ක්ලැරන්ස් චිත්‍රපටියේ මංගො නැන්ද ෆර්නි රෝෂිනී


“මංගෝ කළු නැන්දේ 
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ ජාමේ බලා 
ගෙදරින් පැන ගත්තේ..”

70 දශකයේදී ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක් වූ එය ගායනා කළේ ඇනස්ලි මාලෙවනය. නැවතත් ඒ ගීතය රසිකයන් අතරට ආවේ ක්ලැරන්ස් චිත්‍රපටිය තිරගත වීමත් සමඟය. පොප් සංගීතයේ පියා යන විරුදාවලිය ලද ක්ලැරන්ස් ගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන ලද්දේ තුසිත විජයසේන විසිනි.  තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළේය. නුවරඑළිය, රිවර්ස්ටන්, කළුතර, නුවර, කොළඹ, කඩුවෙල ප්‍රදේශවල මෙහි රූගත කිරීම් සිදු වූයේය.

ක්ලැරන්ස් චිත්‍රපටියට වෙනස්ම අලංකාරයක් ගෙනා මංගෝ නම් ගෘහ පාලිකාවගේ චරිතය රඟපෑවේ ෆර්නි රෝෂිනීය. කොණ්ඩය ඉහළට කර බැඳ, බටහිර පන්නයේ ඇඳුම්පැලඳුම්වලින් සැරසී, ලොකු කණ්ණාඩි කුට්ටමක් ද පැළඳගෙන මංගෝ බවට පත් වූ ෆර්නි තමා ඒ චරිතයට බෙහෙවින් ඇලුම් කරන බැව් පැවසුවාය.

“මංගෝගේ චරිතය මට ගැළපෙනවා කියලා යෝජනා කරලා තියෙන්නෙ සාරංග දිසාසේකර.. ඒ යෝජනාව ස්ථිර කරලා මාව තෝරා ගත්තෙ තේජා ඉද්දමල්ගොඩ.. ඇත්තටම අදටත් මට ඔහුගෙ මරණය දැනෙන්නෙ නපුරු හීනයක් වගේ..  තේජා සිනමා ක්ෂේත්‍රය පමණක් නෙමෙයි තවත් බොහෝ ක්ෂේත්‍රවල ප්‍රවීණයෙක් වෙලා හිටියෙ.. ඒ වගේ රැඳෙන්න ඕන මිනිස්සු කලින්ම මේ ලෝකෙන් සමු ගන්න එක ලොකු අවාසනාවක්..”

අකාලේ මරණයට පත් වූ තේජා ඉද්දමල්ගොඩ ගැන සඳහන් කරමින් ෆර්නි රෝෂිනී පැවසුවේ ශෝකයෙනි.

මංගෝ යනු සැරපරුෂ තැනැත්තියක බවත්, ඇයට නැටුමක් ඉදිරිපත් කරන්නටත් ඇති බවත් චරිතය විස්තර කරද්දී තේජා ඉද්දමල්ගොඩ පැවසුවේය. ෆර්නි දෙගිඩියාවකින් තොරව එය බාර ගත්තාය. එය ඇය මෙතෙක් රඟ පෑ චරිතවලට වඩා වෙනස් එකක් වීමත්, එයට සාධාරණය ඉටු කරන්නට තමාට හැකියාවක් ඇතැයි විශ්වාසයත් එයට හේතු වූයේය.

කොස්සක් ද අතේ ඇතිව ඇය කළ අපූරු රංගනය ක්ලැරන්ස් චිත්‍රපටිය නැරඹූ සියල්ලන්ටම මතක ඇතුවාට සැක නැත. නැටුම අවසානයේදී ඇය දෙපා දෙපසට විහිදෙන ආකාරයට බිම ඇද වැටෙන්නීය.  

“මමයි කිව්වෙ කොස්සක් වගේ දෙයක් තියෙනවා නම් ඩාන්ස් කරන්න ලේසියි කියලා.. ඩාන්ස් එක ඉවර වෙලා හෙමිහිට බිමට පාත් වෙනවා කියලා මම හිතාගෙන හිටියෙ.. ඒත් ඊට ඉස්සර වෙලා ලිස්සලා ගිහින් ඒ විදියට බිම වැටුණා.. හැබැයි අධ්‍යක්ෂවරයා මට ප්‍රශංසා කළා.. කිසිම රිහර්සල් එකක් නැතුව තමයි ඒ සීන් එක කළේ..” ෆර්නි රෝෂිනී සිනාසෙමින් පැවසුවාය.

ක්ලැරන්ස්ගේත්, ශීලාගේත් ප්‍රේම සම්බන්ධය ඇරඹුණ දිනවල ශීලාගේ නිවසේ ගෘහ පාලිකාව වී සිටියේ මංගෝය. චිත්‍රපටියේ මෙන් සාමාන්‍ය තරමට නොව සැබෑ මංගෝ බොහෝ සැරපරුෂ කාන්තාවක බැව් කියැවෙයි. ඇය ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට සෘජුවම එරෙහි වී තිබිණි.

“ෆිල්ම් එකේ එක තැනක තියෙනවා ක්ලැරන්සුයි , ශිලයි මල් පඳුරක් ළඟ කතා කරකර ඉන්නවා දැකලා මංගෝ ගහක අතු කපලා දානවා.. ඇත්තටම ඒ වගේ ගහක් ශීලගේ ගේ ළඟ තිබිලා තියෙනවා.. ඒ ගහ ළඟ තමයි ක්ලැරන්සුයි, ශීලයි හම්බ වෙලා තියෙන්නෙ.. ඒක දැන ගත්තට පස්සෙ පස්සෙ මංගෝ මුළු ගහම කපලා දාලා..” ෆර්නි කීවාය.

