ගිනිමල් පොකුරේ සරාගිනිය ලක් රූ රැජිණ නිරූපිකා රංගන ශිල්පිනී චූලක්ෂි රණතුංග


රැල්ල

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් බව දැනගෙනමයි මම රඟපෑවේ  

 

මේ දිනවල සිංහල සිනමාවේ කාගේත් කතාබහට ලක්වී සිටින සුරුපී සරාගිනිය ඇයයි. ඇය මේ දිනවල රිදී තිරයේ තිරගතවන උදයකාන්ත වර්ණසුරියගේ ගිනිමල් පොකුරු චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරන්නීය. වැඩිහිටියන්ට පමණක් සීමාවූ මේ චිත්‍රපටයේ ඇය සරාගි නිළියක් බවට එක රැයින් පත්වී හමාරය. ඇය චූලක්ෂි රණතුංගය.  


මෙරට ලක් රූ රැජිනක් ද වූ ඇය නිරූපිකාවක ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් අතර අද දවසේ දී ඒ සියල්ල අභිබවා සිනමාවේ විශාල ප්‍රසාදයක් මෙන්ම ආකර්ෂණයක් ද හිමිකර ගෙන සිටින්නීය.  


චූලක්ෂි මෙවර රැල්ල සමග එක්වූවාය. මේ ඇයගේ කෙළින් කතා බහයි.  


ප්‍රශ්නය- ඇයි ඔබ එකපාරටම අඩ නිරුවත් චරිත රංගනයකට එක්වුණේ  


අඩු නිරුවත් චරිත කලාව තුළ හැම තිස්සෙම ප්‍රායෝගික දේවල්. අපි රංගනයෙන් ඉදිරිපත් කිරීමක්. වැඩිහිටියන්ට පමණක් දර්ශනවලට පෙනී සිටින්න කැමැති අකමැති කම් තුළ රඟපාන කට්ටිය සීමාවල් දාගෙන ඇති. එහෙත් මම රූපණය කියන මාධ්‍යයට ඇවිත් වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට රඟපෑම තමයි සිද්ධ කරන්නේ. ඒ තුළ මම දන්නවා තමන්ගේ චරිතයට අදාළව නිර්මාණය තුළ වැඩිහිටියන්ගේ දර්ශනයක් තිබෙනවා නම් ඒ දර්ශනයට පෙනී සිටින්න කැමැත්තෙන් මම පිටපත භාර ගත්තා. එකේ චුලක්ෂි නොවෙයි ඉන්නේ පියුමි කියන චරිතයට අවශ්‍ය කෙනා ඉන්නේ. ගිනිමල් පොකුරු කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. ඒ ගණයේ චිත්‍රපටයක් බව දැන ගෙන තමයි මම රඟපෑවේ.  


තව මම රඟපෑ චිත්‍රපට කීපයක් තිබෙනවා. මේ කොරෝනා වසංගතය හමුවේ චිත්‍රපට බලන්න පවුල් පිටින් එන්නේ නැහැ. එහිදී යම්කිසි ආකර්ෂණයක් සහිත චිත්‍රපටයක් තුළින් වැඩිහිටියන් ගෙන්වා ගැනීමට පුළුවන්. මොකද දරුවන් කොවිඩ් වසංගතය හින්දා ගේන්න අමාරුයි. ඉතිං වැඩිහිටියන්ගේ මානසික ආතතිය යම්තාක් දුරකට දුරුකරගන්න චිත්‍රපටයකට හෝ කලා කෘතියකට පුළුවන් වෙනවා. මේක ඒ හින්දා අවශ්‍ය කාලේ කළ හොඳ චිත්‍රපටයක් ලෙසටයි මා දකින්නේ.  


ප්‍රශ්නයසමහරු කියනවා ඔයා මේ චිත්‍රපටයට තමන්ගේ අඟ පසඟ පවා වෙනස් කර ගත්තා කියලා. ඇත්ත ද ඒ කතාව.  


මම මොඩල් කෙනෙක්. නිරූපිකාවක් ලෙස සිහින් ඇඟක් මට තිබෙන්නේ. එහෙත් පියුමි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්. ඒ හින්දා මම ව්‍යායාම් කරන්නේ නැතුව ජිම් එකට යන්නේ නැතුව ඒ චරිතයට අවශ්‍ය විදියට ඇඟ හදා ගත්තා. එහෙම නැතුව කෘතිමව අඟපසඟ වෙනස් කර ගත්තේ නෑ. එහෙම දෙයක් පේන්න නෑ නේද? මම සාමාන්‍ය කාන්තාවක්. කාන්තාවක සතු ලක්ෂණ මා තුළ තිබෙනවා.  


