අවුරුදු තිහකට පස්සේ ආයෙත් හිටි වෙච්ච ජ්‍රඩිගෙ සිංදුව


මගෝරිසා සී සී බසාරේ සෙල්ලං
බම්බලපිටියේ පේමන්ට් එක අයිනේ
රෑට අපි මාර බිසි. පාර දිගේ සෙට්වෙලා.....
අසූ තුනේ බම්බා ජන්ක් එකේ

මේ ගීතය ලියුවේ සහ සංගීතවත් කළේ තිලක් ඩයස්. එතකොට මේ ගීතය ගායනා කළේ 1996දී එවකට වගේම අදත් ජනප්‍රිය සංගීත වේදිකාවේ ජනප්‍රිය ගායිකාවක වන ජූඩි ද සිල්වා.

ඇය මේ ගීතය ගැයුවේ එවකට ඇයගෙ සංගීත කණ්ඩායම වෙච්ච Eternal Soul බෑන්ඩ් එක එක්කයි. 96 සිට බැලුවොත් 2026 කියන්නෙ අවුරුදු 30ක්. ඉතින් මේ ගීතය ගයලා අවුරුදු තිහකට ආසන්න වෙද්දි ආයෙමත් ‘මගෝරියා සී සී බසාරේ’ පත්තුවෙලා තියෙනවා. ඒ කියන්නෙ  හිට්වෙලා තියෙනවා. හරිම විදිහට කිව්වොත්, නැවතත් ජනප්‍රිය රැල්ලේ ගීතයක් වෙලා. විශේෂයෙන්ම සෝෂල් මීඩියාවල අය එයාලගෙ කන්ටේන්ට්වලට යොදාගන්න ගීතයක් වෙලා. මේක ආයෙමත් කොහොමද වුණේ?

ඒ ගැන දැනගන්න අපි ජූඩිට කතා බහකට ආරාධනා කළා.

ජූඩි කොහොම ද ජීවිතේ?

ජීවිතේ හොඳයි. හොඳින් ඉන්නවා. ගායන වැඩකටයුතු සහ සංගීත වැඩකටයුතු කරගෙන හොඳින් ඉන්නවා.

අද ප්‍රසංගවලට ජූඩිට තියෙන ඉල්ලුම මොන වගේද?

අවශ්‍ය කට්ටිය එදා වගේම අපිව ප්‍රසංග සහ සංගීත වැඩසටහන්වලට දායක කර ගන්නවා. එදා ඉඳල අපට කැමති පිරිසකුත් ඉන්නවනෙ. පිටරට සංචාරවලටත් ආරාධනා ලැබෙනවා.

තවම කටහඬ නම් එදා වගේම ලස්සනයි. ප්‍රේමාන්විතයි කියලා තමයි රසිකයින් කියන්නෙ?

ඒ විදිහට එයාලට දැනෙනව නම් ඒක සතුටක්.

ජූඩි ගැන අද ආයෙත් බොහෝ දෙනා කතා කරන්න පටන් ගෙන, ඒකට හේතුව කියමු?

96දී ඉටර්නල් සෝල් මගේ සංගීත කණ්ඩායම එක්ක ගැයූ ‘‘මගෝරිසා’’ ගීතය නිසයි ආයෙත් වැඩි දෙනෙක් කතා කරන්නේ. මේ ගීතය කවර් Song එකක් විදිහට දෙන්නෙක් කරලා, සෝෂල් මීඩියා දාලා තිබුණා. ඉතින් ඒක වයිරල් වුණාට පස්සේ තමයි ආයෙත් මේ ගීතය ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තෙ. ප්‍රගීත් සහ මනු යන තාත්තයි - දුවයි තමයි මේ විදිහට Cover Song එක ගයලා තිබුණේ. ඒ දෙන්නා ඉන්නෙ ඉතාලියෙ. මේක වයිරල් වුණාට පස්සෙ එයාලා මේ ගීතයේ සංගීතය සහ රචකයා වන තිලක් ඩයස්ට කතා කරලා තිබුණා. තිලක් මට කතා කරලා කිව්වා. කොහොමහරි මට නම් ප්‍රශ්නයක් නැහැ, හොඳ දෙයක්නෙ වෙලා තියෙන්නේ.

ඔබගෙ ගීතයක් මේ විදිහට නැවතත් කරළියට ඒම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?

මට තියෙන්නෙ සතුටක්. එයාල තවම මට කතා කළේ නැහැ. ඒත් මේ විදිහට වයිරල් වීම ගැන මට සතුටුයි. එදා මම සහ මගේ බෑන්ඩ් එක කළ ගීතයක් මේ විදිහට නැවත කරළියට ඒම සතුටක්. ජූඩි විත් ඉටර්නල් සෝල්’’ කියලා තමයි එදා අපි කට්ටියම ඒ ගීතය ගායනා කළේ.

පසුගිය කාලයේදී ජූඩි මේ ගීතය ගැයුවෙ නැද්ද? ප්‍රසංගවලදී එහෙම?

නැහැ.

ආපහු මේ ගීතය ගයන්න ඕනෑය කියලා අදහසක් තිබුණෙත් නැද්ද?

