ඉතා නුදුරේම රිදී තිරයෙන් දැකගන්න පුළුවන්


නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයටත් පිවිස - අද වන විට ලංකාවේ ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් තමයි, ලහිරු අධිකාරී කියන්නෙ.

2020 වර්ෂයේ ටීවී දෙරණ අවුරුදු කුමරා තරගයෙන් ජයග්‍රහණය ලැබූ ඔහු මේ දිනවල “මායාවී” සහ “නිකිණි කුසුම්” ටෙලි නාට්‍යන් හරහා ප්‍රේක්ෂකාදරය නොමඳව ලබාගත් අයෙක්. මෙවර සඳැල්ලෙන් කතාබහ ඇරඹෙන්නේ ඔහු සමගයි.

ප්‍ර කොහොම ද ලහිරු මේ දවස්වල ?

“මේ දවස්වල ඇත්තටම අධ්‍යාපනික  කටයුතුත්, ටෙලිනාට්‍ය දෙකකත් වැඩ කර ගෙන යනවා. ඉතින් ඒ වැඩත් එක්ක ඇත්තටම කාර්ය බහුල දවස් කිහිපයක් තමයි මේ ගතවෙමින් යන්නේ.”
ප්‍රේක්ෂක ජනතාව මුලින්ම ඔබව හඳුනා ගන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා. ඉතින් ඔබ නිරූපණ ක්ෂේත්‍රයට

ප්‍ර පිවිසෙන්නේ කොහොම ද?

“මුලින්ම මම 2020 වර්ෂයේ දී දෙරණ අවුරුදු කුමරා තරගයට අයැදුම් කරල ඉන් ජයග්‍රහණය කරා. ඉන් පසුව තමයි මුලින්ම වෙ​ෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙක හැටියට ප්‍රේක්ෂක ජනතාව මාව හඳුනා ගන්නේ.”

ප්‍ර ඉතින් ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොම ද?

“මගේ මුල්ම පාසල මාදම්පේ මධ්‍ය මහා  විද්‍යාලය. උසස් පෙළ සඳහා මම ඇතුළත් වෙන්නේ මාරවිල ශාන්ත සේවයර් විද්‍යාලයට. මම පාසල් යන කාලෙ ඉඳලාම රංග කලාව ඉගෙන ගත්තා. ඒ වගේම වැඩිපුර කළේ ක්‍රීඩා කටයුතු වල  නිරතවුණු එක. උසස් පෙළින් පසු 2020 වර්ෂයේ දී දෙරණ අවුරුදු කුමරා තරගයට  ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලැබුවා.ඒ ලබපු ජයග්‍රහණයත් සමග තමයි මගේ කලා කටයුතු ආරම්භ වන්නේ.නමුත් ප්‍රේක්ෂක ජනතාව මුලින්ම මාව හඳුනා ගන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා. ඉන් පසුව තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් වන්නේ. ඒ වගේමයි මේ වෙද්දි මම සිනමා කටයුතු වලත් නිරත වෙනවා.”

ප්‍ර රංගන ක්ෂේත්‍රය තුළ ඔබ මුලින්ම රංගන දායකත්වය දුන් ටෙලි නාට්‍යය සහ එහි අත්දැකීම කොහොම ද?

“මුලින්ම මට ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණේ රාවණා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂවරයා ගෙන්.ඒ ඔහුගේ නිකිණි කුසුම් ටෙලි නාට්‍යය ට. එය තමයි මම රංගන දායකත්වය දුන් පළමු ටෙලිනාට්‍යය. ඒ හරහා තමයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.”

ප්‍ර මේ දිනවල ඔබේ කලා කටයුතු කොහොම ද ?

“මේ දවස්වල තුෂාර තෙන්නකෝන් මහත්මා අධ්‍යක්ෂණය කරන, යෞවන සමීන්ද්‍ර රත්නායක මහත්මා තිර රචනය කරන නිකිණි කුසුම් ටෙලි   නාට්‍යයේ තේජාන් ගේ චරිතයටත් සඳුන් රාජකරුණා මහත්මා  අධ්‍යක්ෂණය කරන මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මා තිර රචනය කරන මායාවී ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.”

