ප්‍ර අමන්ද්‍යා - අලුත් නිර්මාණය ගැන මුලින්ම අපට කියන්න.
“මගේ අලුත් නිර්මාණයMonta Re. ඒකmashup එකක්. ඇත්තම කිව්වොත් මට මේ අලුත් නිර්මාණය ගැන ගොඩාක් සතුටුයි. හැම දෙනාම අද වෙද්දී ඒ ගැන කතා කරනවා. මට සුභ පතනවා. මට වෙනසක් ඇති කරන්න ඕන වුණා. මේ දින කීපය තුළ ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒ වෙනස මම කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මේක ජන ගී ආශ්‍රිතව කරපු mash up එකක්. Lootera කියන හින්දි සිනමා පටයක තියෙන ගීතයකුයි සිංහල ජන කවියකුයි මිශ්‍ර කරලා තමයි මේ නිර්මාණය කළේ. මම තෝරා ගත්ත ගීතය බෙංගාල ජන සංගීතය ආශ්‍රිත නාද මාලාව පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ. බෙංගාල ජන සංගීතයෙයි ලංකාවේ ජන සංගීතයෙයි හඬවල් වල යම් ළඟ සමීපකමක් තියෙනවා. ලංකාවේ ජන ගීය ප්‍රවර්ධනය කරන්න, ඉදිරි පරම්පරාවට ඒ සංගීතය ගෙනයන අරමුණක් මගේ තිබුණා. ඒ වගේම අපේ හඬ ලංකාවෙන් එළියට ගෙනියන්නත් ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදියට මම මේ නිර්මාණය හඳුන්වනවා.”
ප්‍ර මෙවැනි ගීත බොහොමයකින් මේ ගීතය තෝරා ගන්න හේතුවක් තිබුණද...?
“මේ ගීතයෙ Cover vercion එකක් තමයි මම මුලින්ම ඇහුවේ. ඒ ගීතය ආපු මුල්ම දවසෙම පුදුම විදියට හිතට දැනුණා. ඒ වගේම මම ඒ ගීතය කිහිප දෙනෙකුටම අහන්න සලස්වද්දී හැමෝමත් ඒ ගීතයට ගොඩක් ඇලුම් කළා. ඒ ගීතයේ තියෙන සරල බවට, ඒ ජන සංගීතයේ තියෙන ඒ ජන ආරය මිනිස්සුන්ට දැනේවි කියලා මම විශ්වාස කලා. ගීතය කරද්දිත් අපේ සංගීත හඬ, ඒ සරල වචන ඇහෙද්දි මිනිස්සුන්ට දැනුණා. ඒ වගේම මේ ගීතයේ තනු නිර්මාණයත් හරි ආකර්ෂණය වුණා. ඒකත් එක්ක මේ ගීතය දැනේවි කියලා මට හිතුණා.”
ප්‍ර ඒ භාෂාව අමන්ද්‍යා ට මුලදී නුහුරු ඇති. ඒකට හුරු වුණේ කොහොමද...? ඒක අභියෝගයක් නේද...?
“මම ඒ ගීතය ගායනා කරන්න කලින් ඒ වචන හොඳට ඇහුවා. ඒ වචන උච්චාරණය කරන විදිය බැලුවා. මට ඉන්දියන් යාළුවන් කිහිප දෙනකුම ඉන්දියාවේ ඉන්නවා. ඒ වගේම මගේ යාළුවන් ගේ යාළුවොත් ඉන්නවා. මම ඒ ගීතය ගායනා කරලා මුලින්ම ඒ ඉන්දියන් යාළුවන්ට වගේම බෙංගාල යාළුවෙකුටත් අහන්න සැලැස්සුවා. "ඔයා ගේ වචන උච්චාරණය නියමයි, නිවැරදියි" කියලා ඒ අය මැසේජ් එව්වා. ඒ අදහස් ඇහුවාම මට පුදුම සතුටක් දැනුණා. ඔවුන් මගේ උච්චාරණය ගැන වැඩිපුර වර්ණනා කලා. ඒ නිසා ඒ අභියෝගය ජයගන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.”
ප්‍ර මේ කොපමණ කාලයක සිට ගත්තු මහන්සියක ප්‍රතිඵලයක් ද...?
“මේක අපි මාස දෙක තුනක් මහන්සි වෙලා කරපු වැඩක්. මුලින්ම මේ ගීතයත්, ජන ගීතයත් ගෙන මෙවැනි නිර්මාණයක් කරන්න ඕන කියලා හිතලා සංගීත සංයෝජන කටයුතු වලට බාර දෙද්දී ලංකාවේ බෙරය සහ කංජිරා (kanjira )කියන ඉන්දියානු බෙරය සඳහන් කර ගෙන මේ ගීතයේ මුසු කරන්න අවශ්‍ය වුණා. ඒ අනුව අපිට ලස්සන සංගීත සංයෝජනයක් කරන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් රුසිරු රූපසිංහ අයිය ව ඉතා ආදරෙන් මතක් කරනවා. මට ඕන විදියටම ලස්සන හඬක් ඇහෙන විදියටම කරලා දුන්නා. රූප රචනාව කරන්න කලින් මම කිහිප දෙනෙක් එක්ක මේ නිර්මාණය රූප රචනා කිරීම සම්බන්ධයෙන් කතා කළා. විවිධ සංකල්ප කතා කළා. හැබැයි මගේ ඇහැට අවශ්‍ය විදියට මෙය කිරීම සම්බන්ධයෙන් විශ්ව බාලසූරිය අයියා හරියටම තේරුම් ගත්තා. අපි මේ නිර්මාණයේ තියෙන ලොකේෂන් එකට පෙර බොහෝ තැන් බලන්න ගියා. දියඇලි ගානෙ ගියා. දවස් දෙක තුනක අපි චාරිකාවක් විදියට තැන් බොහොමයක් බලන්න ගියා. අවසානයේ දී මේ ලස්සන තැන ලැබුණා. මේ බොහෝ දෙනෙක් එකතුවෙලා කරපු ලස්සන නිර්මාණයක්. එක දවසකින් අපි මේ ගීතය රූගත කිරීම් කරලා අවසාන කළා. මේ වෙනුවෙන් සහන් රන්වල සර් වගේ ම මෙලනි රන්වල මිස් ගොඩක් උදව් කළා. ඔවුන්වත් ඉතා ආදරයෙන් මතක් කරනවා.”
