ගෙදර ඉන්න හැටි වීඩියෝ කරලා ටික්ටොක් තරුවක් වූ ලක්ෂිකා


 

 

මෙවර ඉරිදා ලංකාදීපයෙන් ‘‘යූ ටියුබ්’’ විශේෂාංගය වෙනුවෙන් එකතු කරගන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනාදරයට පත් ටික්ටොක් තරුවක් ඇය නමින් ලක්සිකා සෂිනි හිටිබණ්ඩාර.

ශෂිනි ලක්ෂිකා කියන්නේ අද වෙද්දි සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි ආදරයක් දිනාගෙන සිටින ‘‘ටික්කොට්’’ තරුවක්. ඉතින් මේ ලබාගත් ජනාදරය ගැන කතා කළොත්.


ලබාගත් ජනාදරය කියන්නේ මම මේ ටික්​ටොක් වීඩියෝ තනියම නෙමෙයි කරගෙන යන්නේ. මගේ නංගිලා දෙන්නා සහ මගේ මහත්තයා සමගින්. ඉතින් අපි කොහොමත් ජීවිතේ ගෙවන විදිය තමයි මේ මේ වීඩියෝවලට එකතු කරලා තියෙන්නේ. අපේ සාමාන්‍ය ජීවන රටාව (Lifestyle) අපි ​කොහොමත් ගොඩක් ජොලියෙන් තමයි ජීවිතේ ගෙවන්නේ. මේ ටික්ටොක් වීඩියෝ වුණත් කරලා සමාජ මාධ්‍යයට එකතු කළේ අපේ වචනයෙන්ම කියනවා නම් පොඩි ආතල් එකක් ගන්න. ඉතින් අපි නොහිතපු විදියට අපේ වීඩියෝ මිලියන ගණන් නරඹලා තිබුණා. දැන් ගොඩක් දෙනෙක් මේ වීඩියෝ ගැන කතාබහා කරනවා.   


මේ ටික්ටොක් වීඩියෝ ඇතුළත ඔබ වැඩිපුර ඉදිරිපත් කරන්නේ හාස්‍යෝත්පාදක රංගනයන්. කෙනෙක්ව හිනාගස්සනවා කියන දේ ලොකු අභියෝගයක්. නමුත් ඔබ ඇතුළු පවුල ඒ අභියෝගය ජයගෙන තියෙනවා.   

 

ඔව් ඇත්තටම කෙනෙක් හිනාගස්සනවා කියන්නේ ලොකු අභියෝගයක් නම් තමයි. නමුත් අපි මොන වීඩියෝවක් දැම්මත් ඒ වීඩියෝ නරඹලා ප්‍රතිචාර දක්වන ලොකු පිරිසක් ඉන්නවා. අපි ​ලොකු විශේෂ දෙයක් මේ වීඩායෝවලට එකතු කරන්නෙත් නැහැ. වීඩියෝ කරන දේවල් වුණත් සැලසුම් කරලා කරන දේවල් නොවෙයි. එදිනෙදා ජීවියේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මුහුණ දෙන සාමාන්‍යයෙන් මිනිසන් මුහුණ දෙන්න වෙන සිදුවීම්, ගෙදර දොරේ සිදුවීම්, යාළුවෝ අතර වෙන දේවල් වගේ තමයි මේ දේවල්වලට මුල් කරන්නේ. ඉතින් එසැණින් අදහස් ආවා. ඒ දේ කරමු කියලා ගෙදරට ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම ඒ වීඩියෝ කළා. සමාජ මාධ්‍යයට ඒවා එක් කරද්දි අඩුම තරමේ එඩිට් එකක්වත් කරන්නේ නැහැ. නමුත් ඉතින් වීඩියෝවක් එකතු කරලා දවස් දෙක තුනක් යන්නත් කළින් ඉහළ විව්ස් සංඛ්‍යාවක් ලැබෙනවා. ඉතින් අපි ජොලියට වගේ කරන දේවල්වලට ඉහළ ප්‍රතිචාර ලැබෙද්දි ගොඩක් සතුටුයි. අපි කොමඩියක් වුණත් අව්ලක් නැහැ කියලා හිතෙනවා අපේ වීඩියෝ බලලා මිනිස්සු හිනාවෙලා ඉන්නවනම්.   

