අභ්‍යවකාශ නැවතුම්පොළට අද්භූත ජීවියෙක් ඇවිල්ලා


 

කටක් නැති, බඩක් නැති, ඇස් නැති අමුතු අපූරු ජීවියෙක් පසුගිය දා අභ්‍යවකාශ නැවැතුම්පොළට ළඟා විය. නැහැ. මේ ජීවියා පිටසක්වළ ජීවියකු නම් නොවෙයි. පෘථිවි ජීවියෙකි. සත්ව විද්‍යාඥයන්ට සැබෑම ප්‍රහේලිකාවක් සහ අබිරහසක් වුණු මෙම ජීවියා දිලීරයකි. එසේත් නැතිනම් පුස් වර්ගයකි.   


කටක්, බඩක් සහ ඇස් නැති වුණත්, ආහාර සොයා ගන්න සහ ආහාර ජීරණය කර ගන්න මේ ජීවියාට හැකිය. වැදගත්ම දේ එය නොවෙයි. මේ ජීවියාට ‘ඉගෙන ගැනීමේ‘ හැකියාවක් තිබීමය.   


කහ පැහැති දිලීරයක් වන මෙම ජීවියා නම් කර ඇත්තේ ‘බ්ලොබ්‘ යනුවෙනි. ‘බ්ලොබ්‘ පැරිස් සත්ව උද්‍යානයේ ප්‍රදර්ශනයට තබා ඇත.‍   


සාමාන්‍යයෙන් අප ජීවීන් වර්ගීකරණය කරන්නේ ගැහැනු සහ පිරිමි ආදී වශයෙනි. එහෙත්, ඇතැම් ජීව විශේෂ කිහිපයක් (ගෙඹි විශේෂ සහ මසුන්) ගැහැනු පිරිමි වෙනස් කර ගනිමින්, ලිංග පෙරැළිවලට ලක්වෙති. මෙම අමුතු ජීවියා ‘බ්ලොබ්’ ට එකිනෙකට වෙනස් ලිංගික පෙරැළි 720ක් ඇති බව සත්ව විද්‍යාඥයන් හඳුනා ගෙන තිබේ. පාද එසේත් නැතිනම් ගාත්‍රා නොමැති නමුත් ‘බ්ලොබ්’ ට එහෙ මෙහෙ යා හැකිය. කැපුම් තුවාලයක් වුණොත්, ඒ තුවාලය සුව වී කැපුණු කොටස් දෙක යළි එක්වෙයි. පැරිස් සත්වෝද්‍යානයට එක්වුණු නවතම සත්වයා ලෙස ‘බ්ලොබ්‘ හැඳින්විය හැකිය.   


යුරෝපා අභ්‍යවකාශ ආයතනය මැදිහත් වී, සත්වෝද්‍යානයේ සිටින ‘බ්ලොබ්‘ගෙන් එක් කොටසක් වෙන් කර එය අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම කළේ පර්යේෂණ රැසක් කිරීමේ අපේක්ෂාවෙනි. ශුන්‍ය ගුර්ත්වයේ ‘බ්ලොබ්‘ කෙසේ හැසිරෙනු ඇතැයි නිරීක්ෂණය ඒ අතරින් වැදගත් වෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති පර්යේෂණාගාරයේ පර්යේෂණ කීපයකට ‘බ්ලොබ්‘ සම්බන්ධ කර ගැනීමට මේ වනවිට එහි රැඳී සිටින ගගනගාමීන් බලාපොරොත්තු වෙයි.

 

 

ලු‍සිත ජයමාන්න   
රොයිටර් ඇසුරිනි