“ශීත කාලය පැමිණේවි
තද ශීත කුණාටු හමාවි
හිම කැට සහිත මහ නපුරු
සුළි සුළං හමාවි
එහෙත් වසන්තය එනවා සත්තයි”
අන්තර්ජාතික සම්මාන දිනූ උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගීතය’ චිත්‍රපටයේ ‘අල්තීනායි’ එසේ පවසන්නීය. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතය නවකතාව කියවා ඇති අයට මේ අල්තීනායි කවුදැයි කියා අමුතුවෙන් කිවයුතු නොවේ.
උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ ගුරු ගීතයේ ‘අල්තීනායි’ගේ චරිතය රඟපෑවේ කල්පනී ජයසිංහය. එය ඇයගේ ප්‍රථම සිනමා රංගනයයි. වේදිකාවට අමුත්තියක නොවූ, ‘කල්පනී’ නැවතත් අලුත් වේදිකා නිර්මාණයක් සමග කරළියට පැමිණ සිටින්නීය.
කලබල වෙන්න එපා අම්මේ
හැමදේකටම විසඳුමක් තියෙනවා.
කාලය විතරයි ඕනෙ...
ඒ විදිහට කියන්නෙ ‘සුබා’ ය. මේ සුබා අපට හමුවන්නේ කපිල කුමාර කාලිංග රචනා කළ පිටපතකට අනුව අජිත් ලොකුගේ නිර්මාණය කළ බ්‍රිස්බේන් මනාලයා නාට්‍යයේදීය. මෙම නාට්‍යයේ මංගල දර්ශනය සැප්තැම්බර් 6 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ කතාබහ අද සඳැල්ල කවරය හැඩ කරන ‘බ්‍රිස්බේන් මනාලයා’ නාට්‍යයේ ‘සුබා’ගේ චරිතයට දායක වන ‘කල්පනී ජයසිංහ’ සමගයි.
ප්‍ර ‘කල්පනී’ ගැන මුලින්ම විස්තර දැනගන්න කැමතියි?
මගේ උපන් ගම නිට්ටඹුව. මුලින්ම ගියේ ගමේ පාසලට. ශිෂ්‍යත්වය සමත්වෙලා වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලට ගියා. අපේ තාත්තා මියයද්දි මට වයස අවුරුදු 8යි. පවුලේ අම්මයි - අයියලා දෙන්නයි. ඒ පවුලේ බාලයා මම. අපේ ගෙදර තිබුණෙ කලාවට ළැදි පරිසරයක්. කලාවට ආදරය කරන්න පටන් ගත්තෙ ඒ නිසයි. 2008 වසරේදි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කණ්‍ඩායමට එක්වෙලා එහි නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කළා. පසුව ප්‍රසන්නජිත් සර්ගෙ ‘පහුර’ වීදි නාට්‍ය කණ්ඩායමෙත් හිටියා. උසස් අධ්‍යාපනයට මම කළේ මුල් ළමාවිය සහ ප්‍රාථමික ළමාවිය සම්බන්ධයෙන්. ගුරු උපදේශිකාවක ලෙස රැකියාවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පටන් ගත්තා.
ප්‍ර ඇයි ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ රැකියාවකට යොමුවුණේ?
මම හිතන විදිහට මනුස්සයකුගේ ජීවිතයේ වටිනාම අවදිය මුල් ළමාවිය ගත කරන කාලයයි. මනුස්සයකුගේ ජීවිතයේ අනාගතය තීරණය වෙන්නෙ මේ අවදියේදී සිදුවන යහපත් හෝ අයහපත් බලපෑම්වලින්. රටක දියුණුව රඳා පවතින්නෙත් ඒ රටේ මුල් ළමා වියේ සිටින දරුවන් වෙනුවෙන් කටයුතු කරන ආකාරය අනුවයි. රටක දියුණුව ගැන හිතනව නම් අපිට ඒ කටයුත්ත පටන් ගන්න වෙන්නෙ ගෙදර දරුවාගෙන්. ඒ නිසා මගේ රංගන කටයුතුවලට වඩා මට වැදගත් වුණේ අපේ දුවගෙ මුල් ළමා විය නිසි අන්දමින් සංවර්ධනය කරන්න. ඒ විදිහට දියණිය වෙනුවෙන් කළ ආයෝජනයෙහි ප්‍රතිඵල අද ඉතා සතුටින් භුක්ති විඳින අම්මා කෙනෙක් මම.
ප්‍ර කල්පනී වේදිකාවෙන් නේද රංගනය පටන් ගත්තෙ?
