චෙිතනා කැටගොඩ හඩ කැවීම් ශිල්පිනියක්, නීතිඥවරියක්, ගායිකාවක්, හිංදි භාෂා උපාධිධාරිනියක් සහ කථිකාචාර්යවරියක්, හැබැයි, වැඩියෙන්ම ප්‍රසිද්ධ සෝෂල් මීඩියාවල
සෝෂල් මීඩියාවල ලංකාවේ කාන්තා චරිත අතර ඉදිරියෙන්ම සිටින තවත් චරිතයක් වන ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වුයේ හඩ කැවීම් ශිල්පිනියක ලෙසය, නීතිඥවරියක් වන අතර ඇයට හිංදි භාෂාව වෙනුවෙන් උපාධියක් ඇත. ගායිකාවක ද වන්නීය. මේ විදිහට අංශ ගණනාවක නියැලී සිටිමින් කාන්තාවක ලෙස තම ජීවිතයට සැබෑ අරුතක් එක් කර ගත් ඇය චේතනා කැටගොඩය.
ප්‍ර චේතනාගේ සම්පූර්ණ නම ?
සම්පූර්ණ නම නම්, කැටගොඩගේ දෝන රන්මිණි චේතනා කැටගොඩ. ඒත් භාවිතා කරන්නෙ චේතනා කැටගොඩ. හැමෝම දන්නෙත් ඒ නමින්.
ප්‍ර දෝන කතිරිනාගේ පරපුරෙන් ද එන්නෙ?
නෑ.. නෑ..
ප්‍ර ගම කොහෙ ද?
කඩුවෙල.
ප්‍ර ගෙදර අය චේතනාට කතා කරන්නෙ කොහොම ද?
පොඩි පුතා කියලා.
ප්‍ර ගෙදර විස්තර කියමු එහෙනම්?
අම්මයි-තාත්තයි, අක්කයි එයාගේ සැමියා සහ බබාලා දෙන්නයි, මමයි. ඒ හැර තව අපේ ගෙදර බල්ලො හතර දෙනෙක් ඉන්නවා.
ප්‍ර මොන වගේ ෆැමිලි එකක් ද?
තාත්තා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් කෙනෙක්. අම්මා නීතිඥවරියක්. කලින් රජයේ සේවයේ යෙදුණා. අක්කා වෛද්‍යවරියක්. මම නීතිඥවරියක්.
ප්‍ර චේතනා ඉගෙන ගත්තෙ?
9 වසර දක්වා කොළඹ විශාකා විද්‍යාලය. ඉන්පස්සෙ සා පෙළ කරන්න රෝයල් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් එකට මාරු වුණා. උසස් පෙළ කළේ පුද්ගලික අංශයේ අයැදුම්කරුවකු ලෙසයි.
ප්‍ර ඉගෙන ගත්තෙ ලෝයර් කෙනෙක් වෙන්න හිතාගෙනමද?
එහෙම අදහසකින් නෙවෙයි. අමතර සුදුසුකමක් ලෙස කළොත් හොඳයි කියලා හිතුවා. අම්මා ඒ වෙනුවෙන් මාව ගොඩාක් උනන්දු කළා. ලෝයර් කෙනෙක් වෙන්න කියලාම හිතා ගත්තෙ නැහැ.
ප්‍ර කලා අංශයේ පටන් ගැන්ම කොතැනින් ද?
ඩබින්වලින් පටන් ගත්තෙ. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාවේ ළමා හඩ කැවීම් ශිල්පිණියක ලෙස පටන් ගත්තෙ. ඩබින් හෙවත් හඩ කැවීම් කලාව පටන් ගත්තෙ රූපවාහීනී මහ ගෙදරින්. මේ වෙද්දී ඩ්‍රාමා සීයයකට විතර හඩ කැවීම් අංශයෙන් දායක වෙලා තියෙනවා.
ප්‍ර ගායිකාවක් වුණේ කොයි කාලයේදීද?
