අපි දෙන්නගේ අදහස් පරස්පර විරෝධීයි - ධනංචය සිරිවර්ධන


අද අයියයි -මල්ලියි විශේෂාංගයට අප කැඳවූයේ මේ රටේ ප්‍රකට කලා පවුලක අයියා-මලෝ දෙදෙනෙකි. ඉතින් මේ දෙදෙනා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න ඕනෑ නැහැනේ.. අපි කෙළින්ම විශේෂාංගයට එක්වෙමු. හැබැයි ධනංජය එක්ක විතරයි. මධු සිටින්නෙ එංගලන්තයේ. එයා දැන් එහේ රැකියාවක් කරමින් ජීවත්වෙන බව තමයි ආරංචිය. අපි බලමු අයියයි-මල්ලියි විශේෂාංගයට මධු ගැන ධනා කියන්නෙ මොනවද කියලා.

ප්‍ර ධනා පවුලේ කී වැනියද?

අයියලා දෙන්නයි මමයි. අයියලා දෙන්නාම මට වඩා ගොඩාක් වයසින් වැඩියි. ඒ නිසා කුඩා කාලයේදී ඒ දෙන්නාගේ මල්ලී කෙනෙකුට වඩා මම හරියට එයාලගෙ දරුවෙක් වගේ වුණා.

ප්‍ර අතීත මතක අතරට යමු, මධු අයියා එක්ක කළ කී දේ අතරින් මුල්ම මතකය එන්නෙ?

එයාලට වඩා වයසින් බාල වෙච්ච නිසා එයාලා මාව සෙල්ලම් කරන්න ගත්තෙත් පොඩිම ළමයකු ගාණටයි. ඒ නිසා හුරතලය එක්ක හැදී වැඩුණ කෙනෙක් මම. මට මතකයි නුවර සිටියදී  අපි ඔක්කොම එකතුවෙලා ක්‍රීකට් ගහපු හැටි. තාත්තාත් අපි එක්ක ක්‍රිකට් ගහන්න ආවා. අපේ තව නෑදෑ පිරිසකුත් හිටියා.  ඒ සෑම තැනකදීම එදා මට එයාව පෙනුණෙ, හරිම දඩබ්බරයකු විදිහටයි. හරිම ඇග්‍රසිව් අයියා කෙනෙක් විදිහටයි මම එයාව දැක්කෙ.

ප්‍ර කුඩා කාලයේදී වු සිදුවීම් අතරින් අමතකම නොවන මතක මොනවද?

එයා විවාහ වෙද්දී මම හරි පොඩියි. නිල්මිණි අක්කාව විවාහ කරගෙන එයා කැලණිය පැත්තෙ පදිංචියට ගියා . අපේ හිතවත් ඩයස් අයියාලාගෙ ගෙදරට අයත්, ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ තමයි නිල්මිණි අක්කයි - මධු අයියයි ඒ දිනවල පදිංචි වෙලා හිටියෙ. අපි ඉතින් ක්‍රිකට් ගහන්න වගේම නරඹන්නත් හරිම ආසයි. එදා ලෝක කුසලාන තරගයක් නරඹන්න මාත් මධු අයියලාගෙ එපාර්ට්මන්ට් එකට ගිහින් හිටියෙ. එහි යට තට්ටුවේ තිබුණේ, වෙඩින් හෝල් එකක්. ඒ කියන්නෙ උත්සව ශාලාවක්. එදා ටී වී ඇන්ටෙනාව හරියට වැඩ කළේ නැහැ. ඒ නිසා ඉනිමගක් එහෙම හොයාගෙන අපි ඒක හදන්න පටන් ගත්තා. මම ඉනිමග උඩ, අයියා ඒක අල්ලාගෙන යට. කොහොමහරි එක පාරටම අපි දෙන්නා වෙනම ග්‍රහලෝකයකට ගියාක් මෙන්, වෙනම තැනකට පතිත වුණා. අයියා ඉනිමග අල්ලාගත් ස්වරූපයෙන්ම ඉන්නවා, මම ඇන්ටෙනාව හදන අයුරින් සිටිනවා.  හැබැයි අපි ඉන්නෙ මංගල උත්සවයක් මැද. ඔක්කෝමලා තුෂ්නීම්භූතව අපි දිහා බලාගෙන. මනාල යුවළට පණ යන්න හිනා. එයාලගෙ ඇරයුම් නැතුව ආව මේ අමුත්තෝ දෙන්නා දිහා මුළු පිරිසම බලාගෙන. අයියා එතකොට රටේම ජනප්‍රිය චරිතයක්. දෙන්නා තුවාල වෙලා ලේ පෙරෙනවා. ඒත් මේ සිදුවීම නිසා දෙන්නාටම හිනා. ඒ වගේම ලැජ්ජාවෙන් මූණු රතුවෙලා. අන්තිමට තුවාලවලට මැහුම් දාන්නත් වුණා. ඒත් ඒ සිදුවීම නම්, කවදාවත් අපට අමතක වෙන්නෙ නැහැ. ඒ පිරිස අදටත් ඒ ගැන මතක් කරලා හිනාවෙනවා ඇති.