ලක්ෂි නංගිලා දෙන්නත් එක්ක යන Three Sisters ලගේ ගමන ගැන කතා කෙළාත්?   


නංගිලා දෙන්නත් එක්ක යන ගමනත් ඇත්තටම හරි සුන්දරයි. ඉතින් අපිට පුළුවන් විදියට එක් එක් විදියෙ වීඩියෝ එකතු කරනවා සමාජ මාධ්‍යයට. ඒවාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි තුන්දෙනා ගීත ගායනා කරන ඒවා රඟපාන ඒවා ඇතුළු විවිධ දේවල් ඉතින් ඒ ඔස්සේ කරනවා. ඉතින් අපි තුන් දෙනා ගීතයක් ගායනා කරලා දාපු වීඩියෝවකට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් දෙනෙක් ඒ ගැන කතාබහ කළා. ඉතින් අපි මේ හැමදේම කරන්නේ විනෝදාස්වාදයක් ලබා ගන්න. නැතිව කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නම් නොවේ. ඉතින් මේ හැමදේටම අම්මා අප්පච්චිගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි සමහර වෙලාවට අපි වීඩියෝවල දර්ශන පටිගත කරද්දි ෆෝන් එක පවා අල්ලගෙන ඉන්නේ. අප්පච්චිට නම් ටිකක් අසනීපයි. රෝද පුටුවේ තමයි ඉන්නෙ. නමුත් අපේ වීඩියෝ බලලා ඒවට හොඳ නරක කියනවා. අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ඒ දේවල් දෙන්නම හොයලා බලලා අපිට විශාල සහයෝගයක් ලබලා දෙනවා. ඉතින් ඒ විදියට තමයි ‘‘Three Sisters’’ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඒ වගේම අපි ඇවිදින්න යන්න ආසයි. ‘Three Sisters’’ නමින් අපි කොහේ හරි ඇවිදින්න ගියොත් ඒවාත් එකතු කරනවා. ඉතින් මේ ටිකේ නම් පුංචි විරාමයක් අරන් තියෙන්නේ. ඒ දෙන්නත් එක්ක කරන වැඩ. මොකද නංගිලා දෙන්නාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කටයුතු කරන්නේ මේ දිනවල ඉතින් එෆ්.බී. සහ ටික්ටොක්වල රැඳෙන්න ඒ දෙන්නට වැඩිවෙලාවක් නැහැ. නමුත් වෙලාවක් ලැබුණ ගමන් වීඩියෝවක් අපි එකතු කරනවා. ඊට අමතරව ප්‍රමෝෂන් වැඩ කරනවා. අපි තුන්දෙනා ‘Three Sisters’’තුළින් බලාපොරොත්තු වෙන්නේ. 


මේ ‘Three Sisters’’ලා කව්ද?   


මම ලක්ෂිකා සෂිනි හිටිබණ්ඩාර දෙවනි නංගි සෙව්වන්දි හිටිබණ්ඩාර, තුන්වෙනියා හයෙෂි හිටිබණ්ඩාර.   


එතකොට ඔබේ සැමියා?   


ඔහු ධනුෂ්ක ලොකු මීගොඩගේ   


ඔබ දෙපළත් සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රියයි නේද?   


ඔව් මම මීට පෙර සඳහන් කළා වගේ අපි දෙන්නා ජීවත් වන සැබෑ තත්ත්වය තමයි ඒ වීඩියෝවල තියෙන්නේ. මගේ මහත්තයා කොහොමත් ගෙදර කොමඩි වැඩ, විහිලුකරන එවා සාමාන්‍ය විදියට කරනවා. ඒ දේවල් මුලින් මම ජොලියට වගේ වීඩියෝ කළා. ඒ දේට මුලින් ඔහු කැමති වුණේ නැහැ. නමුත් ඒ වීඩියෝවක් දෙකක් මම ඔහුටත් හොරෙන් සමාජ මාධ්‍යයට එකතු කළාම හිතාගන්නත් බැරි විදියට ඒවට ප්‍රතිචාර ලැබුණේ. ඒ නිසා ඒ දෙවල්වලට ඔහුගෙන් විරුද්ධත්වයක් පසුව තිබුණෙත් නැහැ.   


