හඬ වනාහී ගායකයෙකුට ඇති ප්‍රබලම අවියයි. ඒ තමාටම ආවේණික හඬ තවත් හඬකට සමකළ හැකි නම් එය තවත් විශේෂිතයි. ක්ලැරන්ස් සිනමා පටය තුළ අපට එලෙසින් ප්‍රවීණයන් ගේ හඬ සහ ගීත ශෛලීන් ප්‍රතිනිර්මාණය කරන තවත් හඬ පෞරුෂයන් කිහිපයක්ම හමුවේ. මෙවර “සඳැල්ලෙන්” මේ කතාබහ එවැනි තරුණ සංගීත ශිල්පියෙකු සමගයි.
ප්‍ර ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ක්ලැරන්ස් Rhythm of the guitar හි ඇනස්ලි මාලේවනයන් ගේ හඬ ප්‍රතිනිර්මාණය කරන කවුද මේ තෙනුක?
“මගේ නම තෙනුක විජේසූරිය. ගම පානදුර. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සෙන් ජෝන්ස් බාලිකා පාසලෙන්. මෙය නමින් බාලිකා පාසලක් වුණාට එය මිශ්‍ර පාසලක්. පසුව සාමාන්‍ය පෙළ දක්වා පානදුර රාජකීය විද්‍යාලයෙනුත් උසස් පෙළ සඳහා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයනුත් අධ්‍යාපනය ලැබුවා. කුඩා කල පටන් ම සංගීතයට පැවති ආශාවත් එක්ක, දැන් මම මගේම සංගීත කණ්ඩායමක් මෙහෙයවමින් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.”
ප්‍ර කොහොමද මේ සිනමා පටයේ හඬ ප්‍රතිනිරූපනයට අවස්ථාව ලැබෙන්නේ?
“මම ගිටාර් වාදනය පිළිබඳ ඉගෙන ගත්ත ගුරුවරයා තමයි චන්න අතලගේ සර්. 2012 ඉඳන් වසර තුනක් පමණ මම එතුමා යටතේ හැදෑරීම් කළා. මෙම සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද මහත්මයා ඔහුගේ මිතුරෙක්. ඒ හඳුනා ගැනීම් මත තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මම ඇත්තටම මුලින් මෙවැනි සිනමා පටයක් ගැන දන්නේ නැහැ. මට දිනක් දුරකථන ඇමතුමක් ලැබුණා සිනමා පටයක ගීත කිහිපයක ඩමීස් චෙක් කරන්න තියෙනවා එන්න පුළුවන් ද කියලා. එතැනට ගියාට පසුවයි දැන ගත්තේ මේ සිනමා පටය ගැන. මම ඒ අවස්ථාවට සම්බන්ධ වෙන කොට චරිත වලට අදාළව කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් ගැන අවසන් තීරණයක් අරන් තිබුණේ නැහැ. මමත් ඩමීස් ටික ගායනා කරලා ඒ වැඩ කටයුත්ත අවසන් කරලා ආවා. ඉන් මාසයකට විතර පසුව තමයි මට සුරේෂ් මාළියද්ද මහතා ගෙන් ඇමතුමක් ලැබුණේ, ඇනස්ලි මාලේවන ගේ චරිතයට අදාළ ගීත ගායනයට මාව තෝර ගෙන තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ අවස්ථාව ලැබුණේ.”
ප්‍ර මේ ඔබේ පළමු සිනමා අත්දැකීම ද?
“ඔව්. මේ මගේ පළමු සිනමා අත්දැකීම.”
ප්‍ර මේ වගේ ලෙජන්ඩ් කෙනෙකු ගේ ගීත ගායනයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
“මම සංගීත ක්ෂේත්‍රය තෝරා ගන්න ලොකුම හේතුවත් කණ්ඩායම් සංගීතයෙන් ලද ආභාෂය. කුඩා කාලෙ ඉඳන්ම 60 - 70 ව දශක වල කණ්ඩායම් සංගීතයේ ආභාෂය මට තිබුණා. මම මේ ක්ෂේත්‍රයට එන ගමනේ මගේ ලෙජ්න්ට් ලා වුණු අය ඇසුරෙන් කෙරෙන සිනමා පටයක මම කැමතිම ප්‍රවීණයකු ගේ හඬට දායකත්වය දෙන්න ලැබීම මට දැනුණේ මගේ හීනයක් හැබෑ වුණා වගේ. ඒ වගේම මම මේ අවස්ථාවට සම්බන්ධ වුණේ ඔවුන්ට කරන උපහාරයක් විදිහට හිතලයි. ඇත්තටම ඒ ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා.”
ප්‍ර කොහොම ද ලැබෙන ප්‍රේක්ෂක ආදරය?