මේ දිනවල විකාශනය වන මායා වී සහ නිකිණි කුසුම් ටෙලි නාට්‍ය රූගත කිරීම් අතරතුර දී අනෙකුත් දක්ෂ ප්‍රවීණ

ප්‍ර රංගන ශිල්පීන් ශිල්පිනියන් ගෙන් ඔබට ලැබෙන දායකත්වය කොහොමද?

“මුලින්ම මම මතක් කරන්න ඕන මායාවී සහ නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරුන් වන සඳුන් රාජකරුණා සහ යෞවන සමීන්ද්‍ර රත්නායක මහත්වරු දෙපළ . ඔවුන් ගේ එම ටෙලි නාට්‍යයන් දෙකේම රූ ගත කිරීම් අතරතුර දී මට දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මුණ ගැහෙනවා.එයාලත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා.විශේෂයෙන්ම   මායාවී ටෙලි නාට්‍යයේ මගේ යාළුවගේ චරිතයට පණ පොවන්නේ මනෝජ් දේවගේ කියන මගේ මිත්‍රයා. අපි දෙන්නා කතා බහ කරලා තමයි  චරිත දෙක ගොඩ නගාගෙන යන්නේ. ඉතින් මනෝජ් දේවගේ ගෙන් ලොකු සපෝට් එකක් මායාවී ටෙලි නාට්‍යයේ මගේ චරිතයට ලැබෙනවා.ඒ වගේම තමයි  නවක රංගන ශිල්පියෙක් හැටියට    අනෙකුත් රංගන ශිල්පීන් ගෙන් සහ ශිල්පිනියන් ගෙනුත් ලොකු සපෝට් එකක් මේ ටෙලි නාට්‍ය  දෙකටම ලැබෙනවා.”

ප්‍ර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අමතරව ඔබේ දායකත්වය ලබා දෙන වෙනත් ක්ෂේත්‍ර මොනවා ද?

“ටෙලි නාට්‍යයන් ට අමතරව චිත්‍රපට ක්ෂේත්‍රයට ත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපට ක්‍ෂේත්‍රයට පිවිසීමට මුලින්ම මට ආරාධනාවක් ලැබෙන්නේ බුද්ධික ජයරත්න කියන අධ්‍යක්ෂකවරයා ගෙන්.ඒ ඔහුගේ සැප්තැම්බර් කියන චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදීමට. ඉතින් මම හිතනවා මම රංගන දායකත්වය ලබා දුන් සැප්තැම්බර්  චිත්‍රපටයත් නුදුරේ දීම ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේමයි කඩහපොළ උන්වහන්සේ කියලා චිත්‍රපටයකටත් මගේ රංගන දායකත්වය ලබා දුන්නා. පසුගිය දිනවල එහි  රූගත කිරීම් අවසන් වුණා. ඒ චිත්‍රපටයෙනුත් නුදුරේ දීම ප්‍රේක්ෂක  ඔබ හමුවට  එන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍ර කලාව කියන දේ හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. ඔබ හිතන විදිහට කලාව කියන දේ ඔබට කෙසේ ලැබෙන්නට ඇති ද?

“කලාවත් එක්ක වැඩ කරන මනුස්සයෙක් ට හොඳ හික්මීමක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.ඒ හික්මීම පාසල් කාලයේ දී ක්‍රීඩා කටයුතුවල නිරත වීමත් සමගයි මට ලැබුණේ. ඉතින් මම හිතනවා ඒ   ලැබුණු හික්මීමත් ඉගෙන ගත්ත රංග කලාවත් එක්ක රංගනය කියන දේ මට ලැබුණා කියලා.”

