ඉලෝන් මස්ක්ගේ “තාක්ෂණික විප්ලවය”


නව ලොව හා විදු ලොව

ලෝ පතළ බොහෝ බිලියනපතියන් සහ විධායක නිලධාරීන් පොත් කියැවීමට නැඹුරු වුණු බුද්ධිමතුන් යැයි කීවොත් එහි වරදක් නැත. ඉලොන් මස්ක් කුඩා කළ සිටම හොඳට ‘කියවන’ කෙනෙකි. පසුකාලීනව ඔහු අතගසා තිබෙන සෑම ක්ෂේත්‍රයක්ම, හොඳ ඉදිරිපත් කිරීමක් කළ හැකි මට්ටමට, ඒ ඒ දේවල් ගැන සාර්ථක අවබෝධයක් ඉලොන් මස්ක්ට තිබෙන්නේ ඒ නිසා යැයි ‘ටයිම්’ සඟරාව ඔහු වර්ණනා කරමින් කියයි. ඉලොන් මස්ක් අධ්‍යාපන ක්‍රමවේදය ගැන දරන්නේ ද නැවුම් අදහසකි. ඉලොන් මස්ක් පෙන්වා දෙන අන්දමට, පළමුවෙන් ‘ටූල්ස්’ (අවශ්‍ය උපාංග සහ මෙවලම්) ගැන, සහ අවශ්‍ය ක්‍රමවේද ගැන හෝ උගන්වා ඉන්පසු ඇන්ජිම ගැන කියා දීම සාර්ථක අධ්‍යාපනය නොවෙයි.

ලෝ සුපතළ ඇමෙරිකාවේ ‘ටයිම්‘ සඟරාව, 2021 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස නම් කළේ බිලියනපති ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් යැයි කී විට සිහියට නැගෙන්නේ රියදුරන් නැති පරිසර හිතකාමී විද්‍යුත් මෝටර් රථ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන ‘ටෙස්ලා’ සමාගම සහ අභ්‍යවකාශ සංචාර, ගවේෂණ ආදී මෙහෙයුම් රැසකට සම්බන්ධ වී සිටින ‘ස්පේස් එක්ස්’ සමාගම්ය.   

50 හැවිරිදි ඉලොන් මස්ක් අපූරු දැක්මක් ඇති අලු‍ත් විදියට සිතන කෙනෙකි. ඔහු යටතේ ඇති සමාගම් වන්නේ ‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ පමණක් නොවෙයි. ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගමේ ඉලක්කය නව තාක්ෂණය සහ මිනිසා බද්ධ කිරීමට මිනිස් මොළයට පරිගණක චිපයක් සවි කිරීමය. වඳුරන් යොදා ගනිමින් එය අත්හදා බැලීම පවා මේ වනවිට ආරම්භ වී ඇත. ‘සෝලර් සිටි’, ‘සිප්2’, ‘පේපැල්’, ‘ඕපන් ඒ.අයි.’ ‘බෝරිංග්’ යනු ඉලොන් මස්ක් යටතේ පවතින එකිනෙකට වෙනස් සමාගම්ය.  

 

