“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” - කියන කතාව අපි හැමෝම අහල තියෙනවා. එක් විෂය ක්ෂේත්රයකට පමණක් සීමා නොවී, විෂය ක්ෂේත්රයන් කීපයකම එක් පුද්ගලයෙකු නිපුණතා පළ කර සිටින අවස්ථාවක දී ඒ අයුරින් ව්‍යවහාර කෙරෙනවා.
ඒ යෙදුම නිසැකවම ආදේශ කළ හැකි - ඉගෙනීමට, ගීත ගායනයට හා නර්තනයට නිසර්ග ප්රතිභාවයක් විශද කරන දක්ෂයෙකු අපට හමුවුණා. “සඳැල්ලේ” මේ ඉඩකඩ ඔහු වෙනුවෙන්.
සාමාන්‍ය ගීත ගායනයෙන් ඔබ්බට ගොස් කෘත්‍රිම බුද්ධිය සමග මුසු වෙමින් ගීත ගායනය ද නවමු ආකාරයකට යොමු කිරීමට ඔහු සමත්ව තිබුණා. ඒ ඔහු විසින් ගායනා කරනු ලබන "සුරත දැවටී" ranul kalhara official නවතම ගීතයYouTube හරහා පසුගියදා එළිදැක්වීමත් සමගයි. කොළඹ D.S. සේනානායක විදුහලේ සහ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන මොහු - උඩරට සහ පහතරට නර්තනය, බෙර වාදනය, ගිටාර් වාදනයට දක්ෂයක් පමණක් නොව, පාසල් සමයේ පටන් ජන ගී, නාඩගම් ගී, හා බෙර වාදනය වෙනුවෙන් කොට්ඨාස – කලාප - පළාත් සහ ජාතික තරග රැසක ජයග්‍රහණ ලබා ඇත්තෙකි. ඔහු නමින් - “රනුල් කල්හාර තිලකරත්න”
ප්‍ර මුලින්ම ඔබේ වතගොත සඳහන් කළොත්....?
“මගේ නම රනුල් කල්හාර තිලකරත්න. මගෙ අප්පච්චි සංඛ පුංචි බණ්ඩා තිලකරත්න.දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ. මගෙ අම්මා ඉරංගා සමින්දනී වීරක්කොඩි. ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මහාචාර්යවරියක්. සහෝදරයො දෙන්නෙක් ඉන්න පවුලක බාලයා මම. මගේ අයියා දසිත් අසේල තිලකරත්න. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිය ලබා, දැනට ජාත්‍යන්තර පාසලක උසස්පෙළ භෞතික විද්‍යාව හා ගණිතය උගන්වනවා.”
ප්‍ර ඔබේ මෙම ගායන හැකියාව කුඩා කලම හඳුනා ගෙන අභ්‍යාස කිරීම් තුළින් සංවර්ධනය කරගත් එකක් ද ? නැතිනම්.......?
“කුඩා කල යම් තරමකින් ගීත ගයන්න හැකියාවක් තිබුණා. අපේ ආච්චිලා ගේ ගෙදර ගියාම පුංචිලාගේ දූවලා එක්ක ඒ කාලේ සිංදු කියනවා, නටනවා. ඇත්තටම ගායනයට වඩා මම පුංචි කාලේ නටන්න තමා වැඩි කැමැත්තක් දැක්වුවේ.”
ප්‍ර ඔබේ මෙම නවතම ගීත පිළිබඳව සඳහනක් කළොත් ?
“සුරතෙහි දැවටී යන මගේ මේ නවතම ගීතය සමිත පෙරේරා ගේ පද රචනයක්.සමිත සමරතුංග කථිකාචාර්යවරයාගේ අපූර්ව ගී තනු නිර්මාණයක්. ඒ වගේම මෙම music video එක කෘත්‍රිම බුද්ධිය (AI) හා මුසුකර ගනිමින් නවතාවයෙන් නිර්මිත වූවක්. එය cinematic pulse හි දසුන් මධුශංඛ ගේ නිර්මාණයක් වන අතර, ගීතයේ දෘශ්‍ය පිටපත ඉරංගා සමින්දනී වීරක්කොඩි මගෙ මව විසින් සිදු කරනු ලැබූවක්.”
ප්‍ර පාසල් සමයේත් ගායන අවස්ථාවන්ට සහභාගී වී තිබේ ද?
“මම පළමුවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගෙන ගත්තේ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ. සාමාන්‍ය පෙළ A 8 යි B 1 ක් ලබාගෙන, උසස් පෙළ නර්තනය විෂය හදාරන්න තිබුණ ආසාවට කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වුණා. ප්‍රාථමික ශ්‍රේණිවල දී හැරුණම ගීත ගයන්න නම් කවදාවත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් යාළුවො එක්ක එකතු උනාම නම් අපි ඇති තරම් සින්දු කිව්වා.”
ප්‍ර දැනට ඔබගේ අධ්‍යාපනික සහ අනෙකුත් කටයුතු කොහොම ද?
“උසස් පෙළ විභාගය සඳහා 2024 දී පෙනී සිට - තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය සඳහා A සාමාර්ථයක්, දේශීය නර්තනයට A සාමාර්ථයක් හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයට B සාමාර්ථයක් ලබා 1.83 ක Z අගයක් සහිතව සමස්ත ලංකා 1084 වැනි තැන හිමිකර ගෙන තියෙනවා. ඉතින් වැඩිදුර අධ්‍යාපනය ලබන්න කොළඹ විශ්වවිද්‍යාලයට හෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වනතුරු කලා කටයුතුවල නියැළීමට බලාපොරොත්තු වෙනවා.”
