කොරෝනාවට දොර වැසුණු පැසිපික් දූපත්


 

​කොරෝනා වසංගතය ලොව බහුතර රටවල් සංඛ්‍යාවක් වෙලාගෙන සිටිද්දී එම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවූ රටවල් ද තිබෙන බව සමහර විට ඔබ නොදන්නවා විය හැක. විශේෂයෙන්ම පැසිෆික් සහ අත්ලාන්තික් දූපත් රැසක්ම මෙම වසංගතය පැතිරීම ඇරඹුනු 2019 වර්ෂයේ අග භාගයේ පටන් පසුගිය ජූලි මාසය දක්වා වූ කාලය තුළ එයින් බේරී සිටීමට තරම් වාසනාවන්ත වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ප්‍රකාශනවලට අනුව කොරෝනා වෛරසයෙන් එලෙස නිදහස් වී ඇත්තේ ටොන්ගා, ටුවාලු, නයාරු, සැමෝවා, කුක්, මික්රෝනීසියා, කිරිබාස්, නියුවායි යන දූපත් රාජ්‍යයන්ය. උතුරු කොරියාව සහ තුර්ක්මෙනිස්ථානය යන රටවල් ද මේ ලැයිස්තුවට එකතු වී තිබුණ ද, එම රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවීම සැක සහිත යැයි විදෙස් දූපත්වල සඳහන් වේ. මේ රටවලින් කොරෝනා රෝගීන් පිළිබඳ සත්‍ය සංඛ්‍යාලේඛන හෙළිදරව් නොවීම මෙයට හේතුවයි. පසුගිය ජූලි 26 ද‌ා උතුරු කොරියාවේ කෙයිසෝන් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබුණ ද, පසුව සඳහන් වූයේ ඒ කොරෝනා ආසාධිතයෙකු නොවන බවයි. චීනයට යාබදව පිහිටි උතුරු කොරියාව, තම දේශ සීමා මුල්වරට වසා දැමුවේ 2020 ජනවාරි මාසයේදීය. තවමත් එම දේශ සීමා විවෘත කර නොමැත. උතුරු කොරියානු ජාතිකයන්ට සහ විදේශිකයන්ට රටින් පිටවීමට හෝ ඒ රටට පැමිණීමට අවසර දී ඇත්තේ මාස 2 ක් නිරෝධායනය වීමෙන් පසුවය.  


අනෙක් රට තුර්ක්මෙනිස්ථානයයි. මධ්‍යම ආසියාවේ කසකස්ථානය. උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලට මායිම්ව තුර්ක්මෙනිස්ථානය පිහිටා ඇත. මෙරටට මායිම්ව පිහිටි සෑම රටකින්ම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත. මාසයක පමණ කාලයක සිට මේ රටවල දේශ සීමා වසා දමා ඇත. පසුගිය පෙබරවාරි මාසයේ දී තුර්ක්මෙනිස්ථානය එරෙහි ක්‍රියාත්මක වූ ගුවන් ගමන් බොහොමයක්ම නතර කළේය. කෙසේ වෙතත් විදෙස් පුවත්වල සඳහන් වන්නේ එරටින් වාර්තා වන රෝගීන් පිළිබඳ නිල වාර්තා සත්‍යයෙන් තොර බවය.  


