“අන් සතු ඔබ වෙත මගෙ සිත බැඳිලා” නම් වූ මියුසික් වීඩියෝව නිසා සංස්කෘතික කෝවෙන් එළියට ගොස් අසම්මත ප්‍රේමය පිළිබඳ කතිකාවකට ගීත ලෝලීන් යොමු වුණා. එම මියුසික් වීඩියෝව හරහා රට්ටු හඳුනාගත් ශිල්පිනිය, අදවන විට - වේදිකාව, ටෙලි නාට්‍ය වගේම“මදර් ලංකා“ නම් චිත්‍රපටය හරහා සිනමාවත් අතික්‍රමණය කරමින් ජනාදරයට පාත්‍ර වෙලා. ඒ යෞවනිය නිපුණි පූජිත ගුණවර්ධන යි.
මෙවර“සඳැල්ලේ”අපගේ කතාබහ ඇය සමගයි.
ප්‍ර කොහොමද නිපුණි මේ දිනවල වැඩ කටයුතු?
“මේ දිනවල නම් දේදුනු කලුපහන ගේ "බයිලා ගහන දවසක්" නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලට තේරිලා තියෙනවා. ඒකේ පුහුණුවීම් කටයුතු සිදු කරගෙන යනවා.වේදිකා නාට්‍ය තුනක පුහුණු වීම් කටයුතු මේ කාලය තුළ කරගෙන යනවා.”
ප්‍ර ඔබ වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ කොහොම ද? ඒ මතකය අවදි කළොත් ?
“මගේ පාසල පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය. ඒ කාලසීමාවේ දී තමයි මට වේදිකා නාට්‍ය කලාව පිළිබඳව හදාරන්න ලැබුණේ. ඊට පසු 2018 කාලසීමාව තුළ මම කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අංශයේ ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. ඒ කාලේ තමයි මට රංගනය පිළිබඳ ඒ වගේම වේදිකා නාට්‍ය රංග කලාව පිළිබඳත් විෂයක් හැටියට හදාරන්නට හැකියාව ලැබුණේ.”
ප්‍ර ඔබේ රංගන කුසලතාවය එළි දැක්වුණේ පාසල් යන කාලයේ සිටම ද?
“ඇත්තටම ඔව් . මගේ පාසල පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය .ඒ කාලයේ පාසල් නර්තන කණ්ඩායමේ, වේදිකා නාට්‍ය කණ්ඩායමේ, මාධ්‍ය කණ්ඩායමේ කියන හැම කණ්ඩායමක ම සභාපතිනිය ලෙසත්, සාමාජිකාවක් ලෙසත්, මම කටයුතු කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේවිකා විජේසූරිය, නිශානි පීරිස්, ක්‍රිෂාන්ති පෙරේරා යන ගුරුතුමියන් ලා තමයි මාව නර්තනයටත්, වේදිකාවටත් , සෙසු කලා මාධ්‍යයන්ටත් යොමු කර ගුරුහරුකම් ලබා දී මාව පාසල් සමයේ පටන් ඩිවලොප් කළේ, ඉතින් එහෙම ලැබුණු ආරම්භක මග පෙන්වීම ඔස්සේ තමයි නර්තනයෙන් සහ වේදිකා නාට්‍යයෙන් පටන් ගෙන සිනමාව දක්වාම මාව රැගෙන ආවේ.”
ඔබේ රංගන ජීවිතයේ වැඩිපුරම රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ සහ ලබා දීමට කැමැත්තක් දක්වන්නේ
ප්‍ර වේදිකා නාට්‍යයට ද ? එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයට ද ?
“රංගනය කියන දේ වේදිකා, ටෙලි , චිත්‍රපට යන කවර ක්ෂේත්‍රයක් තුළ සිදුකෙරුණත් ශිල්පියා හෝ ශිල්පිනිය සිය රංගනයෙන් ලැබෙන ඹ්නෑම චරිතයකට උපරිම සාධාරණය ඉටු කළ යුතුයි යන්නයි මගේ කල්පනාව. නමුත් අවංකව මගේ පැත්තෙන් කියනවා නම් - අනෙකුත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව වේදිකාවේ රඟපෑමෙන් වෙනස් විදියක රසයක්, තෘප්තියක් ලබනවා. මොකද වේදිකාව කියන්නේ අපි සජීවීව රඟ දැක්විය යුතු තැනක්. ඒ වගේමයි වේදිකාව නිසා තමයි මම රංගනය කියන දේ මුලින්ම දැන හඳුනාගත්තේ.”