මෙවන් සැබෑ රසවත් සිදු වීම් ගණනාවක්ම චිත්‍රපටිය තුළ අපූරුවට පිළිබිඹු කර තිබේ.

ක්ලැරන්ස් ඇතුළු පිරිස මංගෝ කළු නැන්දේ ගීතය නිර්මාණය කර තිබෙන්නේ ඇයට සරදම් කිරීම පිණිසය. එහෙත් නොසිතූ අයුරින් එය ජනප්‍රිය වූයේය.

“මංගෝ නැන්දා නොහිටින්න ක්ලැරන්ස් කෙනෙකුත් නෑ, මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමකුත් නෑ..”

ක්ලැරන්ස් ජීවතුන් අතර සිටියදී කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ එම නිසාය.

ෆර්නි රෝෂිනී ද මංගෝ නිසා එතෙර රටවල පවා ජනප්‍රිය වූවාය. ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ද ක්ලැරන්ස් චිත්‍රපටිය තිරගත වූයේය. එය නැරඹූ බොහෝ දෙනා ඇයට දුරකථන ඇමතුම් දී සුබ පැතූ බැව් ඇය පැවසුවාය.

“චිත්‍රපටියේ ෂූටින් පටන් ගත්තෙ 2023 වුණාට කතාව 70 දශකයේ එකක්නෙ.. ඒ කාලේ විදියට පසුබිම් හදන්න, ඇඳුම්පැලඳුම් කතාබහ සකස් කරන්න සෑහෙන මහන්සියක් දරන්න නිෂ්පාදන කණ්ඩායමට සිද්ද වුණා.. ගුවන් විදුලි සංස්ථාව ඇතුළේ ගත්ත දර්ශන කීපෙකුත් චිත්‍රපටියේ තියෙනවා.. ගුවන් විදුලියට  දැන් අවුරුදු සීයක් පිරිලනෙ.. ගොඩනැඟිලිවල ඒ හැටි වෙනසක් නොවුණට තාක්ෂණය වෙනස් වෙලා.. ඉතින් සභාපතිතුමාගෙන් අවසර ඉල්ලාගෙන කතාවට ගැළපෙන විදියට පරණ පන්නෙට මැදිරියක් සකස් කර ගත්තා.. මම ඒ දවස්වල සේවය කළේ ගුවන් විදුලියේ.. ඒ හින්දා ඒ කටයුතුවලට සහයෝගය දෙන්න මට පුළුවන් වුණා.. ඒක මට ලොකු සතුටක්..” ෆර්නි කීවාය.

ක්ලැරන්ස් චිත්‍රපටියට පෙර මන්දාරා, අනෝරා, තට්ටු දෙකේ ඉස්කෝලේ, දුවන මුවන්, මොනර දැල චිත්‍රපටිවල ෆර්නි රඟ පා තිබිණි. එහෙත්  ඒ චරිත සියල්ලටම වඩා මංගෝ වෙනස් බැව් ෆර්නි කියන්නීය. රසිකයටන් පමණක් නොව ඇයටත් කාලයක් යන තුරු එය අමතක නොවන බැව් සහතිකය.

ඇය ක්ෂේත්‍රයට පිවිසියේ වේදිකා නාට්‍ය හරහාය. මේ වන විට ඇය වේදිකා නාට්‍ය තිස් පහක, ටෙලි නාට්‍ය පනහකට ආසන්න සංඛ්‍යාවක රඟ පා තිබේ. ඇය දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක බැව් නොදන්නා කෙනෙකු නැත. ස්වප්නාහි මීනාක්ෂි, අභීත දියණිය  ඔක්ජෝන් බිසව, අධිරජ ධර්මාශෝක ධර්මා, යශෝදරා චිත්‍රපටියේ යශෝධරා, බුද්ධ මාතා චිත්‍රපටියේ ප්‍රජාපතී ගෝතමි ඇතුළු චරිත රැසකට ඇය සිය හඬ කවා තිබේ. මේ දිනවල ඇය තාරාවෝ ඉගිලෙති, චරිතෙ හොරු අරන්, ගුරු තරුව, කක්කුට්ටා වේදිකා නාට්‍යවල රඟ  පාන්නීය. ජුරාලියා, මහ රාණි, මාරක සර්කස්, බේකරි ගෙදර, ඉස්කෝලේ ටෙලි නාට්‍යවලිනුත් ඇය දැකිය හැකිය. ඇය දක්ෂ ගායිකාවක මෙන්ම ක්‍රීඩිකාවක ද වන්නීය. ක්‍රිකට්, නෙට්බෝල්, මලල ක්‍රීඩා, කව පෙත්ත විසි කිරීම ඇගේ ක්‍රීඩා ඉසව් අතර තිබේ.  ඊට අමතරව ඇය දායකත්වය සපයන අභිප්‍රේරණ වැඩ සටහන් මාලාවක් ද රට පුරා පැවැත්වෙන්නේය. ඇය පවුලේ වගකීම් මඟ හරින්නේත් නැත.

“මෙච්චර දේවල් කරන්න කාලය හොයා ගන්නෙ කොහොමද..?” මම මවිතයෙන් විමසීමි.

“හොඳින් කළමනාකරණය කර ගත්තොත් අපිට ඕන තරම් කාලය තියෙනවා.. මම අවුරුදු තිහක් කාර්යබහුල රැකියාවක් කළා.. රැකියාවේ වගකීම් ඉටු කරන අතරෙම තමයි අනිත් දේවල් සේරම කළේ..”

ඇය තෘප්තිමත් සිනාවක් පාමින් පැවසුවේ කාලය නැතැයි කියමින් බොහෝ කටයුතු කල් දමන උදවියට අපූරු පාඩමක් කියා දෙමිනි.  

චන්දි කොඩිකාර