මේ හරහා ලොකු මුදලක් උපයාගන්න පුළුවන් කියන්නේ ඇත්තද? ඒ නිසාද ඔබ මේ මාධ්‍ය තෝරාගෙන ඉන්නේ.   


බොරු කියන්න ඕන නෑනේ. අපි නම් ටික්ටොක්වලින් කියලා මේ වෙද්දි රුපියලක්වත් හම්බ කරලා නැහැ. අපේ එකම සතුට තියෙන්නේ වීඩියෝවක් කළාම ඒක නරඹන සංඛ්‍යාව වැඩිවීම මත. මිලියන ගණන් නරඹන්නේ. ඉතින් මේ ජනාදරය හරහා අපිට නිෂ්පාදන ආයතනවල ප්‍රමෝෂන් වැඩවලට නම් කතා කරනවා. ඒ දේවල්වලට නම් පුළුවන් විදියට සම්බන්ධ වෙනවා. ඒ හැඳුනුම්කම් මත අපිට තෑගි භෝග නම් බොහොමයක් ලැබෙනවා. ඒ එක් එක් නිෂ්පාදන ආයතනවලින්. ඒ ඇර මුදල් ලැබෙන දෙයක් නම් නැහැ.   


ඇත්තටම ඇයි මෙවැනි වැඩ කටයුත්තකට පෙළඹුණේ?   


කොවිඩ්වල අතුරු ප්‍රතිඵල තමයි මේ. මොකද අපි කාලයක් ගෙවල්වලට නිරවුණා. එතැනදී කරන්න කියලා ලොකු වැඩක් තිබුණෙත් නැහැ. ඉතින් මේවට යොමුවුණා. නැත්තම් පොඩි පොඩි වීඩියෝ දාලා හිටියේ. කොවිඩ් කාලෙදී තමයි ටිකක් දියුණු වුණේ. ඇත්තටම මේ මාධ්‍යය හරි විදියට හසුරනව නම් මේ තුළින් හොඳ දෙයක් කරන්න පුළුවන්. ලොකු වටිනාකමක් තියෙනවා. මේ ​දේවල් නිසිලෙස භාවිතා කිරීම තමයි වැදගත් වෙන්නෙ.   


ඒත් ටික් ටොක් කියද්දී ඒ මාධ්‍යය සමාජයේ පහත් තැනකට දාලානෙ කතා කරන්නේ නේද?   


අනිවාර්යෙන්ම, නමුත් හැමදේම දෙපැත්තක් තියෙනවා. Fb ආපු මුල් කාලෙත් සමහරු ඒ දේට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. විවේචන තිබුණා. ටික්ටොක් ආපු මුල් කාලෙත් එහෙම තමයි. නමුත් අද කලාකරු​ෙවා ගොඩක් දෙනෙක් මේ මාධ්‍ය භාවිතා කරනවා. රේටින්ස්වල උපරිමයට ඔවුන්ගේ වීඩියෝත් ගිහින් තියෙනවා. ටික් ටොක් කියන්නෙ දැන් ලොකු බලයක් තියෙන මාධ්‍යයක්. තමන් මේ මාධ්‍ය භාවිතා කරන විදිය අනුව තමයි එහි හොඳ නරක තීරණය වෙන්නේ. මම හිතන විදියට ටික්ටොක් කියන්නේ හොඳ මාකටින් ෆ්ලැට්ෆෝම් එකක්. තමන්ගේ ව්‍යාපාර නිෂ්පාදන හැමදේම මාකට් කරගන්න. ඒ වගේම තමන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනියන්න තියෙන ප්‍රබලම මාධ්‍යයක්. මම නම් ඒවගේ වරදක් දකින්නේ නැහැ.   


නමුත් සමහරු මේ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන්න ඇඟ නිරාවරණය වන ඇඳුම් එහෙම ඇඳලා ඒ හරහා ජනප්‍රිය වෙන්න බලනවා නේද?   