“ඇත්තටම මුල දි මාව බොහෝ දෙනෙක් හඳුනා ගෙන තිබුණේ නැහැ. මොකද උරේෂා රවිහාරි මහත්මිය වගේ ප්‍රවීණයින් අතර මම වගේ ලොකු ප්‍රසිද්ධියක් නැති කෙනෙකු ගේ කට හඬක් ඇහුණම රසිකයින් බොහෝ දෙනෙක්ට මාව හඳුනා ගන්න බැරිවුණා. ඒ වගේම ජනමාධ්‍ය තුළත් මම ගැන ලොකු කතා බහක් තිබුණේ නැති නිසාත්, එහෙම වෙන්න ඇති. නමුත් ට්‍රේලර් එක නිකුත් වුණායින් පසුව සහ විවිධ ප්‍රචාරණ අවස්ථා වල ගීත එළි දක්වන කොට බොහෝ දෙනෙක් මම ගැන හොයලා තිබුණා. සමාජ මාධ්‍ය ඇතුළේ මාව හොයන කොට නොදැනුවත්ව වෙන අයගේ නම් පවා මගේ කටහඬට යෙදිලා තිබුණා. ඒ නිසා මම මගේ සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළේ මගේ අනන්‍යතාව පෙන්වන්න ගීත කිහිපයක් ෂෙයාර් කළා. ඉතින් ඒ දේවල් එක්ක මාව රසිකයන් හඳුනගත්තා. ඇත්තටම සිනමා පටයේ ගීත ගායනයෙන් පසුව ක්ෂේත්‍රයේ මා හඳුනාගත් පිරිසට අමතරව සංගීතයට ආදරය කරන පිටත රසික ප්‍රජාව ඇතුළේ මට ලොකු ආකර්ෂණයක් ඇතිවුණා කියන දේ මට හැගුණා. ඉතින් දැන් ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම ලොකු ආදරයකුත් ලැබෙනවා.”
ප්‍ර ඇනස්ලි මාලේවන ගෙන් ලැබුණු ප්‍රතිචාර මොනව ද?
“එතුමා ගොඩක් සතුටු වෙනවා මම එතුමාගේ ගීත ශෛලිය අනුගමනය කරමින් ගායනා කිරීම ගැන. සිනමා පටයේ ගායන කටයුතු ගැනත් මට නිතර ප්‍රශංසා කරනවා. අපේ සංගීත කණ්ඩායම වසර දෙකක් පමණ එතුමාත් සමග වැඩ කරනවා. එතුමා අපිව විශ්වාස කරනවා. ඉතින් ඒ බැඳීම විශ්වාසය මත තමයි රඳා පවතින්නේ.”
ප්‍ර සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොම ද?
“පොඩි කාලෙ ඉඳන්ම මම සංගීතයට ආස කළා. මම නිතර සිංදු අහනවා. සිංදු කියනවා. ඒ වගේම මගේ පියාත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. ඔහු ඩ්‍රම්ස් ප්ලේයර් කෙනෙක්. ඉතින් මට පොඩි කාලේ ඉඳන්ම සංගීත ඇසුර පවුලෙන් ලැබුණා. ඉතින් මේ හැම දේම එක්ක මට පොඩි කාළේ ඉඳන්ම සංගීත ශිල්පියෙක් වීමේ දැඩි උවමනාවක් තිබුණා. ඒ අනුව 2010 වර්ෂයෙ දි පමණ මම ගිටාරිස්ට් කෙනෙක් විදිහට සංගීතය ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට අමතරව 2011 දී හඬ පුහුණුවීම් පටන් ගන්නවා. පාසල් අධ්‍යාපන කටයුතු නිසා ඒ දේවල් දිගටම කර ගෙන යන්න අපහසු වුණත්, මම ගීත අහන එක නතර කළේ නැහැ. මම විශ්වාස කරනවා හොඳ ගායකයෙක් වෙන්න නම් සතතාභ්‍යාසය වගේම හොඳින් ගීත අහන්නත් පුරුදු වෙන්න ඕන කියලා. ඇත්තටම මම විවිධ ශෛලීන් ගැන ඉගෙන ගත්තේ ඒ සවන් දීමෙන්. ඒ විදිහට මගේ උවමනාව සහ කැපවීම නිසාත්, පියා ගෙන් ලැබුණු සංගීත ඇසුර නිසාත්, සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ආවා.”
ප්‍ර පාසල් වේදිකාවේ ත් ඔබ ගායකයෙක් ලෙසින් ජනප්‍රිය චරිතයක් ද?
“සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබපු පාසල් වල දී මගේ සංගීතමය වැඩ කටයුතු ගැන පාසලේ ලොකු ජනප්‍රියතාවක් තිබුණේ නැහැ. පාසල් මට්ටමේ ගායන තරගවලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ලොකු විශේෂත්වයක් තිබුණේ නැහැ. මම ඒ කාලේ ඉඳන්ම පාසලෙන් පිටත තමයි මගේ සංගීත වැඩ කටයුතු කර ගෙන ගියේ. ඇත්තටම මගේ පාසල් මිතුරෝ දැන් මම සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා දකින කොටත් පුදුම වෙනවා. නමුත් මම උසස් පෙළ හදාරන කාලය තුළ වේල්ස් කුමර විදුහලේ දී මට ගායන, වාදන වැඩ කටයුතු වලට අවස්ථාව ලැබුණා. මුලින්ම සංගීත කණ්ඩායමක් විදිහට සංගීතය ආරම්භ කරන්නේත් ඒ පාසලෙන් කීවොත් තමා නිවැරදි.”