දැන් අපි කොරෝනා වෛරසයට ගොදුරු නොවූ දූපත් රාජ්‍යයන් දෙසට හැරෙමු. එවැනි දූපතක් වන ටොන්ගා හි මුළු ජනගහණය 105695 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ප්‍රකාශනවලට අනුව 2020 ජනවාරි 3 ද‌ා සිට 2021 අගෝස්තු 4 ද‌ා දක්වා වූ කාලය තුළ ටොන්ගා රාජ්‍යයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත. මෙම දූපතෙහි පසුගිය පෙබරවාරි මාසයේ සිට දැඩි සංචරණ නීති පනවා ඇත. යුරෝපීය සහ ඕෂනියානු ජාතිකයන්ගෙන් මිශ්‍ර වූ ජනතාවක් වෙසෙන මෙරටෙහි නිල භාෂා වනුයේ ටොන්ගන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකය. අසල්වැසි ෆීජි දූපත්වලින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ අසල්වැසි ෆීජි දූපත්වලින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ සැණින්ම ටොන්ගා රාජ්‍යය සිය දේශ සීමා වසා දැමුවේය. ඒ පසුගිය මාර්තු 29 ද‌ා සිටය. ටොන්ගා රාජ්‍යයෙන් ෆීජි බලා පිටත්ව ගිය ස්ව​දේශිකයන් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු කඩිනම් කෙරුණි. ඔවුන් ගෙන්වූයෙ ද එක් ගුවන් යානයක උපරිම මගීන් සංඛ්‍යාව 60 කට සීමාවන පරිදිය. එලෙස ගෙන්වා ගත් ස්ව​දේශිකයන් දැඩි නීතිරීති යටතේ ටොන්ගා හි ප්‍රධාන නගරයක හෝටලයක් තුළ නිරෝධායනය කෙරුණි. මෙම හෝටලය අවට සහ සමීප මාර්ගවල දැඩි පොලිස් රැකවල් යොද‌ා තිබුණි.  
 පැසිෆික් සාගරයෙහි පිහිටි ටුවාලු රාජ්‍යය ද කොරෝනා වසංගතයට ගොදුරු නොවූ රටකි. දූපත් 9 කින් සමන්විත ටුවාලු හි මුළු ජනගහනය 11646 කි. ටුවාලු සහ ඉංග්‍රීසි, එහි නිල භාෂාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2020 ජනවාරි මාසයේ සිට 2021 අගෝස්තු 2 ද‌ා දක්වා කාලය තුළ ටුවාලු දූපත්වලින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැත.  


පැසිෆික් සාගරයෙහි පිහිටි එවැනිම ඕෂනියා කලාපයට අයත් දූපතක් වන නයාරු හි වෙසෙන්නේ 10,823 ක් වූ ජනගහනයකි. මේ මුළු දූපත තුළ එක් දිනයක් තුළ පුද්ගලයෙකුට පා ගමනින් ගමන් කළ හැකිය. 2020 ජනවාරි ද‌ා සිට 2021 අගෝස්තු 2 දක්වා එරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාරතා වී නැත.  


 දකුණු පැසිෆික් සාගරයෙහි පිහිටි සමොවා දූපත්වල මුළු ජනගහනය 202506 කි සැමොවා. යුරෝනේසියන් සහ යුරෝපීය ජාතිකයන්ගෙන් සමන්විත මෙම රාජ්‍යයෙහි නිල භාෂාවන් වනුයේ සමොවන් සහ ඉංග්‍රීසි යන භාෂාවන්ය. 2020 ජනවාරි 3 ද‌ා සිට අගෝස්තු 4 ද‌ා දක්වා එරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බටහිර පැසිෆික් කලාපීය රටක් වන මයික්‍රොනීෂියා ෆෙඩරල් රාජ්‍යය දූපත් 600 කින් සමන්විත වූවකි. මෙලනිසියන් සහ පිලිපීන ජාතිකයන්ගෙන් මිශ්‍ර වූ ජනතාවක් වෙසෙන මෙම දූපත් රාජ්‍යයේ මුළු ජනගහනය 548914 කි. 2020 ජනවාරි 3 ද‌ා සිට 2021 අගෝස්තු 4 ද‌ා දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු මෙම රාජ්‍යයෙන් වාර්තා වී නැත.  