පසුගිය 2021 වසර, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් බොහෝ දෙනකුට හොඳ වසරක් නොවුණත්, ඉලොන් මස්ක් ට නම් එය එසේ නොවෙයි. ඔහු ලොව බිලියනපතියන් අතරින් බිලියනපතියා බවට පත්වූයේ 2021 දීය. ලෝකයේ ප්‍රධාන බිලියනපතියන් වන්නේ වොරන් බුෆෙ, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ජෙෆ් බෙසෝස් සහ ඉලොන් මස්ක් ය. 2020 දී ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 25 ක වත්කම් ඇති බිලියනපතියෙකි. ඒත් 2021 වසර වෙද්දී, ඔහු ඇමෙරිකන් ඩොලර් බිලියන 266 ක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් විය.   
‘ටයිම්’ සඟරාව සෑම වසරකම ලොව කැපී පෙනෙන පුද්ගලයන් නම් කිරීම සිදු කරන්නේ, 1927 වසරේ සිටය. සෑම දෙසැම්බර් මාසයේ ම ‘ටයිම්’ සඟරාවේ කවරය හැඩ වන්නේ ද එසේ වසරේ විශිෂ්ටයා ලෙස නම් කරන පුද්ගලයාගෙනි. 2020 වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් ලෙස ‘ටයිම්’ සඟරාව දෙදෙනකු නම් කළේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ය. 2021 වසරේ විශිෂ්ටයා ලෙස ඉලොන් මස්ක් නම් කිරීමට ‘ටයිම්’ සඟරාව කටයුතු කළේ ඔහු ලොව ධනවත්ම පුද්ගලයා වීම නිසා නම් නොවෙයි. ඉලොන් මස්ක් අසාර්ථකත්වය හමුවේ අභියෝග ජයගත් හරි අපූරු ව්‍යාපාරිකයකු, නව නිපැයුම්කරුවෙකු සහ තනිවම ලෝකය දිනූ, විශ්වය ජය ගැනීමේ අරමුණක් ඇති අයකු නිසාය. තමා දිනෙක තමන්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමේ රොකට්ටුවකින් අඟහරු යන බවත්, යළි පෘථිවියට නොපැමිණෙන බවත්, තමා මිය යන්නේ අඟහරු මත බවත් ඉලොන් මස්ක් පවසා ඇත.   


2021 වසරේ දී ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වූයේ ‘ඇමසන්’ සමාගම පිහිටුවූ බිලියනපති ජෙෆ් බේසෝස් අභිබවා යමිනි. ‘කොවිඩ් 19’ වසංගතය මැද ඉලොන් මස්ක්ගේ වත්කම් ඉහළ ගියේ ‘ස්පේස් එක්ස්’ සමාගම ගගන කටයුතුවලට සම්බන්ධ වූ බැවිනි. ‘ස්පේස් එක්ස්’ සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.‍ 2024 දී නාසා ආයතනය යළි සඳට මිනිසකු පමණක් නොව ගැහැනියක ද යැවීමට සූදානම් වෙයි. එම ගගන කටයුතුවලට පවා ‘ස්පේස් එක්ස්‘ සම්බන්ධ වෙයි. මේ වනවිටත් නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ පිහිටි අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන යන්නේත් ආපසු ගෙන එන්නේත් ‘ස්පේස් එක්ස්’ කැප්සියුලවලිනි. ඊට අමතරව, ගගන සංචාරකයන් අභ්‍යවකාශයට රැගෙන යෑම ආරම්භ කරමින් ගගන සංචාර පෞද්ගලිකකරණය කිරීමට ද ඉලොන් මස්ක්, ‘ස්පේස් එක්ස්’ සමාගම හරහා කටයුතු කළේය.   
ඉලොන් මස්ක් ඇමෙරිකන් ජාතිකයකු මෙන්ම ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරිකයකු ද වන මස්ක්, උපතින් දකුණු අප්‍රිකානුවෙකි. ඉලොන් මස්ක් කුඩා කළ සිටම වෙනස් විදියට සිතන්න පුරුදු වුණු ආන්දෝල -නාත්මක අදහස් ඇති චරිතයකි. ඉලොන් මස්ක්ගේ එම ආන්දෝ -ලනාත්මක අදහස් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් වුණානම් බොහෝවිට සමාජයෙන් ප්‍රතික්ෂේ​ප වෙන්නටත් ඉඩ තිබුණි යැයි ‘ටයිම්’ සඟරාව පෙන්වා දෙයි. ඒත් ඔහුගේත් ලෝකයේත් වාසනාවට එය එසේ නොවිණි. ඉලොන් මස්ක් අද ලොව සුපිරි ධනවතා බවට පත් වූයේ ඒ නිසාය. ඒ නිසාම, ඉලොන් මස්ක් කරන දේවල් පමණක් නොව කියන දේවල්වලටත් ලොකු වටිනාකමක් එකතු වෙයි.   