ප්‍ර ඒ කාලයේදී රණ්ඩු එහෙමත් කරගෙන ඇති?

ඒ කාලයේදී විතරක් නෙවෙයි. කොයි කාලයේදීත් රණ්ඩු සරුවල් වුණා. ඒකට හේතුව අපි දෙන්නගෙ අදහස් පරස්පර විරෝධීවීම නිසයි. අතින් පයින් ගහගත්තෙ නැහැ. හැබැයි ලොකුවට වාද විවාද වුණා. එයා දේශපාලනයට ආවාමත් ඒ වාද විවාද තිබුණා. එයා දේශපාලනයට ඒම ගැන මගේ කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි එයාගේ ඒ ගමනට මම උදවු කළත්, මත ගැටුම් නිරන්තරයෙන්ම තිබුණා. ඒත් එයා දැඩිවම හිටියෙ ඒ මතයෙ. අපි දෙන්නා එක වගේ හිතුවෙ නැහැ. එහෙම වුණ එකත් හොඳයි. සහෝදරයො කියලා එකම මතයෙ ඉන්න ඕනැ නැහැනෙ.

ප්‍ර ඒ සහෝදර බැඳීම ධනා දකින්නෙ මොන විදිහටද?

එදා මාව ඉස්කෝලෙ එක්කගෙන ගියේ එයා. එතකොට එයා හිටියෙ ඉහළ පංතිවල. හැබැයි මාව උදෙන්ම පාසලට ඇරලවලා. ගේට්ටුවෙන් ඇතුළට මාව දාලා එයා වෙන වෙන රවුම් ගහන්න යන්න ඇති. එයාගේ යාලුවෝ එහෙම හම්බවෙලා හතරවටේ කරක් ගහලා පාසලට එන්න ඇති. මම පොඩි එකා නිසා ඒවා එච්චර තේරුණේ නැහැ. මම පොඩි නිසා එයාගෙ වළබැහිල්ලට මාව එක් කරගත්තෙ නැහැ.

ප්‍ර මධුගේ මල්ලී කියලා අනෙක් ළමයින්ගෙන් පිළිගැනීමක් ලැබෙන්න ඇති?

ඔව්, ඔව් අයියා නිසා ඉස්කෝලෙදී මට පිළිගැනීමක් ලැබුණා. අනෙක් ළමයින් මට විහිළුත් කළා. අයියා ඉහළ පංතිවල සිටි ජනප්‍රිය චරිතයක්.

ප්‍ර පසු කළෙක එයා සිංදු කියු හැටි බලන්නත් ගියාද?

මම විතරක් නෙවෙයි. අපේ පවුලම ගියා. ඒ දවස්වල අපට නිල් පාට වෑන් එකක් තිබුණෙ, ඒකේ පිටුපසම සීට් එක අයින් කරලා පැදුරක් එළලා තිබුණෙ. පැදුර එළලා තිබුණෙ මට නිදා ගන්න. මට මතක විදිහට අනුරාධපුරයේ ෂෝ එකට සහභාගී වෙලා, කොළඹ දක්වා එක දිගට ෂෝ වලට එයා සහභාගී වුණා. ෂෝ විස්සක් විතර තිබුණ අවස්ථා තිබුණා. එදා එයා ස්ටේජ් එකට නගිද්දී මට මතකයි මාත් පැත්තකින් ස්ටේජ් එකට ගොඩවෙලා, සංගීත කණ්ඩායම එක්ක හිටපු හැටි.  සන්ෆ්ලවර් නීල් අයියා, අතුල අධිකාරී අයියා විතරක් නෙවෙයි ඒ සියලුම සංගීත කණ්ඩායම් අතර එදා මාව ජනප්‍රීයයි. වේදිකාවට ඇවිත් හිටපු පුංචි එකා මම වෙච්ච නිසා. හැබැයි පළවැනි ෂෝ එකේ අයියා සිංදු කියලා ඉවර වුණාම අපි කොත්තු කන්න පුරුදු වෙලා හිටියා.  මට කොත්තුවක් අරන් දුන්නාට පස්සෙ මම කළේ ඒක කාලා නිදා ගත්ත එකයි. එතැනින් මගේ වැඩ අහවරයි.  ආපහු ඇහැරුණේ පාන්දර ගෙදර ආවාමයි. එදා අපේ වාහනය පැදෙව්වෙ රමේෂ් කියලා අයියා කෙනෙක්. තාත්තයි-අම්මයි-මායි-ලොකු අයියායි ඔක්කෝම එදා මධු අයියාගෙ ප්‍රසංගවලට ගියේ ට්‍රිප් එකක් යනවා වගෙයි.