ප්‍ර මේ දින කිහිපය තුළ ලැබුණු ප්‍රතිචාරය ගැන මොකද හිතෙන්නේ ?
“ගොඩක් සතුටුයි. මගේ ජීවිතයේ "රැජිනට ඇන්දා" ගීතයට පස්සේ ගොඩක් වෙනස් වුණා. මිනිසුන් ගේ ආදරය සෑහෙන්න ලැබුණා. මම ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා මට දැනුණා. විශේෂයෙන් මේ මගේ ආදරණීය රසික රසිකාවියන් තියපු ආදරේ මට කඩන්න බැහැ. ඒ නිසාම මට වැඩක් කරනව නම් හරිම උනන්දුවෙන් මහන්සි වෙලා ඒක කරන්න ඕන වුණා. මේ අවුරුද්දේ මුල සිට ගීත දෙකක් කරන්න මම සෑහෙන උත්සාහයක් ගත්තා. නමුත් සංගීතඥවරුන් ගේ කාර්ය බහුලත්වය නිසා ඒක කර ගන්න බැරි වුණා.”
ප්‍ර අමන්ද්‍යාගේ ආදරණීය පියා ගිරිරාජ් කෞෂල්‍ය . ඔහු මේ ගීතය ගැන මොකද කිව්වේ..?
“මේ ගීතයේ රූප රචනා කරලා සංස්කරණය කරලා මුලින්ම ආපු ගීතය මම තාත්තට යි අම්මට යි පෙන්නුවා. ඒ ගීතය අවසාන වෙද් දී ප්‍රසංගයක් බලලා අවසන් වෙනවා වගේ තාත්තා හරි ආසාවෙන් අත්පුඩි ගැහුවා. එදා තාත්තා ගොඩක් සතුටු වුණා. මේ නිර්මාණයේ දී තාත්තා ගේ අසනීප තත්ත්වය නිසාත්, අම්මා තාත්තාව බලා ගෙන හිටපු නිසත්, අම්මට යි තාත්තට යි හැම වෙලේම මට උදව් කරන්න බැරි වුණා. හැබැයි හැම මොහොතකම ඒ දෙන්නා ගේ ආශිර්වාදය ලැබෙනවා. රූගත කිරීම් කරන දවසේ දෙන්නම ඇවිත් ඒ දිහා බලාගෙන හිටියා. තාත්තා ඈතට වෙලා රූගත කිරීම් කරන දිහා බලා ගෙන හිටියා. තාත්තා අපිට වඩා සෑහෙන අත්දැකීම් තියෙන කෙනෙක්. හැබැයි තාත්තා කිසිම වෙලාවක අනවශ්‍ය ඇඟිලි ගැසීම් කළේ නැහැ. ඒ නිදහස තාත්තා අපිට දුන්නා. රූගත කිරීම් අවසාන වුණාට පස්සේ "හරිම සතුටුයි හොඳට කෙරුණා" කියලා තාත්තා කිව්වා.”
ප්‍ර අමන්ද්‍යා වැඩියෙන් කැමති ඔයා තුළ ඉන්න ගායිකාවට ද රංගන ශිල්පිනියට ද...?
“මම රඟපාන්න වැඩිපුර කැමතියි. හැබැයි මම ගීත ගායනා කරනවට තාත්තා වැඩිපුර කැමතියි. පුංචි කාලේ ඉඳන් ගීත ගායනා කරපු නිසා රඟපාන්න ලැබෙන දෙයින් ලොකු තෘප්තියක් ලබනවා. මේ දිනවල මම ජාතික රූපවාහිනියෙ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ "ආදරණීය මිනිසෙක් "ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. එයටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ෂ්‍යාම් ප්‍රනාන්දු සර් යටතේ රංගනයත් හදාරනවා.”
ප්‍ර අමන්ද්‍යා තුළ සිටින නර්තන ශිල්පිනිය ගැනත් කතා කරමු...?
නර්තන ශිල්පිනියට ඉහළට එන්න ලැබෙන්නේ නැති තරම්. නර්තන ශිල්පිනිය මගේ ජීවිතයෙන් යට ගිය චරිතයක්. පුංචි කාලේ මම නර්තනයට හැකියාවක් තියෙනවා කියලා හිතුණා. මම ආස කළා. ඒ නිසා දින කීපයක්ම නර්තන පන්ති ගියා. හැබැයි විවිධ හේතු නිසා ඒක මග හැරුණා. රන්වල බළකායට එකතු වුණාට පස්සේ ඇතැම් වෙලාවල ට නර්තනය කරන්නත් ලැබුණු අවස්ථාව නැතුවාම නෙවෙයි.
ප්‍ර ඊළඟ ගීතය කවදා අහන්න දකින්න ලැබෙයි ද...?
ඊළඟ ගීතය අනිවාර්යයෙන්ම දෙසැම්බර් අවසන් වීමට පෙර ලබා දෙන්න පොරොන්දු වෙනවා.
දිශානි ජයමාලි කරුණාරත්න