“මට හොඳ චරිතයක් ලැබුණොත් ඒ නාට්‍යයේ කොටස් ගණන මම බලන්නෙ නැහැ. චරිතය ආසාවෙන් බාර ගන්නවා. ඒ නාට්‍යය කොටස් සියය ද – දෙසීය ද කියන දේට වඩා, මම බලන්නෙ චරිත රංගනය ගැනයි. ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඒ චරිතය කරනවා.”
මේ විදිහට කියන හර්ෂණ බෙත්මගේ තුරුණු රංග ශිල්පියා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. මාව මතකද, රොකී සහ අමුතු දීගේ නාට්‍යයේ චරිතයත් සමගයි. රංගනය වෘත්තීය කරගෙන කටයුතු කරන හර්ෂණ මේ දිනවල එයාගේ පුද්ගලික ජීවිතයෙ විශේෂ හේතුවක් නිසා බොහොම සතුටින්ලු ඉන්නෙ. ඒ වගේම එයාට දැන් ජීවිතේ වගකීම් එහෙමත් වැඩි ලු! එයා දැන් දරු දෙදෙනකුගේම පියෙකුවීම මේ සතුටට හේතු වගේම වගකීම් වැඩිවෙලා තියෙන්නෙත් ඒ නිසා ලු.
“පියකු සතු වගකීම්, වැදගත්කම ඒ බර සියල්ල නිසියාකාරව ඉටු කරන්න. වගේම ඒ දේවල් කළ යුතුමයි. මගේ තාත්තා මගේ කුඩා කාලයේදී ඒ වගකීම් ඉටු කරලා තියෙනවා. ඒ විදිහටම මගේ දරුවන්ට මාත් ඒ සියලු යුතුකම් වගකීම් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. වගකීම් වැඩි නිසා කාර්යබහුලයි. ගෙදර ඉන්නෙ බිරිඳයි මමයි විතරයි. අපි දෙන්නට දරු දෙදෙනා වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන්න වෙනවා. අපට ඉන්නෙ දියණියක් සහ පුතෙක්. මම හිතන්නෙ දැන් අපි සමබර පවුලක් කියලයි.
ප්‍ර යාළුවෝ එක්ක පාටි දාන, කනබොන සෙට් වෙන අවස්ථා අද කොහොමද?
ගොඩාක් දුරට අඩුයි. ඒ ජීවිතෙන් අද මිදිලා ඉන්නෙ. ෂූටිං ගියත් ඉවර වූ විගස ගෙදර දුවගෙන එන්නෙ. අපට එහෙම ඉන්න වෙනවා. ජීවිතේ ළමා, තරුණ, මැදිවිය වගේ ඒ-ඒ කාල එද්දී ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනසට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. ඒ වෙනස්කම් අමාරුවෙන් හරි විඳගන්න මම කැමතියි. ඒ - ඒ කාලවලදී ඇතිවන වෙනස අපි ආස්වාදය කළේ නැතිනම් ආයේ නැවත ඒ කාලය එන්නෙ නැහැ.
ප්‍ර සැමියකු ලෙස මොන වගේ කෙනෙක්ද?
මගේ බිරිඳගෙන් ඇහුවොත් අනිවාර්යයෙන්ම ඇය කියාවි හොඳ සැමියෙක් කියලා. ඇයගෙන් ඒ ප්‍රශ්නයට උත්තර අහනව නම් වැඩි හොඳයි. හැබැයි කිසිම දවසක, කිසිම වෙලාවක ඇයට ඇති ආදරය- ගෞරවය අඩුවෙලා නැහැ. වැඩිවීමක් මිසක. ඉතින් මම හිතන්නෙ මම වගකීම් ඉටු කරන්න උත්සාහ ගන්න සැමියකු ලෙසයි.
ප්‍ර ලංකාවේ තාත්තලාට ඇති තැන ඔබ දකින්නෙ කොහොමද?
තාත්තා හෝ අම්මා ගැන වූ සැබෑ අරුත වැටහෙන්නෙ එයාලගෙ ගුණය වැටහෙන්නෙ අපිත් මව්පියන් වූ පසුවයි. අපි අතිනුත් මව්පියන්ට වැරදීම් වෙන්න ඇති. නොසළකා හැරීම් වෙන්න ඇති. ඒත් එදා අපට ඒවා නොතේරෙන්න ඇති. හැබැයි අම්මා-තාත්තා කියන්නෙම බුදුවිය යුතු චරිත ලෙසයි මම දකින්නෙ.
සඳුන් ගමගේ