ප්‍ර අයියා ඒ විදිහට ජනප්‍රිය වූ පසුව ඔබ ඔහු ගැන වඩා සතුටු වූ අවස්ථාව?

ජනප්‍රියත්වය කියන දේ මට අමුතු මැජික් එකක් වුණේ නැත්තෙ අපේ ගෙදරට නිතරම කලා කරුවන් ආ ගිය නිසයි. ගායක ගායිකාවන් නළු නිළියන් ඒ දිනවල නිරන්තරයෙන්ම තාත්තා මුණ ගැහෙන්න ආවා. රූකාන්ත, අතුල, බොගෝඩ අංකල්, සමන් ද සිල්වා, ටෝනි හසන්, ඒ වගේ බොහෝ දෙනෙක් නිතරම ආවා තාත්තා කලා ක්ෂේත්‍රයේ අංශ කීපයකටම දායකවෙලා හිටියෙ. ඒ නිසා ඒ ස්වභාවය මට අමුත්තක් නොවුණත්, එකපාරටම මධු අයියා මුළු රටේම ජනප්‍රියවීම මට දැනුණෙ ඒක අමුතු විදිහටයි. අපි එක්ක සෙල්ලම් කර කර හිටිය ගෙදරින් කට්ටි පැන පැන හිටිය අයියා කොහොමද එක පාරටම මෙහෙම වුණේ කියන පුදුමය තමයි මට ඇතිවුණේ. තාත්තා කළ මියුසික් ප්‍රෝග්‍රම් එකකට පසුව එයා අතිශය ජනප්‍රිය වුණා. එයින් පස්සෙ එයාගේ ෂෝ එකක් එල්ෆින්ස්ටන් එකේ පැවැත්වුණා. ඒකේ එදා එයා ප්‍රාසාංගිකව ඉදිරිපත් කළ විදිහ මට ගෙන දුන්නෙ අමුතුම විස්මයක්. ඒ වගේම පුදුමයක්. එදා මධුමාදව කියන රැල්ල හැදුණෙ සහ ගෙදර දඟයා විදිහට හිටපු මධු අයියා රටේම ජනප්‍රීය වීම මට තදින්ම දැනුණා.

ප්‍ර අයියා තෑගි එහෙමත් ගෙනැල්ලා දෙන්න ඇති?

සමහර විට දෙන්න ඇති ඒත් මට මතක නැහැ. තෑගි දීලා නැහැ වගේ මතකයක් තියෙන්නෙ. තෑගි කෙසේ වෙතත් මට ලැබුණු තෑග්ගත් එයා ගන්න තරමේ දඟයෙක්. හැබැයි එයාට චොක්ලට් එහෙම ලැබුණාම කෑල්ලක් එයා කාලා මට ඉතිරි ඔක්කොම දුන්නා. ලොකු අයියා චොක්ලට් කොළය එකතු කළා. අපි ලොකු සල්ලිකාර පවුලක් නෙවෙයි. මගේ පුංචි කාලයේ ඉඳලම ඒ දෙන්නා මම වෙනුවෙන් ලොකු කැපකිරීම් කරලා තියෙනවා. හම්බ කළ දෙයක් තිබුණානම් ඒ දෙන්නා පොඩිම දරුවා හැටියට මට ඒවා දුන්නාය කියන මතකය තියෙනවා.  මධු අයියා විවාහ වන විටත් මම පාසල් යන දරුවෙක්. මම කොච්චර පොඩිද කිව්වොත්. ලොකූ ටයි එක්ක දාගෙන ලොකූ කමිසයක් ඇඳගෙන තමයි අයියගෙ වෙඩින් ඒකේ ෆැමිලි ෆොටෝ එකට හිටියෙ. ඒවා මට සුන්ඳර මතකයන්.