 මෙම කලාපයෙහිම පිහිටි 17459 ක ජනගහනයක් වෙසෙන දූපත් 500 කින් යුතු කුක් දිවයින්වලින් ද කිසිදු කොරෝනා රෝගියෙකු 2020 සිට මේ දක්වා වාර්තා වී නොමැත. තම රටේ ආර්ථිකය සංචාරක කර්මාන්තය මත රඳ‌ා පැවතුණ ද කුක් දූපත් රාජ්‍යය 2020 මාර්තු මාසයේ සිට හුදෙකලා කෙරුණි. මෙම දූපත් වැසියන්ගෙන් බහුතරයක් දෙනාගේ ස්ථීර පදිංචිය ඇත්​තේ නවසීලන්තයේය. මේ හේතුවෙන් 2021 මැයි මාසයේ පටන් නවසීලන්තය සහ කුක් දිවයින් අතර සංචාරක බුබුලු ක්‍රමයක් (Travel Bubble) ක්‍රියාත්මක වීම ඇරඹිණි. නමුත් නවසීලන්තයෙන් කුක් දිවයින් වෙත පැමිණීමට අවසර ලැබුණේ නවසීලන්තයේ දින 14 ක කාලයක් ගත කළ පුද්ගලයන්ට පමණී.  


 දකුණු පැසිෆික් කලාපයෙහිම පිහිටි නියුවායි නම් වූ කුඩා දූපත ද කොරෝනා වෛරසයෙන් බේරී සිටින රාජ්‍යයකි. නියුවාසින් ජාතිකයන් බහුතරයක් වෙසෙන මෙහි ජනගහනය 1620 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට තුළ 2020 ජනවාරියේ සිට 2021 අගෝස්තු මස මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත.  


 ඉංග්‍රීසි භාෂා අක්ෂර අනුව Kiribati ලෙස හැඳින් වුවද කිරිබාස් යනුවෙන් හඳුන්වන රාජ්‍යය පිහිටියේ ද මෙකී ඕෂනියා කලාපයේය. මෙහි මුළු ජනගහනයය 1,19,940 කි. කිරිබාස් හි බහුතර ජනයා ගිල්බර්ටීස් ජාතිකයන්ය. මෙම කුඩා රාජ්‍යය ද 2020 ජනවාරි සිට අද දක්වා කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට වාසනාව ලබා ඇත.  


මේ දූපත් රාජ්‍යයන්ට කොරෝනා උවදුරෙන් ගැලවී සිටීමට හැකිවූයේ ඇයි?  


වසංගතය ලොව පුරා ව්‍යාප්තවීම ඇරඹෙද්දීම මෙම කුඩා රාජ්‍යයන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් වහාම තම රටවල අභ්‍යන්තර ගමන් බිමන් නවතා දැමුවේය. විශේෂයෙන්ම චීනයේ වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය පැතිරීම පටන් ගත් අවස්ථාවේ සිට මේ සියලුම දූපත් රාජ්‍ය ඊට එරෙහිව කටයුතු කිරීමේ උපායමාර්ග සැලසුම් කළේ කඩිනමිනි. ඉතා ඉක්මනින්ම තම රටවල් වසා දැමීමට කටයුතු කරන බව එහි පාලකයන් තම ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කළේ ඔවුනට ඒ සඳහා සූද‌ානම් වීමට කාලයක් ලබා දෙමිනි. ඉන්පසුව සියලුම පුද්ගලයන් ඉතාමත් ක්‍රියාශීලි වෛද්‍ය පරීක්ෂණයන්ට යොමු කෙරුණි. මේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වී ඇත්​තේ මෙම දූපත් රාජ්‍ය තුළ ප්‍රශස්ථ මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවතින බැවිනි.  


මේ අතර ජගත් ප්‍රජාවගෙන් ද නොමසුරු ආධාර මෙම රටවලට ලැබෙමින් පවතී. මෙම දූපත් රාජ්‍යයන් කිහිපයකම ජපාන තානාපතිවරයා ලෙස කටයුතු කරන කවකාමි ෆුමිහිරෝ මහතා පසුගියද‌ා ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට එරෙහිව දැඩි කැපවීමකින් ක්‍රියාකරන මෙම පැසිෆික් දූපත් සමූහයට වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 37 ක් ලබා දීමට ජපාන රජය තීරණය කර ඇති බවය. මේ හැරුණු විට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් නුදුරු දිනයක දී ආධාර ලබා දීමට නියමිත බව ප්‍රකාශ වී ඇත.

 

 සුජීව තේවහෙට්ටිගේ,  
(අන්තර්ජාලය ඇසු​රෙනි)