කියා දෙන්න ආදරේ තරම් ඇමතිවරයා උපතිස්ස බාලසූරිය


“මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ අවසාන භාගයේදී.. ඒත් රඟ පාන්න තිබ්බේ අමතක නොවන චරිතයක්..”

එසේ කියමින් පිළිසඳරට එකතු වූයේ උපතිස්ස බාලසූරිය නම් වන ප්‍රතිභාපූර්ණ නළුවාය.  ඔහු මේ වන විට ටෙලි නාට්‍ය විසි  පහක පමණ රඟ පා තිබේ. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ කෛරාටික ඇමතිවරයාගේ චරිතය රඟ පාන්නට ඔහුට ඇරයුම් කළේ එහි තිර රචක  මහේෂ් රත්සර මද්දුමාරච්චිය.

“අද කාලෙ ටෙලි නාට්‍ය වැඩි ගණනක චරිත ගොඩ නැඟෙන්නෙ දෙබස් හරහා.. මුහුණුවලින් හැඟීම් ප්‍රකාශ කරන අවස්ථා අඩුයි.. මේ ටෙලි නාට්‍යයෙ ඇමතිවරයාට හැඟීම් ප්‍රකාශ කරන්නමයි තිබුණෙ.. ඒක ලේසි දෙයක් නෙමෙයි.. ඒ හින්දා එකම දර්ශනය දෙතුන් වතාවක් රඟ පාන්න සිද්ද වුණා..” උපතිස්ස කීවේය.

කොතරම් වෙහෙස මහන්සි වුවත් චරිතයට සාධාරණය ඉටු කරන්නට හැකි වීම පිළිබඳව ඔහුට ඇත්තේ අප්‍රමාණ තෘප්තියකි.

සිරස නාළිකාවේ කොටස් අටසිය ගණනක් විකාශය වූ කියා දෙන්න ආදරේ තරම්  ආදරය, දයාව, කෝපය, ක්‍රෝධය, පළි ගැනීමේ චේතනාව වැනි මානව ගුණාංග අපූරුවට පිළිබිඹු කළ ටෙලි නාට්‍යයක් ලෙස රසික සිත් තුළ නිදන් වූයේය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ධනුෂ්ක රත්නායක විසිනි. ශලනි තාරකා, දුලීකා මාරපන, ප්‍රියන්ත සෙනෙවිරත්න, විශ්ව කොඩිකාර, මීනා කුමාරි ඇතුළු ප්‍රවීණ සහ  නවක නළුනිළියෝ රැසක් මෙහි චරිත මැවූහ.

“ඇමතිවරයා බීමතින් ස්විමින් පූල් එකකට වැටෙන දර්ශනයක් ටෙලි නාට්‍යයේ තියෙනවා.. ඒක ගත්තෙ රෑ දොළහට විතර.. හොඳටම සීතලයි.. ඒත් ඉතින් චරිතයක් සාර්ථක කර ගන්න නම් අපි ඉවසීමෙන්, කැප වීමෙන් අපේ කොටස කරන්න ඕන.. කොහොම වුණත් ඒ චරිතය ගැන මම හුඟාක් තෘප්තිමත්..”

උපතිස්ස බාලසූරිය පවසන්නේය.

බොහෝ ටෙලිනාට්‍යවල ඔහු රඟ පා ඇත්තේ බේබදු චරිත බැව් මට සිහිපත් වූයේ ඔහු ඒ බීමත් දර්ශනය ගැන කියද්දීය. ඉදින් මම ඒ පිළිබඳව විමසීමි.

“හුඟක් අය මගෙන් අහනවා ඇයි ඒ වගේ චරිතම රඟ පාන්නෙ කියලා.. ඇත්තටම මම ඒවා ඉල්ලලා ගන්න චරිත නෙමෙයි මට ලැබෙන ඒවා.. සමහරු හිතන්නෙ ඇත්තටම මම රඟ  පාන්නෙ බීලා කියලා.. මාව හම්බ වුණාම අඩියක් ගහමු ද කියලා අහන අයත් ඉන්නවා.. මම කරන්නෙ රංගනයක් මිසක් ඇත්තටම මම බේබද්දෙක් නෙමෙයි කියලා ඒ අයට ඒත්තු ගන්නන්න ලොකු මහන්සියක් ගන්න සිද්ද වෙනවා..  හැබැයි මම සතුටු වෙනවා එච්චර තාත්වික විදියට මට රඟ පාන්න පුළුවන් වීම ගැන..”