ප්‍ර ගායනයට අමතරව ඔබ සතු වෙනත් කලා කුසලතා ඇත්නම්, ඒ මොනවා ද?
“මං පුංචි කාලේ ඉඳන්ම ආස කරේ උඩරට නර්තනයට.පාසලේ සෞන්දර්ය විෂය ධාරාවට 6 වසරේ දී තෝර ගත්තෙත් දේශීය නර්තනය. ඒ සමග බෙර වාදනයත් යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. මැන්ඩලින් වාදනය ඉගෙන ගන්නත් සුලු කාලයක් යෙදුවත්, ඒ කාලේ වොලිබෝල් ක්‍රීඩා කටයුතු යෙදී තිබුණු නිසා මැන්ඩලින් ඉගෙනීම පසුව මග හැරුණා. වසර දෙකක් තිස්සේ ගිටාර් වාදනය හරිම ආසාවෙන් තවමත් ඉගෙන ගන්නවා. ඊට අමතරව තුන් හෙළ ජන ගී කල්ලියත් එක්ක එකතුව රංගනය, ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදු කරනවා. අම්මා කරන රසවින්දන වැඩසටහන්, දේශන කටයුතුවල දී සහය ලබාදෙනවා.”
ප්‍ර ගායනය ඇතුළුව කලාව හා සම්බන්ධ ඇගයීම් මීට පෙර ඔබට ලැබී තියෙනවා ද?
“ඇත්තෙන්ම ඔව්. මට ලැබුණු ඇගයීම් කිහිපයක් තියෙනවා. සුබෝධ විජේසිංහ සර් ගේ "අපේ කාලේ මීඩියා පන්තියේ" 2024 හොඳම සිසුවාට හිමි සම්මානය හිමිවීම අමතක නොවන අවස්ථාවක්. ඩී.එස්.සේනානායක විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවවල සහ වර්ණ ප්‍රදානෝත්සවවල ඇගයීම් ලැබුණා. ඊට අමතරව සමස්ත ලංකා තරගාවලියේ ජන ගී දෙවැනි ස්ථානය, යෞවන සම්මාන තෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඊට අමතරව ජන ගී පළාත් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තියෙනවා. පසිඳු කලායතනය සහ පමෝදා කලායතනය නියෝජනය කරමින් බස්නාහිර පළාත් නාඩගම් ගී ප්‍රථම ස්ථානය, බෙර වාදන 2 ස්ථානය ඇතුළු තරග රාශියකින් ජයග්‍රහණ ලබා ඇගයීම් ලැබිලා තියෙනවා.”
ප්‍ර ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපන හා අනෙකුත් කටයුතු වලට ගෙදරින් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ඔබ අවංකවම තෘප්තිමත් ද?
“අවංකවම ඔව්. නමුත් සම්පූර්ණ ඇත්ත කියන්න එපායැ.උසස් පෙළ සඳහා දේශීය නර්තනය සමග කලා විෂය ධාරාව තෝරා ගත්තාම අපේ පවුලේ ගොඩක් අය විරුද්ධ වුණා. සාමාන්‍ය පෙළ ඉවර වූ සැණින් උසස් පෙළ සඳහා මාස හයක් පමණ ගණිත විෂය ධාරාවෙන් ඉගෙන ගනිමින් සිටියේ. ඒ අතරතුර උඩරට නර්තනය වෙනුවෙන් වෙස් මංගල්‍යය සිදුවුණා. ඉතින් ඊට පස්සෙ මම නර්තනයට ගොඩක් ආස කරා. උසස් පෙළට නැටුම් කරන්න ඕන වුණා. මගේ අදහස අම්මාට කිව්වා. ඇය විතරයි ඒකට කැමති වුණේ. දැන් නම් හැම දෙනාම මගේ අධ්‍යාපන හා කලා වැඩ වලට උදව් කරනවා. මගේ ආච්චි, සීයා හා පුංචිලා ත් ලොකු සහයක් ලබා දෙනවා.”
ප්‍ර ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සඳහන් කළොත් ?
“"සුරත දැවටී" කියන්නේ මා ගායනා කළ අලුත්ම ගීතය. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සමිත රුක්මාල් සමරතුංග කථිකාචාර්යතුමා ගේ මිහිරි තනුව, ප්‍රවීණ ගීත රචක සමිත පෙරේරාගේ පද රචනය වගේම සිනමැටික් ප්ලස් හි දසුන් මධුශංඛ අතින් නිමැවූ ආකර්ෂණීය සංගීත වීඩියෝවට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතිං ඉදිරියේ දිත් ගීත කීපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රංගනයටත්, නර්තනයටත් යම් අවස්ථාවක් ලැබුණොත් දායක වෙන්න ආසාවෙන් ඉන්නවා. ගායනය, වාදනය, නර්තනය, රංගනය ආදී කලා කටයුතුවල නියැළෙනවා වගේම කලා උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාලයට යන්න2026 වසරේ දී බලාපොරොත්තුවෙන් ඉන්නේ.”
මදූශා දිල්ශානි