැවූ අතීතයක් හිමි අපට ඒ අතීතය වර්තමානයේ සිහිනයක් පමණක් වූවා සේම මෙරට අනාගතය ද කෙමෙන් බොඳ වී යනු දැකගත හැකිය. 74 වන නිදහස සැමරූ අප ළමයින්ගේ මානසික නිදහස සලසන්නේ කවදාද? මෙරට පාලකයින්ට ඇත්තේ මහඟු වගකීමකි. අප රටේ තරුණ පරම්පරාවේ අභිවෘද්ධිය තකා දරුවන්ගේ මනස විකෘති කරන දුරකථන ක්‍රීඩා සම්බන්ධයෙන් මෙරට පාලකයින් තීරණයක් ගත යුතුය. එසේ තීරණයක් තවමත් නොගන්නේ විදේශීය බලපෑම් නිසාද යන්න තවත් බරපතළ ගැටලුවකි. කෙසේ වෙතත් මේ පිළිබඳ තීරණයක් නොගතහොත් නුදුරු අනාගතයේදීම අප රටේ අනාගතය තීරණය වනු ඇත.  


සිතුම් නිම්සර කීඹියගේ - බද්දේගම.