ඔහු කියන්නේ සිනාසෙමිනි.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ඔහු රඟ පෑ කාලීන දේශපාලන විග්‍රහයන් ඉදිරිපත් කළ එස්. කේ. සිරිසේනගේ චරිතය අදටත් ප්‍රේක්ෂකයන්ට අමතක නැත. ඔවුන් සිතුවේ ඔහු ඉදිරිපත් කළ අදහස් ඔහුගේම ඒවා බවය. ඒවා තිර රචනා ශිල්පියා වූ සද්ධා මංගලගේ අදහස් බැව් දැන සිටියේ ටෙලි නාට්‍ය කණ්ඩායමේ අය පමණකි.

හාර කෝටිය සහ කෝටිපතියෝ ටෙලි නාට්‍යවල ඔහු මුඩුක්කු පරිසරයක ජීවත් වෙන පියතිස්ස නම් චරිතයකට පණ දුන්නේය. එය ද මත් දියර පානයට මුල් තැන දෙන අයෙකුගේ චරිතයකි. එහි ඔහුගේ ගමන් විලාසය, කතා විලාසය වෙනස්ම ස්වරූපයක් ගත්තේය.

“හුඟක් අය මගෙන් අහනවා ඇයි ඒ වගේ චරිතම රඟ පාන්නෙ කියලා.. ඇත්තටම මම ඒවා ඉල්ලලා ගන්න චරිත නෙමෙයි මට ලැබෙන ඒවා.. සමහරු හිතන්නෙ ඇත්තටම මම රඟ  පාන්නෙ බීලා කියලා.. මාව හම්බ වුණාම අඩියක් ගහමු ද කියලා අහන අයත් ඉන්නවා.. මම කරන්නෙ රංගනයක් මිසක් ඇත්තටම මම බේබද්දෙක් නෙමෙයි කියලා ඒ අයට ඒත්තු ගන්නන්න ලොකු මහන්සියක් ගන්න සිද්ද වෙනවා..  හැබැයි මම සතුටු වෙනවා එච්චර තාත්වික විදියට මට රඟ පාන්න පුළුවන් වීම ගැන..”

 

ඔහුට අමරණීය අත්දැකීමක් ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේදීය. ඓතිහාසික කතාවක් පසුබිම් කර ගත් එහි උපතිස්ස බාලසූරිය රඟ පෑවේ නිලමේවරයෙකුගේ චරිතයකි.

“ඒකේ අශ්වයෙක් පිටේ යන්න තියෙනවා.. ඉතින් ජයන්ත චන්ද්‍රසිරි මට කෝල් එකක් දුන්නා හිල්ටන් එකට ගිහින් එතන ඉන්න පුහුණුකරුවගෙන් අශ්වයා පදින්න ඉගෙන ගන්න කියලා.. මමයි තව කීප දෙනෙකුයි ගියා.. අශ්වයෝ පදිනවා කියන එක පහසු දෙයක් නෙමෙයි.. තමන්ගෙ පිටට නඟින මනුස්සයා පුරුදු කාරයෙක් ද, ආධුනිකයෙක් ද කියලා අශ්වයාට හොඳට දැනෙනවා.. නුපුරුදු කෙනෙක් නැග්ග ගමන් ඌ කුලප්පු වෙනවා..”

උපතිස්ස සිය අත්දැකීම සිහිපත් කරමින් කියාගෙන ගියේය. කවදාවත් අශ්වයෙකු පිට නැඟ නොතිබුණ බැවින් ඔහු ඒ කිසිවක් දැන සිටියේ නැත. පුහුණුකරුගේ උපදෙස් පිට කෙසේ හෝ අශ්වයා පිටට නැඟ ගන්නට ඔහුට හැකි වූයේය. එහෙත් ඔහුගේ ආධුනික බව දැනුණ අශ්වයා කුලප්පු වී ඉදිරි ගාත් දෙක එසවූයේය.