මගේ පළවැනි ගීතය කළේ අවුරුදු 16 දී. ඒකේ නම මේ ඇත්තමයිදෝ.. ඒ සිංදුව අදටත් ටී වී චැනල්වල ප්‍රචාරය වෙනවා. හැබැයි බොහෝ දෙනෙක්ට ඒ මමද කියලා හඳුනා ගන්න බැහැ. දැන් වගේ නෙවෙයි පෙනුම. ගායන ක්ෂේත්‍රයට ඇවිත් පසුව විවිධ ඉසව් වලදී ගායිකාවක ලෙස කටයුතු කළා. පසුව හින්දි උපාධියේ සහ නීතී අධ්‍යාපන කටයුතු නිසා ගැයුමට එච්චර කාලයක් වෙන් කළේ නැහැ. ඒ නිසා ගායන අංශයට වැඩි පුර දායක වෙන්න බැරි වුණා. ආයෙත් අවුරුදු තුනක ඉඳලා ගායනයට සම්බන්ධ වෙනවා. නාන විලේ සිංදුව රිලීස් කළේ ඒ විදිහටයි. පසන් ලියනගේ, ට්‍රැක් එක නිර්මාණය කළා. ලකී, ලක්මිණ, රිහාන්, ජේ ෆ්‍රෙන්ඩ්ස්, ගැයුමට මා එක්ක සම්බන්ධ වුණා. ඒක මේ දවස්වල හොඳට හිට් වෙච්ච ගීතයක්. ඩබින් ආර්ටිස්ට් කෙනෙක්ට අමතරව, වෙළඳ දැන්වීම් හඩ කැවීම් ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. සෝෂල් මීඩියා ඒකේදී වුනත්, කොච්චර ඩිජිටල් කන්ටෙන්ට් කළත්, මිනිස්සු මට වැඩිපුර ආදරේ ඩබින් ආර්ටිස්ට් කෙනෙක් විදිහටයි.
ප්‍ර සෝෂල් මීඩියා එතරම් වගකීමක් ඇති අංශයක් කියලා අදටත් සමහරු විශ්වාසකරනවා, ලෝයර් කෙනෙක් වෙච්ච ඔබ ඩිජිටල් මීඩියා අංශයට ආවේ?
අවුරුදු කීපයකට පෙරදී වැඩි දෙනෙක් අතර සෝෂල් මීඩියා ප්‍රබල මාධ්‍යයක් වුණේ නැහැ. හැබැයි ලංකාවේ ඩිජිටල් මීඩියා ක්ෂේත්‍රයේ ආරම්භක අවස්ථාව් ඉඳලම කටයුතු කරන්න පටන් ගත්ත චරිත අතරට මාත් අයත් වෙනවා.
ප්‍ර හින්දි භාෂාවේ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද?
හින්දි භාෂාව හදාරන්න පටන් ගත්තෙත් අවුරුදු දහයේ ඉඳලා. ඩබින් එක්කම තමයි පටන් ගත්තෙ. හින්දි මෙරටදී ඉගෙන ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. ඒ සංස්කෘතියට මම හරි ආසයි. මේ වන විට හිංදි භාෂා ඕ ලෙවල් , ඒ ලෙවල්, මෙහිදී කරලා හින්දි භාෂා ඩිග්‍රි එක ගත්තෙ 2015 ඉන්දිරා ගාන්ධි නැෂනල් ඕපන් යුනිවර්සිටි එකෙන්. හින්දි බී ඒ ඩිග්‍රී එක ගත්තට පස්සෙ පාලි හා බෞද්ධ යුනිවර්සිටි එකේ ටික කාලයක් ලෙක්චර් කෙනෙක් ලෙසත් කටයුතු කළා. කෝවිඩ් කාලයේදී හිංදි භාෂාව ඔන්ලයින් ඔස්සේ ඉගැන්වූවා. අද හින්දි භාෂාවේ සේවය ලබා දෙන්නේ අපේ රටේ හින්දි ගීත ගයන ගායන ශිල්පිනියන් සහ ශිල්‍පීන්ටයි. ගායනයේදී හරියට වචන උච්චාරණය කරන හැටි එයාලට කියලා දෙනවා.
ප්‍ර ඒ විදිහට කටයුතු කරන චේතනාට ඇයි තවම හින්දි ගීතයක් ගයන්න බැරි වුණේ?
කවර්ස් කරනවානෙ.
ප්‍ර ඔබගෙම හින්දි ගී නිර්මාණයක්?
ඒක ඇත්තටම ලංකාවේ මාර්කට් එකට කරලා වැඩක් නැහැ. අනෙක ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන මගේ කිසිම හදිසියක් නැහැ. මේ අවුරුදු 33 ට මම එහෙම හිතාගෙන වැඩ කළේ නැහැ. අනෙක ඒ වගේ දෙයක් කරනව නම් හොඳට ස්ටඩි කරලා කරන්න වෙනවා.
ප්‍ර අද ඔබ ෆුල් ටයිම්?