ප්‍රශ්නයචිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඔයා දැන් සරාගී නිළියක් වෙලා. ඉතින් එතකොට ඔය සරාගී බැල්මවල් එහෙම ඔයාට වැටෙනවා ඇති නේද?  


මගේ රඟපෑමත් එක්ක මිනිස්සුන්ගේ ආකර්ෂණය බැල්ම මට වැටෙන්න ඇති. සාමාන්‍ය ප්‍රේක්ෂකයා දන්නවා මම එන්නේ වාණීජ චිත්‍රපටයකින් කියලා. ඊට පස්සේ ඓතිහාසික චිත්‍රපටයක් වන විජයබා කොල්ලය රඟපෑවා. මම වර්ගීකරණයක් වෙලා නෑ. එකිනෙකට වෙනස් චිත්‍රපට ත්‍රිත්වයකින් මම ප්‍රේක්ෂකයා හමුවට ආවේ. එහෙම ලොකු යෝජනා මට ආවේ නෑ. එදා තිබූ ප්‍රේක්ෂකයන්ගේ ආදරය අදටත් එලෙසම මට තිබෙනවා. ඒකේ වෙනසක් වෙලා නෑ. වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක රඟපෑවා කියලා.  


ප්‍රශ්නයඔයා නිරූපිකාවක් ලෙස හිඳිමින් ලක් රූ රැජිණ බවටත් පත් වූ සුරුපිනියක්. එහෙම මුල් කාලයේ දී ඉදිරියට එන විට ඔයාට අයුතු යෝජනා බලපෑම් එල්ලවුණේ නැද්ද?   


නෑ එහෙම වෙලා නෑ. තමන්ගේ හැසිරීමත් එක්ක තමයි ඒ දේවල් සිද්ධවෙන්නේ කියලා මම නම් හිතන්නේ අයුතු යෝජනා කියන එක මේ කලාව තුළ විතරක් සිද්ධ වෙන එකක් නොවෙයි නේද? ඒක හැම ක්ෂේත්‍රයකම තිබෙන දෙයක්. කලාවෙත් මේ දේ තිබෙනවා. ඒත් මට නම් එහෙම දේවල් ආවේ නෑ.  


ප්‍රශ්නයඔයා නිතරම සරාගී ඡායාරූප මුහුණු පොතේ ඉන්ස්ටග්‍රෑම්වල පළ කරනවා. මේවා කරන්නේ ආකර්ෂණයක් ලබාගන්න ද? මේවාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?  


මම ගොඩාක් වෙලාවට දකින්නේ මිනිසුන්ගේ සාක්ෂරතාව අනුව බුද්ධි මට්ටම අනුව තම තමන්ගේ රුචි අරුචිකම් මේවා හරහා පෙන්නුම් කරනවා කියලයි. ඡායාරූපයක් දිහා බලලා එය තේරුම් අරගෙන විචාර කරන්නේ කීයෙන් කී දෙනා ද? එයාගේ චින්තනයට අනුව සිතන පතන විදාිහට අනුව තමයි ඒවාට කමෙන්ට්ස් ලැබෙන්නේ.  


මම ලංකාවට විතරක් නොවෙයි ජාත්‍යන්තරයේ හරි යම් කිසි මට්ටමකට ළඟා වෙන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒකට යන්න පුළුවන් විදිහට තමයි රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නේ. ඒ දක්වා මට කරන්න පුළුවන් දේවල් හදාරන්න පුළුවන් දේවල් කරනවා. ඒ අවශ්‍ය දේවල් හදාරනවා. ඒ සඳහා මම සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒ දිහා මිනිස්සු බලන විදිහ මට වෙනස් කරන්න බැහැ. වැරදි කමෙන්ට්ස් දානවා නම් ඒක එයාගේ බුද්ධි මට්ටම හා සාක්ෂරතාවයේ දැක්ම තමයි. ඒවා ගැන මම හිතන්නේ නැහැ.  


ප්‍රශ්නයජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට ඔයාට නිරුවත් චරිතයක් ලැබුණොත් එය භාරගන්නවාද?  


පිටපතක් බලන්නේ නැතුව මම නිරුවත පෙන්වනවාද කියන තැනට යන්න මගෙ අදහසක් නෑ. පිටපත මොකක්ද ඒ අධ්‍යක්ෂකවරයාගේ දැක්ම මොකක්ද කියා මට අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි මගේ ගමන තීරණය වෙන්නේ.  

ප්‍රශ්නයඔයා අම්මාත් සමග ජීවත් වුණත් ස්වාධීනව තමන්ගේ කටයුතු කරන අභියෝගවලට බය නැති කාන්තාවක්. එහෙම ස්වාධීනව කාන්තාවකට මේ සමාජය තුළ ඉන්න ඉඩක් තිබෙනවාද?  