තැති ගත් උපතිස්ස වහා අශ්වයා පිටින් බිමට පැන ගත්තේය. ඔහු වෙව්ලමින් පුහුණුකරුවා දෙස බලද්දී ඔහු සිටියේ අමුතු විදියකට සිනාසෙමිනි.

“මොකද හිනා වෙන්නෙ..?” උපතිස්ස අමනාපයෙන් ඇසීය.

“මහත්තයා කවදාවත් අශ්වයෙක් පැදලා නෑ කියලා කිව්වෙ බොරුවට නේද..? පුරුදු නැති කෙනෙකුට කුලප්පු වුණ අශ්වයෙක්  පිටින් ඔහොම බිමට පැන ගන්න බෑ..” පුහුණුකරු කීවේය.

තමා එලෙස පැන්නේ මරණ බය නිසා බැව් උපතිස්ස කියන්නට උපතිස්ස උත්සාහ කළේ නැත. නිවැරදි ආකාරයට බිමට පනින්නට තමාට ශක්තිය දුන් විශ්වයට ඔහු ස්තුතිවන්ත වූයේය. නැවත කවදාවත් ඔහු පුහුණුවට ගියේ නැත.

“ඒත් අශ්වයන්ගෙන් වෙන අපල එතැනින් ඉවර වුණේ නෑ..    අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේ එක දර්ශනයක දෝලාවකින් එන සබීතා, අශ්වයා පිටින් එන මට හම්බ වෙනවා.. එයා මාව අශ්වයා පිටින් බිමට ඇදලා දානවා.. ඒ දර්ශනය අට සැරයක් ගන්න සිද්ද වුණා.. නව වෙනි සැරේ තමයි හරියට ආවේ.. එදා හවස මට හොඳටම කොන්දේ කැක්කුම හැදුණා..” ඔහු කීවේය.

වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ ඔහු මානසික රෝගියෙකි. ඔහු සනීප කිරීම පිණිස ඔහුට ඉසකුඩිච්චියක් දමනු ලබන්නේය.

“එදා මං ෂූටින්වලට යනකොට පරක්කු වෙලා.. වසන්ත විට්ටච්චි තමයි වේශ නිරූපණ ශිල්පියා.. එයා ඉස කුඩිච්චිය දාන්න පහසු වෙන්න මගේ කොණ්ඩේ එහෙන් මෙහෙන් කැපුවා.. ලබන සතියෙ මගෙ වෙඩින් එක නේද කියලා මතක් වුණේ එතකොට... ජයන්ත චන්ද්‍රසිරිට ඒක කිව්වම යකෝ කලින් කියන්න එපායැ.. කියලා ඔළුවේ අත ගහගත්තා.. මං වෙඩින් එකේ හිටියෙත් එහෙන්මෙහෙන් කැපිච්ච කොණ්ඩෙත් එක්ක තමයි..”

වගකට නැතිව සිනාසෙමින් ඔහු කීවේ ටෙලි නාට්‍යවලට කැප වූ තරම පිළිබඳ පැහැදිලි සිතුවමක් මා තුළ අඳිමිනි.

ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රීයන්ත මෙන්ඩිස්, සේනක පෙරේරා වැනි දැවැන්තයන් සමඟ වේදිකා නාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණි උපතිස්ස ටෙලි නාට්‍යවලට අමතරව චිත්‍රපටිවල ද රඟ පා තිබේ. ගරිල්ලා මාකටින්, ඇසල කළුවර, ගින්දරී ඒවායින් කිහිපයකි. ඉදිරියේදීත් ටෙලි නාට්‍ය කිහිපයකින් ඔහු හමු වෙන්නට ප්‍රේක්ෂකයන්ට හැකි වෙනවා ඇත.

චන්දි කොඩිකාර