ප්‍රසන්නජිත් සර්ගෙ වීදි නාට්‍ය කණ්ඩායමෙන් පසුව, 2011 යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී නෙරන්ජන් චන්දාදිත්‍යගෙ Reality (රියැලිටි) සහ මලිත් සුදම්තගෙ Queen (ක්වීන්) කෙටි නාට්‍ය දෙකේ රඟපෑවා. ඒ රඟපෑම් හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ වගේම ජූරියේ විශේෂ කුසලතා සහතිකයත් ලැබුණා. මාව වේදිකාවෙදි වැඩි දෙනෙක් හඳුනාගත්තෙ ඊ.එම්.ඩී. උපාලි මහතාගේ ‘ඉඩමේදී විකිණේ’ නාට්‍යයේ, ‘ආන්යා’ගේ චරිතය නිසයි. ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිගේ Happy Journey නාට්‍යයේත් රඟපෑවා.
ප්‍ර ගුරු ගීතය ෆිල්ම් එක?
මම නව යොවුන් වියේ සිටියදී ගුරු ගීතය පොත මට ගෙනැත් දුන්නෙ අපේ අම්මා. ඒ පොත ආදරයෙන් කියැවූ එකක්. මගේ පළමු සිනමා රංගනය ලෙස ගුරු ගීතයේ ‘අල්තීනායි’ ලෙස රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්. ඒ වාසනාව උදාකර දුන්නෙ උපාලි ගම්ලත් ගුරුතුමා. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ අතිදක්ෂයකු වන රොෂාන් රවින්ද අයියා එක්ක රඟපෑමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක්. ‘ගුරු ගීතය’ චිත්‍රපටය රූගත කළේ නේපාලයේ ‘මනන්’ ගම්මානයේ. අතිදුෂ්කර අත්දැකීම් ලබමින් මාස එකහමාරක් විතර අපි එහි ගත කළා.
ප්‍ර දැන් ඔබ ආයෙත් සුපුරුදු වේදිකාවට ඇවිත්. බ්‍රිස්බේන් මනාලයා සමග?
නැවතත් මට වේදිකාවේ රඟපාන්න ලැබුණෙ අවුරුදු දහයකට විතර පස්සෙ. අජිත් ලොකුගේ මහතා නිර්මාණය කරන, බ්‍රිස්බේන් මනාලයා වේදිකා නාට්‍යයේ චරිතයකින්. එහි ‘සුබා’ නමැති චරිතයට කෙනෙක් හොයද්දී ජගත් චමිල අයියා තමයි මා ගැන කියලා තිබුණෙ. බ්‍රිස්බේන් මනාලය කපිල කුමාර කාලිංග මහතාගේ රචනයක්. නිෂ්පාදනය කරන්නෙ ප්‍රියංකරද සිල්වා සහ අනුර පෙරනගමගේ. ‘සුබා’ කියන්නෙ විශ්වවිද්‍යාල තරුණියක්. බ්‍රිස්බේන් මනාලයා නාට්‍යයේ ප්‍රවීණයින් රැසක් රඟපානවා. ඒ අයගෙ ගුරු හරුකම් මගේ චරිතය ගොඩනගන්න බොහෝ උපකාරී වුණා. ඉතින් ‘බ්‍රිස්බේන් මනාලයා’ නරඹන්න සැප්තැම්බර් 6 දාට නාමෙන් මාලිනි පුංචි තියටර් එකට එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.
ප්‍ර ‘කල්පනී’ගෙ කැදැල්ලෙ විස්තරත් කියමු?
මගේ සැමියාගෙ නම තුසිත රත්නායක. වීඩියෝ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. අපි දෙන්නගෙ දියණියගෙ නම ‘නතාරි ආන්යා’. එයාගේ වයස අවුරුදු 11යි.
ප්‍ර ‘කල්පනී’ මොන විදිහෙ කෙනෙක් ද?
නිදහසේ ජීවත්වෙන්න කැමති, කාටවත් කරදරයක් නැති කෙනෙක්. කලාකාමී අදහස් තියෙන බොහොම සරලව ජීවත්වන කාන්තාවක්. හොඳ බිරිඳක් - හොඳ මවක සහ ගෘහණියක් මෙන්ම සමාජයට යහපත් කාන්තාවක් කියලා මම හිතනවා.
ප්‍ර ජීවිතය දැනෙන්නෙ?
මම නිතරම විශ්වාස කරන විදිහට මොනවා හරි දෙයක් වෙනව නම්? ඒ සියලු දේ වෙන්නෙ හොඳට. අතීතය ගැන හිතලා පසුතැවෙන්නෙත් නැහැ. අනාගතය ගැන ලොකුවට හිතන්නෙත් නැහැ. මේ මොහොතේදි අප වටා සිටින අයට වගේම පරිසරයට – සතුනට දැඩිව ආදරය කරන්න, ගෞරව කරන්න මම කැමතියි.
සඳුන් ගමගේ