ප්‍ර ඔබේ සමීපතමයන් ගෙන් ඔබේ කලා ගමනට ලැබෙන සහයෝගය කොයි වගේ ද?
“මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, ආච්චියි, සීයයි. පොඩි කාළේ ඉඳන්ම මට මගේ තෝරා ගැනීම් වලට නිදහස තිබුණා. ගෙදරින් මේ මේ දේවල් කරන්න කියලා බලපෑම් කළේ නැහැ. මම විශ්වාස කරන දේ තමයි ඇත්තටම වැදගත් වෙන්නේ අපි කරන වෘත්තියේ තරාතිරම නෙවෙයි අපි ඒ ඇතුළේ වැඩ කරන පිළිවෙල කියන දේ. ඉතින් මම ඒ පිළිවෙළට මගේ දේවල් කරගෙන යනවා. ඒ නිසා පවුලේ හැම දෙනාගෙම ආශිර්වාදය මට ලැබෙනවා. ඒවගේම මට මේ ගමනට සහය දුන්නු තව කෙනෙක් තමයි අළෙවිකරණ හා බැංකු ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන සමන් නාගහවත්ත මහත්මයා. එතුමාවත් විශේෂයෙන් මතක් කරන්න ඕන.”
ප්‍ර ඔබේම ගීත නිර්මාණ සහ කලා කටයුතු ගැනත් කියමු?
“තරු කැට වගේ කියන මගේ පළමු ගීතය මම නිකුත් කළේ 2019 වසරේ දී. එහි පද රචනය, ගී තනුව සහ සංගීතය මගේ මයි. දැනටත් මම කරපු ගීත නිර්මාණ කිහිපයක්ම තියෙනවා තවමත් වැඩ අවසන් නොකරපු. පසුගිය වසර දෙකක විතර කාලය ඇතුළේ සංගීත කණ්ඩායමේ වැඩ වලට වැඩි ඉඩ කඩක් දුන්න නිසා මගේම ගීත නිර්මාණ එළි දක්වන්න කාලය මදි වුණා. සාමාන්‍යයෙන් මම අවුරුද්දකට ගීත තුනක් විතර කළා. නමුත් මේ වැඩ නිසා ඒක මඟ හැරුණා. ඉදිරියේ දී ඒ ගීත ඉක්මනින්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.”
ප්‍ර ඔබේ සංගීත කණ්ඩායම ගැනත් මතක් කියමු?
“2020 දි තමයි මගේ රී ජෙනරේෂන් කියන සංගීත කණ්ඩායම ආරම්භ කරන්නේ. නමුත් මගේ මුල්ම සංගීත කණ්ඩායම ගැට්ස්බි. ඉන් පසු ස්ටීල් ෆෙතර්ස් කියන කණ්ඩායමේ ත් මම කාලයක් වැඩ කළා. ඉන් පසුව තමයි 2020 දී පමණ මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළේ. මුල් කාලයේ විවිධ උත්සව වල ප්ලේ කලා. 2023 පසුව අපි ඇනස්ලි මාලේවන මහත්මා සමග වැඩ කරන්න පටන් ගත්තා. එය මගේ සංගීත දිවියට ලැබුණු ලොකු අවස්ථාවක්.”
ප්‍ර ඔබ දැන් වාදකයෙක් වගේම ගායකයෙක්?
“සංගීතය මගේ වෘත්තිය. බොහෝ දෙනෙක් මාව මේ දක්වාම හඳුනා ගෙන හිටියේ වාදන ශිල්පියෙක් විදිහට. නමුත් සිනමා පටයෙන් පසු ගායකයෙක් කියන ප්‍රතිරූපයත් හැදෙමින් පවතිනවා. දැන් දැන් ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්නත් විවිධ අවස්ථා ලැබෙමින් පවතිනවා.”
ප්‍ර සංගීත ක්ෂේත්‍රය ඇතුළේ තෙනුක ගේ අලුත් බලාපොරොත්තු මොනව ද?
“සංගීත කණ්ඩායමේ නමත් ඉහළටම රැගෙන යමින්, 60 - 70 දශකවල අපිට උරුම වූ සුන්දර සංගීතය අපේ පරපුරට මෙන්ම ඉදිරි පරපුරටත් රැගෙන යන අතරතුර, මගේ නිර්මාණ අතරින් මගේම අනන්‍යතාවක් ගොඩ නගා ගනිමින් සංගීතයෙන් ඉදිරියටම ගමන් කිරීම තමයි මගේ බලාපොරොත්තුව.”
දුලක්ෂි ලියනගේ