උරහිස් පවසන රහස්


දේහ ලක්‍ෂණ ගැන විමසීමේදී අප මේ වන විට මුහුණ පිළිබඳව අධ්‍යයනය නිම කර තිබේ. මීළඟට උර මඩල වෙත අවධානය යොමු කරමු. මඩල හෙවත් උරහිස්ද දේහ ලක්‍ෂණ පරීක්‍ෂාවේදී විශේෂයෙන් කැපී පෙනේ. ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ මේවා මසින් පිරී මනාව වැඩී ඇත්නම් එය යහපත්ය. පළල් උරහිස් ඇත්නම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති අයවලුන්ය. වැඩ කටයුතුවල දක්‍ෂය. ව්‍යාපාර වලින් හොඳ ප්‍රතිඵල අත්වේ. කඩා වැටී ඉදිරියට නැමුනු ආකාරයෙන් ඇති උරහිස් ආයු බලය පෙන්නුම් කරයි. උරහිස් උස්ව පිහිටියේ නම් උත්සාහවන්තව කටයුතු කර තම අභිලාශයන් සඵල කර ගනියි. පටු උරහිස් ඇති අයගේ දියුණුව සැඟවුනු චරිත ඇති වේ. ඉදිරියට යෑම ආදී ගුණ හීනය.   


යම් ස්ත්‍රියකගේ උරහිස් මසින් පිරී මනාව වැඩී ඇත්නම් ඉතාමත් ඉසුරුබර දිවියක් ගත කිරීමට උපතින්ම භාග්‍ය හිමිකර ගෙන ඇත. කැපී පෙනෙන ලක්‍ෂණයන් සහ පැහැදිලි දියුණුවක් ඇති වේ. එසේ රසකාමී හැඟීම්වලින්ද බහුලය. විනෝද ගමන් ආදී සංචාරක කටයුතුවලට මහත්සේ රුචිය. ඉදිරියට නැමුණු උරහිස් ඇති ස්ත්‍රියට දරු ඵල සහිතය. අන්‍යන්ගේ සැපත ඉවසයි. තම අභිලාශයන් සම්පූර්ණ කර ගනියි.  
පහතට නැමුණු ආකාරයෙන් පිහිටා ඇති උරහිස් ද ස්ත්‍රියකට වාසනාව ගෙන දේ. අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන අතර යහපත් විවාහයකට ද උරුමකම් කියයි. බොරු නොකියයි. එක් උරහිසක් අනෙකකට වඩා පහත්ව ඇත්නම් එම ස්ත්‍රිය කතාවට දක්‍ෂය. පවුලේ සාමාජිකයන්ගේ උදව් ලැබේ. දකුණු උරහිස පහත් වූයේ නම් විවාහයෙන් පිරිමි දරුවන් වැඩිපුර ලබයි. සිතීමෙන් හා අදහස්වලින් බලවත්ය. තම සැමියාට ඉතා හිතවත්ව ක්‍රියා කරන්නීය. 

 
උඩට නැමුණා වූ ආකාරයේ උරහිස් ඇති ස්ත්‍රිය චරිතයට කැළල් ඇති වන ආකාරයෙන් කටයුතු කරයි. කාමාධික බව හේතු කොට ගෙන විය හැක. ස්ත්‍රී ගතිගුණ නොපිහිටන තරම්ය. කෙට්ටු උරහිස් ඇති ස්ත්‍රිය අවසනාවන්තය. ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී දුක්බර අද්දැකීම් ලබයි. ආර්ථිකය අතින්ද දුබල වෙයි. වෙසෙසින්ම විවාහයට අනර්තකාරීය. හුදකලාව ප්‍රිය කරයි. උරමඩලේ රෝම පිහිටා ඇත්නම් එම ස්ත්‍රියගේ යුගදිවිය අසාර්ථකය.  


යම් පුරුෂයකුගේ උරහිස් විශාලව පළල්ව පිහිටා ඇත්නම් ඔහුට තෙදවත් ධනවත් කෙනෙකු වන්නට භාග්‍යය ඇත්තේය. දැන උගත්කමින් යුක්ත වේ. ගරු බුහුමන්, පැසසුම් ඔහු කරා පැමිණේ. ප්‍රසිද්ධියට පත්වේ. පරදින්නේ කලාතුරකිනි. දැඩි ඝණ උරහිස්ද ධනවත් බවේ ලක්‍ෂණයකි. ආපදා අවස්ථාවලදී කම්පා නොවේ. ඉහළ තත්ත්වයේ තනතුරු ලබා ගැනීමට සමත්ය.  


දෙපසට නැමුණු උරහිස් මසින් පිරී වටව ඇත්නම් නැටුම් ගැයුම් වැයුම් ආදී කලා අංශයන් ප්‍රිය කරයි. ලේඛනයෙහි දක්‍ෂය. කරන කුමන කටයුත්තක් වුවද දෙතුන් සැරයක්ම සිතා බැලීමෙන් අනතුරුව කරයි. සිතුවිලි බාල නොවේ. තැනට සුදුසු නුවණ හොඳට තිබේ. කෙට්ටු උරහිස් පුරුෂ පාර්ශ්වයටද යහපත් නොවේ. දිළිඳුය. දුක්බර දිවියකි. උරමඩලේ රෝම පිහිටීම පිරිසක් පාලනයට දක්ෂයෙකි. කාර්මික ඥානය පිහිටයි.

 

නයෝමි පබසරා මැණිකේ  
මාවනැල්ල