මෙහෙමයි. ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳිනවා කියන්නේ ලංකාවෙත් අපි දකිනව සාමාන්‍ය ජීවිතේ කොටට අඳින, බිකිනි අඳින වගේ කට්ටිය. ඉතින් එතැනදි ඒ අයට මොනවත් කියන්න බැහැ අඳින ඇඳුමට. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ එහෙම නැතිව අමුතුවෙන් එවැනි දේවල් කරන තැනනේ. නමුත් ඒ දේ බලන දකින කෙනෙකට කියන්න පුළුවන් මේ සාමාන්‍ය ජීවිතේ ඉඳලා එන දෙයක්ද නැත්නම් අමුතුවෙන් මේ දේවල් කරන කෙනෙක්ද කියන දේ.   


ඉතින් අද වෙලා තියෙන්නේ සමහරු මොලෝ රහක් නැතිව ගීත කෑලි ටිකකට රංගනයෙ යෙදෙනවා සම්පූර්ණයෙන්ම අඟ පසඟත් එළියේ දාගෙන. ඒවා කොහොමත් පිස්සුවක් වගේ කැපිලා පේනවා. FB එකේ උඩට පහළට යද්දි ඒවා වැඩිපුර ෂෙයාර් වෙනවා. ඉතින් ඒ දේවල්වලින් මේ මාධ්‍යය ටිකක් අවුල් වෙනවා. ඒ වගේම සමහරු කුණුහරුප දෙපිට කැපෙන වචන යොදාගන්නවා. සමාජ මාධ්‍යයක වාරණ දාන්න බැහැ. මේ දේයි කරන්න ඕනෑ කියලා. නමුත් තමන් හරියට පරිහරණය කිරීම වැදගත්. එතකොට කාගෙන්වත් විවේචන එල්ලවෙන්නේ නැහැ.   


ශෂිනිලාටත් බණින අය ඉන්නවද?   


අම්මෝ ඔව්. බණින අය ඕනෑතරම් ඉන්නවා. ගොං ආතල් කියනවා. මට මෙයාලව පෙන්වන්න බෑ කියලා ප්‍රතිචාර දක්වනවා. මේකිව පෙන්නන්න බැහැ කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඇත්තටම මටනම් ඒවා මාර ජොලී. බණින්න හරි ඒ පිරිස අපිව නරඹනවනෙ. ඉතින් මිනිස්සු අපිව දකින විදියනෙ ඒ කමෙන්ට්වල තියෙන්නේ. ඉතින් මම ඒ හැමදේටම රිප්ලයි කරනවා. හරි සතුටුයි හොඳ නරක දෙකටම ප්‍රතිචාර දක්වද්දි. නමුත් ​ගොඩක් දෙනෙක් හොඳ ප්‍රතිචාර තමයි දක්වන්නේ. සමාජයේ ඇත්ත තත්ත්වය විවෘතව ඇති සැටියෙන් පෙන්වලා දෙනවා කියලා ඇත්තටම මීටත් වඩා විවෘතව කතා කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මහත්තයා ඒ නිර්මාණ කරන්න ඉඩ දෙන්නේ නැහැ කාටහරි මඩ ප්‍රහාර එහෙම වදියි කියලා. නමුත් අපි වීඩියෝ 100 ක් දැම්මොත් ඒ අතරින් 80ක් වගේ මිලියන ගණන් විව්ස් සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. ​ගොඩක්ම අපිව නරඹන කතුන් පිරිසක් ඉන්නේ. සමහරු වෙලාවට අපි පාර තොටේ යද්දි වුණත් අපි දිහා බලලා හිනාවෙලා යන්නෙ ළඟට ඇවිල්ලා කතා කළාම කියන්නෙ අපි දැක්කම හිනා යනවා කියලා. එහෙම සිදුවීම් ගොඩක් වෙනවා. සමහර වෙලාවට අපි සීරියස් වීඩියෝවක් කරලා දැම්මම ඒ තුළ හිනාවෙන සිදුවීමක් ගැන ඔවුන් හොයන්නෙ. වීඩියෝව අවසාන වෙනකම් බලන්නෙ ​කොතනද පිස්සුවක් නටලා තියෙන්නෙ කියලා. ඉතින් ඒ දේවල් හරි සුන්දරයි. අපිව දකිද්දිත් හිනා යනවා කියන දේ තමයි අපිව නරඹන හැමෝම දැන් කියන්නේ.

 

 

ධනු විජේරත්න