“කලා කටයුතුවලට වැඩි දායකත්වයක් දීලා තියෙන්නේ දුවයි, මගේ මිනිබිරියයි නැති පාළුව මකා ගන්න” “ආදරය සතුට පිරි ජීවිතය මම නිතරම දකින්නේ ආශීර්වාදයක් විදියට”


පෙරළිකාරයෝ, ඔබට දිව්රා කියන්නම්, ජය පිට ජය, පත්තිනි වැනි නිර්මාණ හරහා සිනමාවෙන් කලාවට දොරටු විවර කරගත් ඇය - සිය රංගන කුසලතා මතින් රමණීයත්වය මැවූ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියකි. දශක කීපයක රංගන දිවියේ මතකයන් ගෙන් බිඳක් සමග “සඳැල්ල” හා එකවෙන ඇය රමණි සිරිවර්ධන යි.

ප්‍ර මේ දවස් වල පුංචි තිරය තුළ නිතර දකින්න ලැබෙනවා. කොහොම ද වැඩ කටයුතු?

මේ දවස්වල ‘දෙවෙනි ඉනිම’, ‘රොන් සොයා’, ‘විසේකාරී’, ‘වත්සුණු’ කියන ටෙලි නාට්‍ය ටිකේ වැඩ කරගෙන යනවා. ඇත්තටම කාලෙකට පස්සේ තමයි එක දිගට ටෙලි නාට්‍යවලට දායක වුණේ. මට ටිකක් කම්මැළි හිතුණොත් වැඩ භාර ගන්නේ නැහැ. ඒ වගේම දුව ලංකාවේ ඉන්න දවස් වල නම් මම නිර්මාණවලට දායක වුණේ හරිම අඩුවෙන්. දුව විවාහ වෙලා නෝර්වේ වල පදිංචියට ගියා. 

එයා එක්කම ඉඳලා එයා ගියාම දැනුණ තනිවීමත් එක්ක මට ලොකු  පාළුවක් දැණුනා. ඒ නිසා මම හිතුවා කලා කටයුතුවලට වැඩි දායකත්වයක් දෙන්න. ඇත්තටම මම කලා කටයුතු වලට වැඩි දායකත්වයක් දීලා තියෙන්නේ. දුවයි මගේ මිනිබිරියයි නැති පාළුව මකාගන්න. 

ප්‍ර පහුගිය කාල සීමාව තුළ නිර්මාණ ගණනාවකම අම්මා කියන චරිතය වෙනුවෙන් වැඩි ඉඩක් දීලා තිබුණා. ඒ කොටු වීමට ඔබ කැමතිද?

මට විවිධාකාර අම්මලා ගේ අද්දැකීම් දැන් විඳින්න ලැබෙනවා, ලැබෙන චරිත එක්ක. අම්මා  කියන චරිතය නිරූපණය කරන්න මම හරිම කැමතියි. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ තරුණ දරුවෝ එක්ක වැඩ කරද්දි මගේ දුව නැති පාළුව කාන්සිය මට දැනෙන්නේම නැහැ. ඒ දරුවෝ හැමෝම මට කියන්නේ ‘රමණි අම්මා’ කියලා. මම ඇත්තටම රමණි අම්මා කියනවට ආසයි. ඒ නමට මම ආදරෙයි.

ප්‍ර ඔබේ පෞද්ගලික ජීවිතේ මවගේ කාර්ය ඇතුළේ තෘප්තිමත් ද?

මට ඉන්නේ එක දුවයි. එයා තමයි මගේ මුළු ලෝකයම වුණේ. එයා ලැබුණ දා ඉඳලා කලාව පවා මම එයා වෙනුවෙන් අත් හැරියා. මම මගේ ජීවිතේ අම්මා කෙනෙක් විදිහට දරුවා වෙනුවෙන් ගොඩාක් කැපකිරිම් කළා. එයාව අධ්‍යාපනයෙන්, ගුණධර්ම වලින්, හැසිරීම් වලින් සමාජයේ හොඳ තැනකින් තියන්න  පුළුවන් හැමදේම දුව වෙනුවෙන් කළා.