ඉලොන් මස්ක් පවසන අන්දමට, ඔහු දිනකට පැය 20 ක් වැඩ කළ අවස්ථා ද ඇත. ඉලොන් මස්ක් බිලියනපතියකු වීමේ රහස එයයි. බිලියනපතියෙකු වූ පළියට, ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම ව්‍යාපාරිකයා ද වූ පළියට ඉලොන් මස්ක් මහන්සිවීම නවතා දමා නැත. තවමත් ඔහු පැය 20 ක් තිස්සේ වැඩ කරන අවස්ථා ඇත. එක් අවස්ථාවක, ඉලොන් මස්ක් ඔහුගේ ‘ටෙස්ලා ගිගා’ ෆැක්ටරියේ නිරීක්ෂණ චාරිකාවකට යයි. පසුදින ඔහු දෙස් විදෙස් මාධ්‍ය හමුවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට ද එක් වෙයි. ‘ඔබ ඊයේ රෑ ගත කළේ කොහේදැයි’ එක් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී, ඉලොන් මස්ක් කලින් දා රාත්‍රියේ ෆැක්ටරියේ අසුනක නිදා ගත්තේ යැයි ඉලොන් මස්ක් කියයි. සමාගම් කිහිපයක එකවිට වැඩ කළත් තවමත් ඉලොන් මස්ක් සුවිසාල මන්දිරයකට වෙලා සතියේ වැඩි කලක් විවේකයෙන් ගතකරන කෙනෙක් නොවෙයි.   


1999 වසරේ දී, කවුරු කවුරුත් ඔන්ලයින් ව්‍යාපාර ගැන සිත යොමු කරද්දී, ඉලොන් මස්ක් ඔහු ආරම්භ කරපු පේපැල් සමාගම ඊබේ සමාගමට විකුණා සිය ව්‍යාපාර වෙනස් මඟකට යොමු කළේය. ඉලොන් මස්ක් රොකට් තාක්ෂණය වෙනුවෙන් මුදල් ආයෝජනය කරමින්, ඊට යොමු වීම සිදුවූයේ 2001 දීය. ඉලොන් මස්ක් මෝටර් රථ තාක්ෂණයේ නව පෙරැලියක් කරමින්, ‘ටෙස්ලා’ සමාගම කෙරෙහි වැඩි උනන්දුවක් යොමු කර, ඒ සඳහා ආයෝජන සිදු කරන්නේ 2003 වසරේ සිටය. ඉලොන් මස්ක්ගේ ‘හයිපර්ලූප්ස්’ වැනි ප්‍රවාහන ක්‍රමවේද පමණක් නොව, ඔහුගේ නාගරික ප්‍රවාහන ක්‍රමවේද ආදිය ඉදිරි වසර දහය තුළ ලෝකය මුළුමනින්ම වෙනස් කරනු ඇති බවත්, ප්‍රවාහන ක්‍රමයන් නව මානයකට යොමු කරනු ඇති බවත් පැවැසෙයි.   