ප්‍ර කලාව තුළ ඔබ මෙතෙක් ආ ගමන් මගේ දී ඔබට පවුලෙන් ලැබුණු සහයෝගය කොහොම ද?

“මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි නංගි.තාත්තා වසන්ත සූරිය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. මම විශ්වාස කරන විදියට පවුල තමයි කෙනෙකු ගේ සාර්ථකත්වයේ ලොකුම සෙවණැල්ල වෙන්නේ.ඒ කාරණාව මටත් පොදුයි.මොකද පාසල් යන කාලේන්, පසුව අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙලා ඉන් ලැබුණු ජයග්‍රහණයත්, ඊට පසු නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීමත් සහ චිත්‍රපටි ක්ෂේත්‍රයට පිවිසීමත් කියන ගමන් මාර්ගය තුළ ඒ  හැම දේටම ශක්තිය වුණේ මගේ පවුල.”

ප්‍ර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ හෝ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ප්‍රධාන චරිතයක භූමිකාවක් රඟපාන්න  ලැබෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙනව ද?

“ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක හෝ ප්‍රධාන භූමිකාවක් රඟපානවා කියන එක එතරම් ලේසි කාර්යයක් නෙවෙයි. නමුත්  කලා ක්ෂේත්‍රය ඇතුළෙ දි ලබන අත්දැකීම් ගුරුහරුකම් යටතේ තමයි ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒ අවස්ථාව මට නුදුරේදී ම ලැබෙයි කියලා. මොකද එක් ටෙලි නාට්‍යක මේ දිනවල pre production කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය හරහා ප්‍රේක්ෂක  ඔබ හමුවට එන්න මම  බලාපොරොත්තු වෙනවා.”

ප්‍ර ඔබේ පෞද්ගලික ජීවිතයේ කටයුතු සහ රංගන ජීවිතයේ කටයුතු සමබර කර ගන්නේ කොහොම ද?

“මම දැනට කළමනාකරණ ක්ෂේත්‍රයේ උපාධියක් හදාරමින් ඉන්නේ.ඒ වැඩ කටයුතුත් කලා ක්ෂේත්‍රයේ කටයුතුත් සමබරව කර ගෙන යනවා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකයන් ගෙන් ලැබෙන හොඳ ප්‍රතිචාර. ඉතින් ඒ ප්‍රතිචාර අහන කොට දකින කොට පෞද්ගලික ජීවිතයේ කටයුතු වගේම රංගන ජීවිතයේ කටයුතු කරගෙන යාමේදී ඇති වෙන කාර්ය බහුලත්වය අමතක කරලා සමබරව සහ සතුටින් වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා.”

ප්‍ර කලා ක්ෂේත්‍රයේ ඔබ ආ මේ ගමන් මග පිළිබඳව ඔබට හැඟෙන්නේ කොහොම ද?

“රංගන ක්ෂේත්‍රය කියන්නේ වර්තමානයේ හැමෝටම එන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒකට හේතුව තමයි විවිධ pagent තියෙනවා, intervieww තියෙනවා. ඉතින් ඒ හරහා ගොඩක් දෙනෙක්ට රංගන ක්ෂේත්‍රයට එන්න දොරටු විවර වෙලා තියෙනවා.නමුත් ඒ ආවත් රැඳිලා ඉන්නේ ඉන් කිහිප දෙනයි. එසේ රැඳිලා ඉන්න නම් නිහතමානීත්වය සහ හික්මීම කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.ඉතින් මම හිතනවා පවුලෙන් ලැබුණු සහයෝගයත් එක්ක මම තනියම හොයා ගෙන ආපු මේ ගමන් මග තුළ තරමක් දුරට හෝ මම සාර්ථකයි කියලා. ඒ ගැන මට තියෙන්නේ  නිහතමානී ආඩම්බරයක්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා  ප්‍රේක්ෂක ආදරය අද වගේම හෙටත් හෙට වගේම ඉදිරියටත් පවත්වා ගෙන යන්න.”

මදූශා දිල්ශානි