මම ස්වාධීන විදිහට ජීවත් වෙනවා. මම හිතන්නේ කාන්තාවක් විදිහට තමන්ගේ දැක්ම තුළ තමන් හදාගෙන තිබෙන රාමුව තුළ ඒ විදිහට හදාගෙන ඒකට අනුකූලව ලිස්ට් එක දාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ද කියන එක බලාගෙන ජීවත් වෙන එක තමයි මම කරන්නේ. මට නම් බලපෑම් නෑ. හරිම නිදහසේ සාමකාමීව තමන්ගේ පාඩුවේ ගමනක් යන්න උත්සාහ කරනවා. මගේ දැක්ම තුළ මගේ චින්තනය තුළ මම යනවා. මම කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒවා මට අදාළ නෑ. මම ජීවත් වෙන්නේ මට හරියන මගේ සිතිවිලි එක්කයි. ස්වාධීනව ගැහැණියකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාව තුළ නෑ කියන එක මා නම් දකින්නේ නෑ. ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා.  


ප්‍රශ්නයඔයා විලාසිතා කරන්නේ අනෙක් අයගේ ආකර්ෂණය ලබාගන්න ද එහෙම නැතිනම් ඔයාගේ ආසාවට ද?  


මම විලාසිතාව ඇවිල්ලා ගියාද ඇවිල්ලාද කියලා හොයලා බලන්නේ නෑ. මට මා යන තැන්වලට ගැලපෙන්නේ කුමන ඇඳුම ද ඒ අඳුම ඇඳගෙන යනවා. මගේ ඇඳුමින් තව කට්ටියක් පිනවන්න කලින් මට මුලින් මාව සතුටු කරන්න පුළුවන්ද කියා බලනවා. විශේෂයෙන් මගේ සමේ පැහැයට අනුව තමයි විලාසිතා තෝර ගන්නේ. මට ඇඳුම ඇන්දාම ලස්සනයි කියලා දැනෙන්නෙ ඕනෑ. ඒක දැකලා තව කෙනෙක් ලස්සනයි කියනවා ද බණිනවාද කියන එක මට අදාළ නෑ. මට ඇඳුමෙන් යන තැනට ආලෝකයක් ගෙන දෙනවා කියලා හිතෙනවා. නම් ඒ ඇඳුම අදිනවා. අපි ගැලපෙන තැනට ගැලපෙන දේ ඇඳගෙන ගියාම ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.  


ප්‍රශ්නයඔයාට ආදරය ලැබෙන්න ඇති නේද ඒවාට මොකද වුණේ?  


ආදරය ප්‍රකාශ කරපු අවස්ථා තිබෙනවා. ආදරය කරලත් තිබෙනවා. බොරු කියන්නේ මොකටද ඒත් වර්තමානයේ එහෙම දේවල් නැ.  


ප්‍රශ්නයදැනට එහෙම ආදරයක් විවාහයක් කරගන්න අදහසක් නැද්ද?  


අදහසක් නැත්තේ නෑ. අපි ස්වාමිපුරුෂයකුගෙන් මුලින් බලාපොරොත්තු වෙන්නේ රැකවරණය ආදරය හා විශ්වාසය කියන එක ගැහැණියකට ලැබෙනවාද කියන එකයි. රැකවරණය හා ආදරයට පස්සේ තමයි අනෙක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් අපේ ජීවිතයට ළංකරගෙන ජීවත් වෙන්න බැහැනේ. විශ්වාසය රැකවරණය ආදරය යන ත්‍රිත්වය තවමත් මට හම්බවෙලා නෑ. රාගයට අද මුල් තැන දීලා තිබෙන්නේ. රාගයක් ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් අර ත්‍රිත්වයේ ලක්ෂණ ඇති ස්වාමිපුරුෂයෙක් අපේ ජීවිතයට හම්බවෙන්නේ හරි අහඹු විදිහටයි. 

 
ප්‍රශ්නයඔයා කැමැති ද සිංහල සිනමාවේ සරාගි නිළිය ලෙස හඳුන්වනවාට?  


මෙහෙමයි සරාගිත්වය මම දකින්නේ ආදරයක් විදිහටයි. ඒකට මම අකමැත්තක් දක්වන්නේ නෑ. සරාගිත්වය තුළ දක්ෂතාවය තිබිය යුතුයි. දක්ෂතාවය නැති සරාගිත්වය විතරක් මට තිබිලා තියෙනවා නම් වැරදියි. එහෙම නැත්නම් ඒක මම තවම අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙලා ඉන්න ඕනෑ. ඒක ප්‍රේක්ෂකයාගේ තීරණය කරන දෙයක්.

 

 

කතාබහ කළේ 
සමන්ත යහම්පත්