කොළඹට ආව Nuwa දෙවඟන


NUWA (නුවා) යන නාමය කෝටි සංඛ්‍යාත මහා ජනතාවක් වෙසෙන මහජන චීනයට බෙහෙවින්ම සමීප නාමයකි. චීන මිථ්‍යා කතාන්දරවල ඇතුළත් වූ මේ නාමය පසුව චීන ජන සමාජයේ සියවස් ගණනාවක සිට අපූරු නාමයක් ලෙස විකාශය වන්නකි. ඔවුන්ගේ මතයට අනුව නුවා (NUWA) යනු දේවතාවියකි. නොඑසේ නම්, දෙවඟනකි. දෙවඟනක යැයි කී සැණෙන් මැවෙන්නේ සොඳුරුතම කාන්තා රුවකි. රූපයෙන් අග තැන්පත් කාන්තාවක සමාන කරන්නේ දෙවඟනක ලෙසය. නුවා යනු, නිකම්ම දෙවඟනක නොවේ. මනුෂ්‍යත්වයේ සහ ස්ත්‍රීත්වය පෝෂණය කරනු ලබන මව් දෙවඟන ලෙස හැඳින්වෙයි. 

අප තවදුරටත් කතා කිරීමට සූදානම් වන්නේ ඒ අපූරු දෙවඟන ගැන නොවේ. දෙවඟනක් මෙන් ලස්සනම ලස්සන කොළඹ නගරයේදී පසුගිය දා විවෘත වූ සුපිරි ස්ථානයක් ගැනය. මෙය අති සුඛෝපභෝගීත්වයෙන් පිරුණු තරු හෝටල නිර්මාණයකි. එය නම් කර ඇත්තේ NUWA යන නාමයෙනි. මෙම නුවා සුපිරි හෝටල පරිශ්‍රය ඇත්තේ, අද වන විට මුළු ලෝකයේම සංචාරක ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති Cinnammon Life at City of Dreams සංකීර්ණයේය. අනර්ඝ ගෘහ නිර්මාණ සංකීර්ණයක් වන සිටි ඔෆ් ඩ්‍රීම්ස් හා සිනමන් ලයිෆ් විවෘත වීමෙන් ටික දිනකට පසුව විවෘත වූ මෙම නුවා (NUWA) සුපිරි තරු හෝටලය, ජාත්‍යන්තරව පිළිගත් (NUWA) තරු හෝටල නාමයට එක්වූ අලුත්ම සාමාජිකයා වෙයි. Melco Resorts & Entertainment සමාගම සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාර ජාලය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) යන සුවිසල් සමාගම්හි හවුල්කාරිත්වයෙන් ලෝක සංචාරක අංශයට දායාද වූ සංචාරක ගමනාන්තයක් ලෙස NUWA දැක්විය හැකිය.

NUWA නාමයෙහි සුපිරි ලක්ෂරි හෝටල ලෝකයට හඳුන්වා දී ඇත්තේ 2018 වසරේදීය. පිලිපීනයේ මැනිලා සහ චීනයට අයත් මැකාවෝ හිදී සුපිරි NUWA එදා විවෘත කෙරිණි. නාමයකට පමණක් සීමා නොවී NUWA යන්නෙහි සුපිරි බව සහ නවීනත්වය හා උසස් සංස්කෘතික විවිධත්වයේ සංකලනයක් ඇතිව, මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට්හි විශිෂ්ටත්වය අරුත් ගන්වයි. සරලවම කිවහොත්, මෙම මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සතු NUWA නාමයේ සුපිරි බව ඔවුනටම අනන්‍ය වූවකි. එම NUWA රසය, හැඩය සහ සුඛෝපභෝගීත්වය රැගෙන දකුණු ආසියානු රටකට ආ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

