“ආදරය බොහොම සුන්දර දෙයක්. ඉතින් ජීවිතයට හරිම දේ ලැබුණාම තමයි ආදරය සුන්දර වෙන්නේ. මම හිතන්නේ මම ආදරය විඳින කාලය තමයි මේ.”
මෙහෙම කියන ‘රශී ප්‍රභා’ ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වෙන්නේ සිරස ඩාන්සින් ස්ටාර් රියැලිටි වැඩසටහන නිසයි. එහි නිවේදිකාව ලෙස එය මෙහෙයවන්නේ ඇයයි. මේ කතාබහ සුන්දර ‘රශී ප්‍රභා’ සමගයි.
ප්‍ර රශී ප්‍රභා, රශී කියන්න ද? ප්‍රභා කියන්න ද? නැත්නම් ශෂී ද?
“අනේ ශෂී කියලා නම් කියන්න එපා. එහෙම කියලා කලින් ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. මම රශී ප්‍රභා. ඉතින් රශී ප්‍රභා කියලාම කියන්න. සමහරු මට ශෂී පබා කියලත් කියනවා. ඒත් මගේ නම රශී ප්‍රභා.”
රශී ප්‍රභා රඟපෑමට අමතරව කලා අංශයේ විවිධ දේට දායක වෙනවා? ඒ ගැන කියමු.
“රඟපානවා, නිවේදනය කරනවා. ඒ අතරින් මගේ ගමන පටන්ගන්නෙ නිවේදිකාවක ලෙස. පාසල් ගිය කාලයේදී 2007දී දැයට කිරුළ උළෙල පැවැත්වුණා. ඒ වෙනුවෙන් ආධුනික නිවේදිකාවක් තෝරා ගන්නවා කියලා අයි.ටී.එන්. එකේ දැන්වීමක් දැකලා මම ඒකට අයැදුම් කළා. ඒකට සෑහෙන පිරිසක් ඇවිත් හිටියා. දිගු පෝලිමක් තිබුණේ. එතැනට ගිහින් හිටපු පොඩිම ළමයා මම. එදා මම පරීක්ෂණයට පෙනී සිටලා ආපසු එද්දි, අපි හඳුනන අයියා කෙනෙක්, ළමයින්ගේ වැඩසටහනක රෙකෝඩින් එකක් ඒ වේලාවෙ තිබුණු නිසා එහි නිෂ්පාදකට හඳුන්වලා දෙන්නම් කීවා. ඒ විදිහට තමයි එදා ලක්ෂ්මන් මද්දුමගල සර්ට මාව හඳුන්වලා දුන්නේ. පසුව මාව ඉන්ටර්වීව් කරලා, ඒ දිනවල විකාශය වූ ඉතාම ජනප්‍රිය ළමා වැඩසටහනක් වන ‘ටිකිරි පැය’ට බඳවා ගත්තා. පසුව ළමා පුවත්, සමනල උයන, දේදුනු හැන්දෑව ඇතුළු වැඩසටහන් කරමින් ළමා නිවේදිකාවක ලෙස අයිටීඑන් එකේ අවුරුදු හයක් විතර කටයුතු කරන්න ලැබුණා. ඉන් පසුව තමයි රංගන ක්ෂේත්‍රයට ආවේ. පසුව සිරස ‘මිරර්’ වැඩසටහනේ නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. ඊටත් අමතරව සිරසෙම සස්ටජන් ජූනියර් මාස්ටර් වැඩසටහනත් කළා. එයින් පසුව මට ලැබුණු පළමු රියැලිටි වැඩසටහන තමයි සිරස ඩාන්සින් ස්ටාර්.”
කොහොම ද මේ අත්දැකීම? සිරස ඩාන්සින් ස්ටාර්?
“සිරසට අවශ්‍ය වෙලා තියෙන්නේ සම්ප්‍රදායයෙන් ටිකක් එහාට ගිහින්, නව්‍යකරණය සමග නෙක්ස්ට් ලෙවල් එකේ වැඩක් කිරීමටයි. ඉතින් මේක රෙවලූෂන් (Revolution) විදිහෙ රියැලිටි ප්‍රයත්නයක් කිව්වොත් හරි. ඉතින් ජාත්‍යන්තර ලෙවල් එකේ වැඩසටහනක් නිසා, පිටපත් කටපාඩම් කරගෙන මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න බැහැ. පෙර සූදානමක්, අවබෝධයක් ඇතිව කළ යුතු වෙනවා. ලංකාවේ රියැලිටි වැඩසටහන් වෙනුවෙන් ‘ටික්ටොක්’ (tiktok) නිල එන්ටර්ටේන්මන්ට් පාට්නර් හෙවත් සහකරු ලෙස ගිවිසුම්ගත වෙලා සිටිනවා. ඒ නිසා ඒ සියලු දේ වටහාගෙන, නිවේදන කටයුතු කිරීම මගේ ලොකු වගකීමක්. ‘ටික්ටොක්’ එලෙසින් සිරස ඩාන්සින් ස්ටාර් සමග ගිවිසුම්ගත වීම ඇත්තටම විශාල අවස්ථාවක්. සමස්ත නිෂ්පාදන මඬුල්ල ලබා දී ඇති ගයිඩ්ලයින් අනුව, ඒ තැනේ හැටියට සහ රියැලිටි ස්වරූපය හඳුනාගෙන කළ යුතුයි. සම්ප්‍රදායිකව ඩාන්ස් නොවන නිසා, ඒ ගැනත් අවබෝධයක් තියාගෙන තමයි නිවේදන කටයුතු කරන්නේ.”
රශී නර්තනය හදාරලා තියෙනවා ද?
“නර්තනය හදාරලා තියෙනවා. ඒ නිසා ඒ අවබෝධයත් තියෙනවා. මේක ඇත්තටම හරිම එන්ටර්ටේනින් රියැලිටි වැඩසටහනක් ලෙසයි මට දැනෙන්නේ. කලින් වැඩසටහන්වලදී කළ මගේ නිවේදන ශෛලියට වඩා මෙහිදී මගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය වෙනස්. ඒ වෙනස නොකළොත් මම අසාර්ථක වෙනවා. ඒ නිසා මුලින් මේ වැඩසටහන මම වින්දනය කරනවා. ඒ වගේම ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වැඩසටහන මෙහෙයවන්න බැහැ. රියල්ම විදිහට කළ යුතු වෙනවා. ඒක බොහොම ස්වභාවික විය යුතුමයි.”
රශී ප්‍රභා, රඟපෑ නාට්‍ය මොනවා ද මේ දිනවල විකාශය කෙරෙන?
“ ‘සිහින ගෙනෙන කුමාරියේ’ නාට්‍යය ඉවර වුණා. දැන් ‘මාව මතකද’ නාට්‍යය විකාශය වෙනවා. සැප්තැම්බර් මාසයේ ඉඳලා පටන්ගන්නා ෆිල්ම්ස් තුනක රංගනයට එක්වී සිටිනවා.”
රශීගෙ ප්‍රේමය – ආදරය?
“බොහොම සුන්දර දෙයක්. හරි දේ ලැබුණාම තමයි ජීවිතය සුන්දර වෙන්නේ. මම හිතන්නේ ආදරය විඳින හොඳම කාලය තමයි මේ.”
සඳුන් ගමගේ