ප්‍ර වේදිකාව පිළිබඳ ඔබේ අතීත ස්මරණයන් කොයි වගේ ද?
“2018 දී වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණ වෙලා - ‘ප්‍රේමයේ නගරය’ නමැති වේදිකා නාට්‍යයට සිව් වසරක් රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. එහි මගේ චරිතය තමයි ’එමළි’ නම් වූ චරිතය. ඒ වගේම ’බයිලා ගහන දවසක්’ වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබීම මා ලත් විශාල ජයග්‍රහණයක් ලෙසත් සලකනවා.”
ප්‍ර ඔබ ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ කවදා කොහොම කොයි වකවානුවක දැයි විමසුවොත්....?
“ටෙලි නාට්‍යයකට මුලින්ම ආරාධනාවක් ලැබෙන්නේ රංගන ද සිල්වා අයියා ගෙන්. ඒ සද්ධා මංගල සූරියබණ්ඩාර තිර රචනය කර ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ’නාඩගම් කාරයෝ’ ටෙලිනාට්‍යය සඳහායි . එහි මම සංවර්ධන නිලධාරිනියක් විදිහට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඒ ටෙලි නාට්‍යයටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම නැවත වතාවක් එම දෙපළගේ ම තිරරචනයන් සහ අධ්‍යක්ෂණයන් යටතේ ’සර්කස්කාරයෝ’ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉන්පසු ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුනු ’දෑස මත මොහොතක්’ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායකත්වය දෙන්න හැකියාව ලැබුණා.”
ප්‍ර මේ දිනවල බොහෝ දෙනා ගේ කතාබහ ට ලක්වන චිත්‍රපටයක් තමයි මදර් ලංකා කියන්නේ. කොහොම ද ඒ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ?
“’මදර් ලංකා’ කියන්නේ අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ , ක්‍රිශාන්ති කුලසූරිය තිර රචනය කළ , කාලෙකට පස්සේ අපේ සිනමාවට එකතු වුණු ඉතාමත් සුවිශේෂ නිර්මාණයක්. මම හිතන විදියට අම්මා කියන්නේ ඕනෑම අයෙකු ගේ ජීවිතයේ ඉන්න සමීපතම හා සංවේදී ම කෙනා. චිත්‍රපටය පුරාම ඇදී යන්නේ අම්මා කියන චරිතය.”
“අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම් මෙතකැයි කියා නිම කරන්න බෑ. ඒ වගේ සුවිශේෂ චරිතයක් වටා ගෙතුණු කතාවක් ඇතුළත් විශිෂ්ට චිත්‍රපටයක් වශයෙන් ’මදර් ලංකා’ හඳුන්වන්න පුළුවන්. මෙම චිත්‍රපටය ගොඩ නැගෙන්නේ ’සත්‍යා’ කියන චරිතය වටායි. ෆිල්ම් එක නරඹන කොට එහි ඇක්ට් කරපු රංගන ශිල්පිනියක්ය යන්න පවා අමතක වී - සත්‍යාගේ භූමිකාව සමග දැහැන්ගතව නෙතට කඳුළු ඉනූ තරමින් මාත් අතිශය සංවේදී වුණා. සමාජ ගර්හාවන්ට ලක් වෙමින්, අභියෝග වලට මුහුණ දෙමින්, සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටිමින්, අයෝමය ලෙස නැගී සිට අන් තැනැත්තියක ගේ දරුවෙකුට සැබෑම මවක් වෙමින් දරු සෙනෙහස උපරිමයෙන් මූර්තිමත් කෙරෙන චරිතයක් තමා සත්‍යා කියන්නේ. හිරිවැටුණු නිර්වින්දනය වූ නූතන සමාජය දෙපයින් සිටුවා පියවි ඇසින් බලන්නට යොමු කිරීමක් සත්‍යා සිදු කරනවා. ඒකයි කාලෙකට පස්සේ අපේ සිනමාවට එකතු වුණු ඉතාම සුවිශේෂී නිර්මාණයක් කියලා ’මදර් ලංකා’ හඳුන්වන්න පුළුවන් වන්නේ.”
මදර් ලංකා චිත්‍රපටයේ ඔබ රඟ දක්වන අමාලි කියන චරිතය කොයි වගේ ද ? කොහොමද ඊට ලැබෙන ප්‍රතිචාර ?