ඇත්තම කිව්වොත් මම මීට අවුරුද්දකට විතර පෙරදි නැවතත් මේ ගීතය රෙකෝඩ් කරන්න හිතාගෙන හිටියේ. තිලක්ටත් මම කියලා තිබුණේ. ඒත් කරමු කිව්වට අපි කළේ නැහැ. ඒ නිසා මේ ගීතය මේ විදිහට ගිය එක ඇත්තටම හොඳයි. අලුත් පරම්පරාවනෙ සමාජ මාධ්‍යයේ වැඩිපුර ඉන්නෙ. ඒක ටික් ටොක් කරලා වයිරල් කරන අයටත් ස්තුතියි කියලා කියන්න ඕනෑ.

ඒ හැමෝම දන්නවද මේ ගීතය ජූඩිගෙ කියලා?

වැඩි දෙනෙක් දන්නවා. ඒත් සමහර අය හිතන්නෙ මේක අලුතින් කළ ගීතයක් කියලයි.

එදා 96දී ජූඩිලාට මේ ගීතය නිසා ලැබුණු ප්‍රතිචාර කොහොම ද?

මේ විදිහෙම ප්‍රතිචාර තමයි එදත් ලැබුණේ.

මොනව ද මේ වචන, අපෝ මේවා සිංදු ද? එහෙම කියලා ඒ කාලයේ මිනිස්සු බැන්නෙ නැද්ද?

බනින්නත් ඇති. ඒත් අද වගේ ප්‍රතිචාර දක්වන්න සෝෂල් මීඩියා තිබුණෙ නැහැනෙ. ඒ නිසා බැන්නත්, නොබැන්නන් අපි ඒවා දන්නෙත් නැහැ. ටී.වී. එකේ වගේම රේඩියෝ එකෙත් ගියා. ඒත් අපට බැන්නද කියලා නම් දන්නෙ නැහැ. කවුරුවත් අපේ මූණට දොස් කිව්වෙත් නැහැ. ඒ දවස්වල හොඳ ඉල්ලුමක් තිබුණු ගීතයක්.

ඇත්තටම මොකක්ද මේ ගීතයෙන් කියැවෙන්නෙ?

අසූවේ, අනූවේ දශකයේ වැඩි දෙනෙක් හැන්දෑවට එකතු වුණු තැනක් තමයි බම්බා හෙවත් බම්බලපිටිය. අපි ෆයිව් ස්ටාර් හෝටලයක ෂෝ එකකට ගියත්, කානිවල් එකක සිංග් කරන්න ගියත්, ෂෝ නරඹන්න ගියත් හැන්දෑවට ඇවිත් රෑ වෙනකල් බම්බලපිටියෙ එකතුවීම පුරුද්දක් කරගෙන හිටියා. කොහෙන් කාලා බීලා ආවත්, බම්බලපිටියෙ නයිට් කඩවලින් කාලා බීලා යන පුරුද්දක් තිබුණා. අපිත් කොත්තු රොටි එහෙම කන්න පුරුදුවෙලා හිටියා. පංති භේදයකින් තොරව හැමෝම වගේ ඒ රෑ කඩ ළඟ නතරවෙලා කාලා බීලා ගිය අවස්ථා තිබුණා. ෂෙහාන්ලා එක්ක සිංග් කරන කාලයේදී තමයි මාත් ගියේ.

අදටත් ජූඩි ඒ වගේ තැන්වලට යනව ද තේ බොන්න එහෙම?

ඔව්. අදටත් යන අවස්ථා තියෙනවා.

එහෙම ගියාම ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

දැන් සිටින පරම්පරාවේ අය, එහෙම ඇවිත් එක පාරටම අපිව වටකර ගන්නෙ නැහැ. සමහර අය අපිව දන්නෙත් නැහැ. අපේ Eternal Soul Band එක විසිරිලා ගියේ 1998දී. අද වන විට මම දායක වන්නෙ Solo Artists කෙනෙක් විදිහටයි. එතෙර මෙතෙර ප්‍රසංගවලට යන්නෙ ඒ විදිහටයි.

ජූඩි අද කාලයේ ඇහෙන සිංදුවලට කැමති ද?

එහෙම කාලයක්  කියලා නැහැ. මූඩ් එක අනුව ඒ අවස්ථාවට ගැළපෙන ගීත අහනවා. අනූව දශකයේ ගීතවලට ටිකක් වැඩිපුර කැමැත්තක් තියෙන්නේ. අලුත් ගීත අතරේ ලස්සන ගීත තියෙනවා. ඒත් අපි පුරුදු වෙච්ච විදිහ වගේම මතකයන් එක්ක හුරු වූ ගීත තියෙනවා. ඒවාට වැඩිපුර කැමතියි.

මේ හමුවේදී ජූඩිට තවත් මොනව ද අපට කියන්න තියෙන්නෙ?

සමහර අය හිතන්නෙ මම සම්පූර්ණයෙන්ම සංගීතයෙන් අයින්වෙලා කියලයි. ඒ වගේම සමහර අය හිතන්නෙ මම ඉන්නෙ පිටරට කියලයි. 1998දී පිටරට ගිහින් ඉඳලා ආපහු ආවා. 2001 ඉඳලා දිගටම සිටියේ ලංකාවේ. එදා ඉඳලම සුපුරුදු විදිහට ෂෝවලට යනවා. පිටරට සංචාරවලට යනවා. සුපුරුදු විදිහටම මගේ සංගීත කටයුතු සිදුවෙනවා. ගායනය නවතා දමා නැහැ. අදටත් සංගීත කටයුතු වෙනුවෙන් එදා වගේම කාර්යබහුල වන අවස්ථා තියෙනවා.

සඳුන් ගමගේ