මම හැදුණෙ අයියලා දෙන්නෙකුයි නංගිලා තුන් දෙනෙකුයි අතරමැද. මම පාසල් කාලේ ඉඳලාම ගත කළේ හොස්ටල් ජීවිතයක්. ඒ හැදුණ පරිසරේ එක්ක එලියට ගිහින් යාළුවෝ ආශ්‍රය කරන්න, ප්‍රශ්න දකින්න, සතුට විඳින්න වගේ ජිවිතයක් මට තිබුණේ නැහැ. සමාජය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. මම ජීවිතේ විඳින්න දකින්න පටන් ගත්තේ  කලාවට  සම්බන්ධ වුණාට පස්සේ. හොඳ නරක ලස්සන කැත කියන දේවල් දැක්කේ කලාවට ආවට පස්සේ. මම ඒ කොටු වෙලා ඉඳපු ජීවිතේ මගේ දුව ඉන්න අවශ්‍ය නැහැ, එයා ස්වාධීනව ජීවිතේ දකින්න ඕන කියන තැන මම හිටියා. ඒ නිසා  දුවට පාසල් කාලේ ඉඳලාම ජිවිතේ කියන්නේ මොකද්ද කියන දේ කියලා දුන්නා. අද මගේ දුව මට වඩා ශක්තිමත්. අම්මා කෙනෙක් වගේම, ආත්තම්මා කෙනෙක්  විදිහටත් ඒ සතුට මම අද අත්විඳිනවා. 

ප්‍ර ඇත්තටම රමණි කියන නිළිය නිර්මාණය වෙන්නේ කොතැනින් ද?

මගේ අම්මා වලව් පෙළැන්තියේ නිසා ඒ සංස්කෘතිය අපේ ගෙදර ටිකක් තදින්ම තිබුණා. තාත්තාත් නැති වුණාම අම්මා වැඩිපුරම හිතුවේ අපේ ආරක්ෂාව. ගැහැනු දරුවන් රැකියා කරන්න ඕන නැහැ, වගේ මතවල තමයි අම්මා හිටියේ. පාසල් කාලේ මම බොහොම නිශ්ශබ්ද චරිතයක්. මටම පුදුමයි මම කොහොමද රඟපාන්න ආවේ කියලා. රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම අහම්බෙන්. අයිවන් වික්‍රමසිංහ කියලා මගේ පවුලේ නෑ කෙනෙක් හිටියා. එයාට ඕන කරලා තිබුණා චිත්‍රපටයක රඟපාන්න අලුත් ගෑනු ළමයෙක්ව. අපේ ගෙදර ඇවිත් ඇහුවාම අයිවන් වික්‍රමසිංහ මහත්මයා නෑදෑයෝ නිසා ඒ යෝජනවාට අයියලා දෙන්නාටයි අම්මාටයි අකමැති වෙන්න බැරි වුණා. මම ඒ වෙනකොට නළු නිළියෝ දැකලත් නෑ, කැමරාවක් දැකලාත් නෑ. 

මුලින්ම රඟපාපු චිත්‍රපටය තමයි "ඇය වැරදි ද ඔබ කියන්න" චිත්‍රපටය. රූපගත කිරීම්වලට ගිය මුල් දවසේ කරන්න තිබුණේ ෆ්‍රෙඩී සිල්වා අයියා එක්ක ප්‍රේම ජවනිකාවක්. ඒ කාලේ මම ආදර බස් දන්නේත් නැහැ, එහෙම අත්දැකීමක් තිබිලත් නැහැ. කැමරා - ඇක්ෂන් කිව්වාම ෆ්‍රෙඩී අයියා එකපාරටම මගේ අත අල්ලුවා. මම ඔහේ හිටියා. හැබැයි මට තේරුණා මගේ අත ගැහෙනවා කියලා. එක පාරටම ෆ්‍රෙඩී අයියා කට් කට් කියල කෑහලා කිව්වා. මට බෑ මේක කරන්න, “අත ඇල්ලුවා විතරයි මේ ළමයා පෙතියා වගේ ගැහෙන්න පටන් අරන් කියලා කිව්වා”. එදා ඉතින් ෂුටිං කැන්සල් වුණා. පස්සේ ඉතින් ෆ්‍රෙඩී අයියා මගේ බය ඇරලා පහුවෙනිදා ෂුට් එක කරා. 