City of Dreams Sri Lanka සංකීර්ණයෙහි පිහිටා ඇති NUWA අධි සුපිරි තරු හෝටලය කාමර 113කින් පමණ සමන්විතය. ගාලු මුවදොර නිල්වන් සාගරය, කොළඹ නගරයේ හැඩකාර බව දර්ශනය වන පරිදි මෙම කාමර තනා ඇත. ඒවා වර්ග කර ඇත්තේ එක්සෙකටිව් රූම්ස්, ප්‍රසිඩන්ෂල් සූට් ආදි වශයෙනි. ඉතා සුවපහසු මෙම කාමර ලෝකයේ උසස්ම තරු පන්තියේ හෝටලවල ඇති උසස් තත්වයේ ඒවාය. උදාහරණයකට අපි හිතමු, ඇමෙරිකාවේ හෝ වෙනත් බලවත් රටක රාජ්‍ය නායකයකු මෙරටට පැමිණියේ යැයි කියා. එසේ නම් ඒ ඕනෑම රාජ්‍ය නායකයකු හෝ වෙනත් සුපිරි තරු චරිත සඳහාම වෙන් වූ කාමර, ප්‍රසිඩන්ෂල් සූට් ලෙස සඳහන් කළ හැකිය. ජාත්‍යන්තර ප්‍රසංගයක් හෝ ලෝක සමුළුවක් වැනි දේ පැවැත්වෙන්නේ නම්, එවිට මෙතැන ලංකාවටම අභිමානයක් ගෙන එන බව නම් නිසැකය. ලෝකයේ තරු පන්තියේ සුපිරි චරිත සහ ධන කුවේරයන්ට නම් කියාපු තැනකි. 

ලෝකයේ දැනට ඇති නවීනතම පහසුකම් සහ උපාංගවලින් සමන්විත විවේකාගාරයක් නුවා සතුය. එය නම් කර ඇත්තේ, The Vault යනුවෙනි. Crystal Lounge යනු ජෑස් (Jazz) සංගීත රසයෙන් මත් වී තමුනට රිසි පානයක මිහිර තොල ගාමින්, එතැනටම පමණක් ආවේනික වූ රසවත්ම ආහාර පාන රස විඳගත හැකි වෙනස්ම තැනකි. එහි විශේෂත්වය වන්නේ, සියලු ආහාර පාන ඒ මොහොතේදීම අතින්ම සාදා දීමයි. එතැන හරියට වීදුරු මාලිගයක් මෙන් වූ තැනකි. ඒ නිසා කොළඹ නගරයේ නවීනත්වයේ හැඩකාර ගොඩනැගිලි සහ ලස්සන සිතු සේ රිසි සේ නෙත් පුරා නැරඹිය හැකිය. කොළඹ ඇත්තටම මොන තරම් ලස්සන ද කියා එවිට ඔබට ආඩම්බරයක් ඇති වේවි. සංචාරක කර්මාන්තය මත යැපෙන රටක අග නගර එලෙසින් ඉතා අලංකාර විය යුතුමය.

ඊළඟට අපි මෙහි පූල් බාර් (Pool Bar) වෙත ගිහින් බලමු. එතැනට ගිය පසු එතැනින් පිටව යාමට සිත් නොදෙන තරමට වූ වටපිටාවකින් සමන්විතය. මෙම NUWA හෝටල පරිශ්‍රයේ අධි සුඛෝපභෝගී කාමර වෙන් කරගන්නා අමුත්තන්ට මෙතැනදී විශේෂිත පහසුකම් අත්විඳගැනීමට අවස්ථා ලබා දී ඇත. නවීන තාක්ෂණය උපයෝගි කරගෙන මෙම NUWA නිර්මාණය කර තිබුණ ද, අමුත්තන් හට සුඛෝපභෝගී සේවය ලබා දෙන්නේ පරිසර හිතකාමි බව රැකගෙනය.

වර්ග අඩි මිලියන 4.5ක විශාල පරාසයක පැතිර ගිය, ඩොලර් බිලියන 1.5ක ආයෝජනයක් ලෙස නිර්මාණය වූ City of Drems Sri Lanka සතු NUWA, Melco සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සතු සුවිසල් අදියරකි. සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා සතුව NUWAට අමතරව සුඛෝපභෝගී මහල් නිවාස සහ කාර්යාලවලින් සමන්විත මහල් 40ක් උස නවීනතම ගොඩනැගිල්ල ද අයත්ය. ඊට සුපිරි වෙළෙඳසලක් හෙවත් සුපර්මාර්කට් එකක් ද අයත්ය.

දෙවඟනක ලස්සන ගැන කියා ලියා නිම කළ නොහැකි වන්නේ, ඒ ලස්සන යනු, විඳ ගැනීමට ඇති දෙයක්ම වන නිසාය. ඉතින් NUWA පහස ලබන්න, එහි ඇති දේ මොනවා ද කියා නරඹන්න ඉඩක් ලදොත් ගිහින් එන්න. ඒ ගමන ආඩම්බරකාර මතකයක් සදාවි.

සඳුන් ගමගේ