ලොව බිලියනපතියන් බොහෝ දෙනකුටම ඉලොන් මස්ක් ට මෙන් විවිධ මාවත් ඔස්සේ දිවෙන ව්‍යාපාර ඇත. ඉලොන් මස්ක් ඔහුගේ ව්‍යාපාරවලට සෘජුව සම්බන්ධ වී සියල්ල සොයා බලා, හැකිනම් ඒ දේවල්වලට ඔහුගේ ද ප්‍රයෝගික දායකත්වය ලබා දෙයි. ඉලොන් මස්ක් වැඩ කරන්න දක්ෂයෙකි. ‘ටෙස්ලා’ විද්‍යුත් මෝටර් රථ දිනෙන් දින සාර්ථක වෙයි. ඒත් ඉලොන් මස්ක් ඒ ගැන පමණක් උනන්දු වන්නෙක් නොවෙයි. 2030 වසරෙන් පසු අඟහරු හෙවත් රතු ග්‍රහයාට මිනිසුන් රැගෙන යෑම සහ අඟහරු මතුපිට ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් ද ඉලොන් මස්ක් උනන්දු වෙයි. ඔහු එම කටයුතු ආරම්භ කරනු ඇත්තේ නාසා ආයතනය සමඟ හවුලේය. ඉන්පසු පෞද්ගලික ගගන සංචාර අඟහරු තෙක් දිගු වනු ඇත. ඉලොන් මස්ක්ට අයත් ‘නියුරෝලින්ක්’ වැනි සමාගම්, ඉලොන් මස්ක්ගේ සිතැඟි පරිදි ලෝකය ජය ගෙන ඉදිරියට යෑම අද හෙට සිදුනොවනු ඇත. හේතුව ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය තවමත් ලොව බිහිනොවීමය. එසේ වුවත් ඉලොන් මස්ක් ‘නියුරෝලින්ක්’ සඳහා ආයෝජන කරන්නේ අනාගත දැක්මකිනි. මෙතෙක් ලොව ඇති ආදායම් මාවත් වලට වඩා නවීනත්වය එක් කෙරන ආදායම් ලබන ආකාරයක් සොයාගන්නට ඉලොන් මස්ක් සැම විටම උනන්දු වෙයි.   


බොහෝ අය ව්‍යාපාර සහ ආයෝජන පටන් ගත්තත්, ඒවායේ තාක්ෂණික පැත්තට වඩා අවධානය යොමු කරන්නේ විකුණා ගැනීමේ අවස්ථා ගැනය. විකිණීම සහ අලෙවිකරණය වැදගත් බව ඔවුන්ගේ අදහසය. එහෙත්, ඉලොන් මස්ක්, තාක්ෂණික අතින් හැම දේ ගැනම හොඳ දැක්මක් ඇති හැමදෙයක් දෙසම ප්‍රායෝගිකව බලන අයෙකි. ඔහු ස්පේස් එක්ස් සමාගමේ වියදම අඩු කිරීමට ‘ස්ටේන්ලස් ස්ටීල්’ යොදා ගනිමින් රොකට්ටු නිර්මාණයට යොමු විය. එමෙන්ම, එම රොකට්ටු නැවත නැවත භාවිතයට ගැනීමට වැඩි දියුණු කළේය. අද නාසා ආයතතය භාවිතයට ගන්නේ මේවාය. ආරම්භයේ දී ටෙස්ලා කාර් සම්බන්ධයෙන් ගැටලු‍ රැසක් තිබුණි. ටෙස්ලා සමාගම පසුවූයේ දැඩි පසුබෑමකය. ඒත් ඉලොන් මස්ක්, උත්සාහය අත්හැරියේ නැත. ‘රොබොටික්ස්’ සහ ‘ඔටෝමේෂන්’ සමඟ එක් වෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්න ඉලොන් මස්ක් කටයුතු කළේය. ‘රොබොටික්ස්’ සහ ‘ඔටෝමේෂන්’ නව යන්ත්‍රාගාර ටෙස්ලා සමාගමට එක් කෙරුණි. ටෙස්ලා නිපදවන මෝටර් රථ ‘චාජ්’ කිරීමට අවශ්‍ය චාජින් ජාලයකුත් ඇමරිකාව පුරා ඇතිකරන්නට ඔහු කටයුතු කළේය.   

