ග්‍රහක පොකුරේ රහස් සොයන්න ගිය “ලුසී” වසර 12ක දීර්ඝ මෙහෙයුමක්


 ‘ලුසී’ ග්‍රහක පොකුරට ළං වෙන ආකාරය පෙන්නුම් කරමින් ඇඳි සිතුවමක්.

 

 

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පතිය. බ්‍රහස්පති වටා ග්‍රහකවලින් සැදුම්ලත් ග්‍රහක පොකුරු ඇත. මෙයින් ග්‍රහක 7ක් කෙරෙහි නාසා විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ, මුලින්ම ඒවා හඳුනාගත් අවස්ථාවේ සිටය. මේ ග්‍රහක පොකුර, “ට්‍රෝජන්ස්” යනුවෙන් නම් කර ඇති අතර, දැන් ඒවා ගවේෂණය කරමින් ඒවායේ සැඟවුණු රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ ගවේෂණ යානයක් යවා ඇත. 


මේ යානයේ නම ‘ලුසී’ ය. නාසා විද්‍යඥයන් ‘ලුසී’ හඳුන්වන්නේ “ග්‍රහක පුරාවිද්‍යාඥයා” යන නමිනි. පසුගිය ඔක්තෝබර් 16 වැනිදා, අලුයම 5.34ට ‘ඇට්ලස් වී’ අධිබලැති රොකට්ටුවක ආධාරයෙන් ‘ලුසී’ පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවුණු අතර රොකට්ටුවෙන් වෙන් වුණු ‘ලුසී’ තනිවම බ්‍රහස්පති බලා ගමන් ආරම්භ කළේය. ‘ලුසී’මෙහෙයුමට වසර 12ක් ගතවනු ඇති බව ද පැවැසෙයි. 


නාසා විද්‍යාඥයන්ට අනුව, ‘ට්‍රෝජන්ස්’ ග්‍රහක පොකුරට අයත් වන්නේ බ්‍රහස්පති ග්‍රහයා මෙන්ම අප සෞරගහ මණ්ඩලය ද නිර්මාණය වීමේදී සිදුවුණු පිපිරීම් සහ හැලැහැප්පීම් නිසා කැබලි වුණු කොටස්ය. මේවා ගවේෂණයෙන්, විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වූයේ කෙසේදැයි යන්න අනාවරණය කර ගැනීම ද ‘ලුසී’ ගේ අරමුණක් බව පැවැසෙයි. 


මෙම රොබෝ ‘ලුසී’ යනුවෙන් නම් කර ඇත්තේ පැරණිතම මානවයා ‘ලුසී’ සිහිගන්වමිනි. ‘ලුසී’ යනු 1974 වසරේදී පුරා විද්‍යාඥ ඩොනල්ඩ් ජොන්සන් විසින් සොයා ගත් වසර මිලියන 3.2ක් පැරණි මානව ඇටසැකිල්ලය. මනුෂ්‍යාගේ ආදීතම මිත්තණිය ලෙස ‘ලුසී’ සැලකෙයි. මානව පරිමාණයේ වැදගත් රහස් රැසක් අනාවරණය කර දීමට ‘ලුසී’ ට හැකි වී තිබේ. ඒ අනුව, අප ආදීතම මිත්තණිය ‘ලුසී’ ට කරන ගෞරවයක් ලෙස මෙම රොබෝ ගවේෂණ යානය ‘ලුසී’ ලෙස නම් කළ බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යෝධ සූර්ය පැනල දෙකකින් සමන්විත ‘ලුසී’ රොබෝ යානයේ විශ්කම්භය මීටර් 7.3ක් වන අතර, උස මීටර් 13කි. ‘ලුසීගේ බර කිලෝ ග්‍රෑම් 1,500කි. මෙය නිපදවීමට නාසා ආයතනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 981ක් වැය වී ඇත. 

 

 

ලුසිත ජයමාන්න 
“ලයිව් සයන්ස්” ඇසුරිනි