අමාලි වගේ චරිත ව්‍යවහාර සමාජයේ කොතෙකුත් දකින්න පුළුවන්. ඒ චරිතය ගොඩ නඟා ඇත්තේ, රැකියාවත් සමග අරගල කරන අතරතුර - සබඳතා රැක ගන්නත් කටයුතු කරන තැනැත්තියක ගේ භූමිකාව විදාරණය කෙරෙන ආකාරයටයි. මං හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කළා කියලා.අවංකව කියනවා නම් ඉතා හොඳ අධ්‍යක්ෂණය ත්, විශිෂ්ට තිරරචනයත් නිසා තමයි අමාලි කියන චරිතය සාර්ථක එකක් බවට පත්වුණේ. අදාළ චරිතය සඳහා මට ආරාධනා කරපු නිරෝෂන් එදිරිමාන්න අධ්‍යක්ෂකතුමා ට ස්තූතිවන්ත වෙනවා මාව මේ විශේෂ සිනමා නිර්මාණයට දායක කරගත්තා ට. ඉතින් මට අවසානෙ ට කියන්න තියෙන්නේ - සෑම කෙනෙකු ගේම ජීවිතයේ සංවේදී ජීවන අත්දැකීමක් පිළිබඳ කතා කරන , සිනමා ශාලාවෙන් එළියට එනවිට හිතන්න යමක් ශේෂ කරන, ’මදර් ලංකා’ චිත්‍රපටිය නරඹන්න සෑම දෙනාම සිනමා ශාලාවට යන්න කියලයි.”
ප්‍ර ඔබේ රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම් අනන්තවත් ඇති. ඒ මතකයන් අවදි කරන්න ඔබ කැමති ද නිපුණි?
“2015 වසරේ සිට අවස්ථා කිහිපයකදී මmusic video කීපයකට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව හිමි වුණා. ’රැජිනියේ’ කියන මියුසික් වීඩියෝ එක තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක. ඉන්පසු 2021 වසරේ දී නිම්න දෙව්පුර අධ්‍යක්ෂණය කළ, තිසර වීරසිංහ තිර රචනය කළ, ’අන් සතු ඔබ වෙත මගේ හිත බැඳිලා’ කියන මියුසික් වීඩියෝ එකට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ music video එක තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක බවට පත්වුණේ. මොකද නිපුණි පූජිත ගුණවර්ධන කියන නම මිනිසුන් අතර කතාබහට ලක් වෙන්නට පටන් ගත්තේ ඒ මියුසික් වීඩියෝ එකෙන් පසුවයි.මොකද මට ඕන වුණා රංගනයෙන් දායකත්වය ලබා දෙන නිර්මාණයක් මිනිසුන්ට දැනෙන විදිහට ලබා දෙන්න.ඉතින් ඒ music video එකෙන් පස්සේ තමයි බොහෝ දෙනා ගේ කතාබහට ලක්වුණා වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න පවා මට අවස්ථාව ලැබුණේ.”
ප්‍ර රංගනයට අමතරව පෞද්ගලික ජීවිතයේ ඔබ ලබපු අමතක නොවන අත්දැකීම් මොනවා ද?
“පාසල් යන කාලේ ඉඳලම මට ආසාවක් තිබුණා මිස් වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වෙන්න. 2018 වර්ෂයේ දී ඒ ආසාව මල්ඵල ගැන්වීමක් ලෙස සියත මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වී අවසාන11 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා .ඉතින් මම හිතනවා ජයග්‍රහණය නොකළත්, ජීවිතේ ලබපු ලොකු ජයග්‍රහණයක් තමයි අවසාන 11 දෙනා අතරට පැමිණෙන්නට හැකියාව ලැබීම.”
ප්‍ර වේදිකාවේ, රූපවාහිනියේ මෙන්ම සිනමාවෙත් කතාබහට ලක්වෙන නිපුණි කියන ළා බාල යෞවනියට සිය කලා කටයුතු සඳහා පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?
“විශේෂයෙන් සඳහන් කරන්න ඕන මගේ ලොකුම හා අසමසම ප්‍රේක්ෂිකාව තමයි මගේ අම්මා. ඒ වගේමයි මගේ අයියල අක්කලා. ඒ සියලු දෙනාම මගේ සෑම වැඩ කටයුත්තකදීම මාව දිරිමත් කරා. ඒ ලැබුණු සහයෝගය සහ දිරිගැන්වීම තමයි අදටත් මාව ශක්තිමත්ව අල්ලා ගෙන ඉන්නේ.”
මදූශා දිල්ශානි