අද නාසා ආයතනයේ ගගනගාමීන් කිසිදු බයක් සැකයක් නැතිව අභ්‍යවකාශයට ගොස් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිට ආපසු එන්නේ ස්පේස් එක්ස් රොකට්ටු සහ ගගන යානා භාවිතයට ගනිමිනි. ඒත් නාසා ආයතනයේ විශ්වාසය දිනා ගැනීමට ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමට වසර ගණනක් ගතවිය. වසර ගණනාවක් එක දිගට රොකට්ටු අත්හදා බලද්දී අසාර්ථක වීම සහ ඒවා කඩා වැටී පුපුරා විනාශ වීම ඊට හේතුවය. ටෙස්ලා සමාගම ආරම්භයේ දී ටෙස්ලා මෝටර් රථ පවා එක පිට එක අසාර්ථක විය. තවමත් ටෙස්ලා මෝටර් රථවල සුළු අඩුපාඩු ඇති අතර, ඒ සියල්ල නිවැරදි කිරීමට ටෙස්ලා සමාගම කටයුතු කරන බව අසන්නට ලැබේ. කෙසේ නමුත් මේ සියලු‍ අභියෝග ජයගනිමින්, ගැටලු‍වලට සෙමින් සෙමින් ස්ථාවර විසඳුම් ලබා දෙන්න ඉලොන් මස්ක් සමත් විය. ව්‍යාපාර පසුබෑම් නිසා වරක් ඇමරිකානු රජයේ ණය ලබාගන්නත් ඉලොන් මස්ක්ට සිදිවුණැයි ද ටයිම් සගරාව පැහැදිලි කර තිබේ. ඒත් කිසිවකින් ඉලොන් මක්ස් වැටුණේ නැත.   


නව නිපැයුමක් ළඟ තබාගෙන, ඉලොන් මස්ක් ඊට අනුග්‍රාහකයින් සොයමින් සිටින්නේ නැත. ඉලොන් මස්ක් සැමවිටම උත්සාහ ගන්නේ ඔහු සතු නව නිපැයුම් විකිණීමටය. ‘ස්පේස් ඒක්ස්’ සමාගම හරහා රොකට් යානා නිපදවූ ඉලොන් මස්ක් ඒවා සඳට යනකල් බලන් සිටියේ නැත. ඔහු ඔහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගමේ සේවාව නාසා ආයතනයට පමණක් නොවෙයි, ඇමෙරිකන් හමුදාවටත් ලබා දුන්නේය. ඒ මුදල් උපයමිනි. මුළු ලොවම එක් කරමින් සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතියක් ලොවට දායාද කිරීමත් ඉලොන් මස්ක්ගේ අනාගත දැක්මට අයත් යැයි පැවැසෙයි. මෙය ‘ස්ටාර්ලින්ක් සැටලයිට්’ යනුවෙන් හැඳින්වෙයි. ටෙස්ලා සමාගම විසින් නිපදවා වැඩි දියුණු කළ බැටරි සහ වෙනත් උපාංග ආදියත් විවිධ සමාගම්වලට කෙළින්ම විකුණන්න ඉලොන් මස්ක් පසුබට වන්නේ නැහැ.   

 