ප්‍ර එතැනින් පස්සේ?  

පළමු චිත්‍රපටයෙන් පස්සේ එක දිගට මට රඟපාන්න ලැබුණා. රඟපාන කොට අයියලා දෙන්නා නීතියක් දැම්මා දැන් ඇති දැන් විවාහ වෙන වයස කියලා. හැබැයි මගේ කර්ම ශක්තිය, රංගනය නතර කරන්න ඉඩ දුන්නේ නැහැ. මම විවාහ වෙන්නේ ශිරාන් ජයසූරිය කියන චිත්‍රපටි අධ්‍යක්ෂවරයාව. ඊට පස්සේ විසි දැල, මංගල තැග්ග වගේ නිර්මාණ ගණනාවකම රඟපාන්න සැමියා අවසර දුන්නා. මගේ පළමු ටෙලි නාට්‍යය චාරුලතා එතැනින් පස්සේ පුංචි තිරයෙත් නිර්මාණ ගණනාවකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම දෙවියන්ට හැම මොහොතකම ස්තූති කරනවා මාව කලාවට සම්බන්ධ කළාට. මොකද මට ජිවිතේ හොඳම පන්නරය දුක, සැප, වේදනාව, අහිමිවීම කියන හැමදේම විඳ දරා ගන්න ශක්තිය වුණේ කලාව. හැබැයි හැම නිර්මාණයක්ම රඟපෑවේ තෝරා බේරා ගෙන. ඊට පස්සේ දුව ලැබුණාම කලාවෙන් ලොකු කාලයක් විවේක ගන්න වුණා. සමහර කාලවල දුව එක්ක විදේශගත වෙන්න වුණා. ඒ මඟ හැරුණ තැන් ගැන මම දුක් වෙන්නේ නැහැ. කාලය ගොඩාක් ගෙවිලා ගිහින් වුණත් මම ක්ෂේත්‍රයට ආව කාලේ වගේම දැන් මට ආයෙමත් නිර්මාණ වලට ආරධනා ලැබෙනවා. 

ප්‍ර අද තරුණ  පරම්පරාව එක්ක තදින්ම රංගන කාර්යයයේ නියැළෙන කෙනෙක් ඔබ?  

මම තරුණ දරුවෝ එක්ක වැඩ කරන්න හරිම කැමතියි. මම කලාවට එනකොට මෙලෝ දෙයක් දන්නේ නැහැ. අද දරුවෝ ඒ අතින් හරිම ඉදිරියෙන් ඉන්නවා. මම ඒ දරුවන්ටත් කියන්නේ කලාව කියන්නේ පිනට ලැබෙන දෙයක්. කලාවයි පෞද්ගලික ජීවිතෙයි බැලන්ස් එකේ ගෙනි යන්නේ කොහොම ද කියලා මම ඒ දරුවන්ට මගේ අත්දැකිම් වලින් කියලා දෙනවා. අපේ ජිවිත වලට ප්‍රශ්න එනවා ඒවායේදි අපි ජීවිතේ බැලන්ස් එකේ ගෙනිච්චේ නැත්නම් මේ ජිවිතේ ගෙනියන්න අමාරුයි. ආදරය සතුට පිරි ජීවිතය මම නිතරම දකින්නේ ආශීර්වාදයක් විදිහට.

නදිශා අතුකෝරළ