ඩිජිටල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ෆුල් ටයිම් ගත කරන්නෙ ඒ වෙනුවෙන්. අද මේ අංශය කොච්චර වැදගත් වෙනවද, ප්‍රයෝජනවත් වෙනවද කියලා අපට හිතුණෙ මීට වසර ගණනාවකට පෙරදීයි. අපට ඒ ගැන කල් තියාම තේරුම් ගෙන සෝෂල් මීඩියා එකට ඇවිත් දෙයක් කරන්න ලැබීම ගැන මට තියෙන්නෙ සතුටක්. 2016 -2017 වගේ කාලයේදි නිකම් ජොලියට වගේ අපේ ආතල් එකට පටන් ගත්තෙ. ඒත් අද එය ෆුල් ටයිම් කාලය යොදවන වෘත්තියක් බවට පත්වෙලා.
ප්‍ර චේතනා මේ වගේ ෆුල් පැකේජ්යක්, නැතිනම් මාර දක්ෂතා ඇති කෙනෙක්, හොඳට ඉගෙන ගත්ත කෙනෙක් කියලා සෝෂල් මීඩියා එකේ බොහෝ දෙනෙක් දන්නව ද?
මම මාර කැරැක්ටර් එකක් කියලා මමම කියා ගන්නෙ නැහැ. ඒක ඩිසයිඩ් කරන්න ඕනෑ මගේ වටා සිටින මිලියන ගණනක රසිකාගාරයයි. අපේ ඕඩියන්ස් එක නිතරම වැඩි වෙන එකක්. ඒ නිසා ඒක නිතරම ඉරක් ඇඳලා ප්‍රමාණය ඇඳලා වෙන් කරන්න බැහැ. ඒ කාලයේ ඉඳලා මා වටා සිටින පිරිස දන්නවා. අලුතින් එක්වන අය කවුද මොනවද කරන්නෙ කියලා දැන ගන්නේ ටික කාලයක් ගියාමයි. ඉස්සර වගේ නෙවෙයි අද මේ ඩිජිටල් මාධ්‍යය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඉන්න නිසා කෙනෙක් ගැන දැන ගන්න කාලයක් යනවා. කොහොම වුනත්, කාලයක් තිස්සේ මා වටා සිටින පිරිස මා ගැන දන්න නිසානෙ මාව ෆලෝ කරලා තියෙන්නෙ.
ප්‍ර චේතනා මොන විදිහට ඉන්න කැමති කෙනෙක්ද?
ආතල් එකේ, චිල් එකේ ඉන්න කැමති කෙනෙක්.
ප්‍ර සෝෂල් මීඩියා එකෙන් හොඳ ගාණක් හම්බ කරනවාත් ඇති?
එහෙමයි කියලම කියන්න බැහැ, ඒත් මගේ වියදම් වලට හරියන ආදායමක් උපයනවා.
ප්‍ර දැනුමෙන් සහ නිර්මාණශීලීත්වයෙන් මෙච්චර දක්ෂ චේතනාගේ ආදරේ-ප්‍රේමයේ තරම කොහොම ද?
අවුරුදු හයක් තිස්සේ ප්‍රේමයක් නැහැ.
ප්‍ර ලෝයර් කෙනෙක් වෙච්ච නිර්මාණශීලී චේතිට ආදරයක් නැහැ කිව්වාම?
ලෝයර් කෙනෙක් වගේම ඔබ කියූ විදිහට මම නිර්මාණශීලී වෙච්ච නිසාම තමයි ඇත්තටම හරි හිමින් හැම දේම කරන්නෙ. ආදරය ගැන අහන අය ඉන්නවා යෝජනාත් එනවා. මම විශ්වාස කරන විදිහට එක එක්කෙනාගෙ ටයිම් ලයින් එක වෙනස්. සමහර අය දහ අටේදී විතර ආදරය පටන්ගෙන විස්සෙදී විතර බැඳලා ළමයිනුත් හදා ගෙන ජීවත් වෙනවා. සමහර අය තිස් පහේදී විතර ආදරේ කරන්න පටන් ගන්න අයත් ඉන්නවා.
ප්‍ර ඒ කියන්නෙ චේති තිස් පහ වෙන කල් ඉන්නෙ ආදරය පටන් ගන්න?
එහෙම කියලා දෙයක් නැහැ. තමුන් ස්ථාවරත්වයක් ගොඩ නඟාගෙන තමා බලා පොරොත්තු වන නිදහස් සාමකාමී ජීවිතය ගත කරද්දී තමාට ලැබිය යුතු දේ ලැබේවි කියලයි මම විශ්වාස කරන්නෙ. ඒක මේ වයසේදී වෙන්නත් පුළුවන්, තිස් පහේදී වෙන්නත් පුළුවන්. ගැළපෙන කෙනා හමුවන කල් මට හදිසියක් නැහැ. ඒ නිසා ඒ වෙනකම් මේ විදිහට ඉන්නවා.
සඳුන් ගමගේ