ඇමරිකාව සියලු‍ දේ පුද්ගලික අංශයට පැවැරීමට කැමැත්තෙන් පසුවන රටකි. අභ්‍යවකාශ කටයුතු පවා පෞද්ගලික අංශයට ලබා දීමට ඇමෙරිකන් රජය ගත් තීරණයක ප්‍රතිඵලය වුණේ ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සහ නාසා ආයතනය අතර නව ගිවිසුමකට අත්සන් තැබීමය. ස්පේස් එක්ස් සමාගමේ මිල අඩු රොකට්ටු භාවිතය නාසා ආයතනය ආරම්භ කර තිබේ. නාසා ෂටල ව්‍යාපෘතිය විශ්‍රාම යැවීමෙන් පසු, අද උඩු ගුවනේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ඇමෙරිකන් ගගනගාමීන් යන්නේ එන්නේ ‘ස්පේස් ඒක්ස්’ රොකට්ටු සහ ගගන කැප්සියුලවලිනි. ‘ස්පේස් එක්ස්‘ සමාගම ලෝක පූජිත නාමයක් බවට අද පත් වී ඇත්තේ වසර 15 ක් තරම් කෙටි කාලයකින් වීම ද විශේෂත්වයකි. ‘ස්පේස් එක්ස්’ සාර්ථක වූයේ ප්‍රායෝගික ගැටලු‍ රැසකට විසඳුම් සොයමින් ඉදිරියට ආ බැවිනි. ‘ස්පේස් එක්ස්’ සමාගම, ඔවුන්ගේ රොකට්ටු නිපදවන්නේ, ‘ස්ටේන්ලස් ස්ටීල්’ නැත්නම් මළ නොකන වානේ භාවිතයට ගනිමිනි. රොකට්ටු මිල අඩු වන්නේ එබැවිනි. ‘ස්ටේන්ලස් ස්ටීල්’ ගුවන් යානා හෝ රොකට් සඳහා මීට පෙර භාවිත කෙරුණේ නැත. සාපේක්ෂව ලාභදායී වුණත්, ඇලු‍මිනියම් වැනි ලෝහයක් සමඟ සන්සන්දනය කරද්දී, වැඩි බරකින් යුක්ත වීම සහ මේ ලෝහයේ තිබෙන නැවෙනසුළු ස්වභාවය ඊට හේතුව විය. ඒත් ‘ස්පේස් එක්ස්’ සමාගම ‘ස්ටේන්ලස් ස්ටීල්’ භාවිතයට යොමු විය. ටයිටේනියම්, කාබන් ෆයිබර් වැනි මිල ක්‍රමයට රොකට් හදන්න විශාල වියදමක් දැරීමට සිදුවෙයි. එහෙයින්, ස්පේස් එක්ස් කණ්ඩායම සාපේක්ෂව වියදම් බොහොම අඩු ස්ටේන්ලස් ස්ටීල් ලෝහය රොකට් සෑදීමට යොදා ගැනෙයි.   


ලෝ පතළ බොහෝ බිලියනපතියන් සහ විධායක නිලධාරීන් පොත් කියැවීමට නැඹුරු වුණු බුද්ධිමතුන් යැයි කීවොත් එහි වරදක් නැත. ඉලොන් මස්ක් කුඩා කළ සිටම හොඳට ‘කියවන’ කෙනෙකි. පසුකාලීනව ඔහු අතගසා තිබෙන සෑම ක්ෂේත්‍රයක්ම, හොඳ ඉදිරිපත් කිරීමක් කළ හැකි මට්ටමට, ඒ ඒ දේවල් ගැන සාර්ථක අවබෝධයක් ඉලොන් මස්ක්ට තිබෙන්නේ ඒ නිසා යැයි ‘ටයිම්’ සඟරාව ඔහු වර්ණනා කරමින් කියයි. ඉලොන් මස්ක් අධ්‍යාපන ක්‍රමවේදය ගැන දරන්නේ ද නැවුම් අදහසකි. ඉලොන් මස්ක් පෙන්වා දෙන අන්දමට, පළමුවෙන් ‘ටූල්ස්’ (අවශ්‍ය උපාංග සහ මෙවලම්) ගැන, සහ අවශ්‍ය ක්‍රමවේද ගැන හෝ උගන්වා ඉන්පසු ඇන්ජිම ගැන කියා දීම සාර්ථක අධ්‍යාපනය නොවෙයි. පළමුවෙන් ඉගැන්වීම කළ යුත්තේ ඇන්ජිම ගැනය. ඉන්පසු අවශ්‍ය වෙලාවට සුදුසු ‘ටූල්ස්’ මොනවාදැයි සිතන්න හුරු කළ යුතුය. ඇත්තටම ඒක අපූරු මෙන්ම ආන්දෝලනාත්මක සිතුවිල්ලකි. කොතරම් බැණුම් ඇහුවත්, නින්දා අපහාස එල්ල වුවත් අලු‍ත් විදියට සිතමින් අලු‍ත් අදහස් ප්‍රසිද්ධියේ පවසන්න ඉලොන් මස්ක් පසුබට වෙන්නේ නැහැ. 

 

ලුසිත ජයමාන්න