ප්‍ර ගෙදරදී ඔය දෙන්නා වැඩිපුර කළේ?

එතකොට අපි හිටියෙ මාළිගාවත්තෙ නිවාස සංකීර්ණයේ. විවේකය ලැබුණ සෑම වෙලාවකවම අපි කළේ ක්‍රිකට් ගහපු එකයි. එයාව එහෙම ලෙහෙසියෙන් අවුට් කරන්න පුළුවන් වුණේ නැහැ. හරිම හිතුවක්කාර, හරිම දඩබ්බර චරිතයක්. අපි දෙන්නා ටීම් දෙකක හිටියොත් එදා ඉතින් වලිම තමයි. හැබැයි ඉතින් කොලු කාලය කියන සමය එයා ඉතාම ප්‍රීතිමත්ව ගත කළ කෙනෙක්. එක අතකට ඒ වයසට එහෙම වෙන්න ඕනෑ. මටත් ඕනෑම දෙයකදි බයක් දැනුණෙ නැත්ත අපෙ අයියා ඉන්නවනෙ කියන දේ එක්ක ලොකු හයියක් තිබුණ නිසයි.

ප්‍ර එයා මේ මල්ලි ගැන විස්මයට පත් වු අවස්ථාවක් එහෙම සිහිපත් කරන්න පුළුවන්ද?

මගේ පළවැනි නාට්‍යය අශෝක හඳගමයන්ගෙ මේ පාරෙන් එන්න. ඒක මට මතකයි අපි ඔක්කෝටම ලොකු තිරයක පෙන්නුවා. එදා මම එයාටත් එන්න කිව්වා. මෙයා ටිකක් අදිමදි කළා. නෑ ඕන්නෑ.. බලමු බලමු කියලා හිටිය මෙයා අන්තිමට ඒක බලන්න ආවා. ඒ නාට්‍යය බැලුවාට පස්සෙ එයා ගෙදර ගියේ අර වෙනදා හිටපු අයියා විදිහට නෙවෙයි. ගෙදරට යනකම් කිසිම දෙයක් ගැන කතා කළේ නැහැ. ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි එයා කතා කළා. මාර වැඩක්නෙ මේකා කරලා තියෙන්නෙ. මම බයේ හිටියෙ මොනවා කරලා ඇතිද කියලා, හැබැයි, මාව ෂොක් වුණා සුදූ කරලා තියෙන වැඩේ දැක්කාම කියලා එයා අම්මටයි තාත්තාටයි කිව්වා. මම ජීවිතේට හිතුවෙ නැහැ මේ වගේ දෙයක් කරාවී කියලා මාව ඉහළින්ම අගැයුවා. අයියලා දෙන්නා මට කතා කරන්නෙ සුදු කියලයි. සුදු තමුසෙ නළුවෙක් ඈ.. ඇක්ට් කරලා තියෙනවා ඇක්ට් කිරිල්ලක් ආයේ කියලා වැඩක් නැහැ කිව්වා. එදා පළවැනි වතාවට තමයි එයා මාව වර්ණනා කළේ. ඒක තමයි මට ලැබුණ ලොකුම කම්ප්ලිමන්ට් එක.

ප්‍ර ගතිගුණ අතරින් මධු අයියාගෙ ධනා අකමැතිම දේ?

තව කෙනෙකුට ඇහුම්කන්දීමේදී මට හිතෙන්නෙ එයා නම්‍යශීලී නැහැ වගේ.ඇත්තටම එයා දේශපාලනය කරාට කමක් නැහැ. තව කාගෙන් හරි උපදෙස් අරගෙන කළා නම් වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ. අදටත් මම හිතන විදිහට ඉතාම දක්ෂ ගායකයෙක් සහ දක්ෂතාවයෙන් ඉහළ කෙනෙක්. ඒත් දේශපාලනයට කැප කළ කාලය නිසා, ඒ අපූර්වත්වය යට ගියා. ඒක හරි අපරාදෙ. මට වඩා විශාල ජන ආකර්ෂණයක් තිබූ කෙනෙක්. අනූව දශකයේදී එයාගේම යුගයක් හදා ගත්ත කෙනෙක්. නමුත් දේශපාලනය නිසා එයා ළඟ සිටි කලාකරුවා, ගායකයා එයා නැති කර ගත්තාය කියන හැඟීම මට තියෙන්නෙ.

සඳුන් ගමගේ