අපචාර චෝදනාවෙන් සිරගත වූ ඊශ්‍රායලයේ ජනාධිපති


කාන්තාවන් නිසා අමාරුවේ වැටුණු ලෝක බලවත්තු   

 

 

 

සියෝන් දේශය නමින් අතීතයේ වඩාත් ජනප්‍රිය වූ වත්මන් ඊශ්‍රායලය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේය. මිලියන 7.5ක් වූ ජනගහනයෙන් මිලියන 5.7ක් ම යුදෙව් ජාතීන් සිටින වටපිටාවක එරටින් එදා මෙදා තුර සිටි විශිෂ්ට දේශපාලනඥයින් අතුරින් බිහිවූ අපකීර්තිමත්ම නායකයකු වන්නේ ඊශ්‍රායලයේ හිටපු ජනාධිපති මෝෂේ කට්සව් ය. 


ඒ ඔහුට එරෙහිව එරට ඉහළම අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ස්ත්‍රී චෝදනාවලට වරදකරු බවට තහවුරු වීමත් සමගිනි. මීට අමතරව කාන්තාවන් දහ දෙනකු දූෂණය කිරීම සහ ලිංගික හිංසනය කිරීම සම්බන්ධයෙන් කට්සව් ට චෝදනා එල්ල විය. මේ කියන්නට යන්නේ අපචාර ක්‍රියා රැසක් හේතුවෙන් සදහටම දේශපාලනයෙන් සමුගන්නට සිදුවූ ඊශ්‍රායලයේ අටවැනි ජනාධිපතිවරයා වන කට්සව් ගැනය. 
සිරකරුවන්ට සමාව දීම සහ දඬුවම් නියම කිරීම හැරෙන්නට විධායක බලතල නොමැති ඊශ්‍රායල් ජනාධිපතිධුරය බොහෝ දුරට චාරිත්‍රානුකූලය. එසේවුවද, සෑම ජනාධිපතිවරයෙක්ම තම පාලන කාලය තුළ භූමිකාවේ විවිධ පැතිකඩ අවධාරණය කරති. මෝෂේද එවැනි චරිතයකි. 


1945 දෙසැම්බර් 5 ඉරානයේ උපන් මෝෂේ කට්සව් 2000 සිට 2007 දක්වා වසර හතක කාලය තුළ ඊශ්‍රායලයේ අටවැනි ජනාධිපතිවරයා විය. ඔහු ඊශ්‍රායල නෙස්සෙට් හි ප්‍රමුඛ ලිකුඩ් පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම එහි අමාත්‍යවරයෙකි. 


 ඔහුගේ ජනාධිපතිධුරයේ අවසානය සනිටුහන් වූයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සහ අනෙක් අයට ලිංගික හිරිහැර කිරීම යන චෝදනා වලිනි. කට්සව් 2007 දී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ මේ නාඩගමේ කොටසක් ලෙසය. කට්සව් පසුව නඩු පැවරූ පාර්ශ්වකරුවන් සමඟ ඇති කරගත් ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ අතර උසාවියේදී ඔහු නිර්දෝෂී බව ඔප්පු කරන බවට පොරොන්දු විය.

 
නමුත් පෙර නොවූ විරූ නඩුවකට අදාළව 2010 දෙසැම්බර් 30 දින, කට්සව් ස්ත්‍රී දූෂණ චෝදනා නඩු දෙකක යුක්තියට බාධා කිරීම සහ වෙනත් චෝදනා සඳහා වරදකරු බවට තහවුරු කරමින් 2011 මාර්තු 22 වැනි දින එරට ටෙල්අවිව් හි අධිකරණයක් විසින් කට්සව් ට වසර හතක සිර දඬුවමක් නියම කළේය. කට්සව් එම දඬුවමට එරෙහිව ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළද එම වසරේ නොවැම්බර් 10 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ටෙල්අවිව් අධිකරණය දුන් දඬුවම තහවුරු කළේය. 
2000 සිට වසර 7ක් බලයේ සිටි 65 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එය ඊශ්‍රායල රාජ්‍ය නායකයෙකුට එල්ල වූ බරපතලම චෝදනාවයි. 


1990 දශකයේදී ඔහු එවකට ඊශ්‍රායලයේ සංචාරක ඇමැතිව සිටියදී සේවිකාවක් දූෂණය කිරීම සහ ඔහු ජනාධිපතිව සිටියදී ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් වරදකරු විය. ඒම නඩු විභාගයේදී ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට තුඩු දුන් කාන්තාවගේ සාක්ෂි තමන් විශ්වාස කරන බව විනිසුරුවරු පැවසූහ. 
අධිචෝදනා පත්‍රයට අනුව මෝෂේ ගේ ස්ත්‍රී දූෂණ චෝදනා 1998 අප්‍රේල් දක්වා දිව යයි. හිටපු සේවිකාව අදාළ නඩු විභාගයේදී සාක්කි ලබා දෙමින් දිගින් දිගටම කියා සිටියේ ඔහු මුලින්ම දූෂණය කළේ සංචාරක අමාත්‍යාංශ කාර්යාලයේදී සහ පසුව ජෙරුසලමේ හෝටලයකදී බවය. ඔහු ජනාධිපතිව සිටියදී 2003 සහ 2005 දී කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා වලට අදාළ වැඩිදුර චෝදනාවේ සදහන් විණි. 
තීන්දුව කියවමින් විනිසුරු ජෝර්ජ් කර්රා පැවසුවේ පැමිණිලිකාරිය ඇයගේ සාක්ෂියට සාක්ෂි ලැබෙන බැවින් අපි විශ්වාස කරන අතර ඇය ඇත්ත පැවසූ බවත්, කට්සව්ගේ සාක්ෂි, බොරුවලින් පිරී ඇති බවත් ය. උසාවියේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු සමග සිටියද ඔහුගේ බිරිඳ සිටියේ නැත. තීන්දුව කියවීමත් සමග ඔහුගේ පුතෙකු නැවත නැවතත් ‘‘එය සත්‍යයක් නොවේ”‍ යැයි කියන විට ඔහු නොසන්සුන් වූ බවක් පෙනෙන්නට තිබුණි. 


මෝෂේ කට්සව් ඉරානයේ ඉපිද 1951 දී ඔහුගේ පවුලේ අය සමග වයස අවුරුදු හයේ දී ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අයෙකි. 


ඔහුට එරෙහි චෝදනා ප්‍රථමයෙන් මතුවූයේ 2006 වසරේදී වන අතර ඊළඟ වසරේදී ඔහු ධුරයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ජනාධිපති ෂිමොන් පෙරෙස් පත් කළේය. 

 


ඔහුගේ අධිචෝදනා පත්‍රයෙන් පසුව ඔහු එවකට නීතිපති මෙනහෙම් මසුස් විසින් සංවිධානය කරන ලද ඝාතනය කිරීමේ ගොදුරක් යැයි පවසමින් රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද ලබා දුන්නේය. 
මෝෂේ කට්සව් ගේ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිරිහැර නඩුව බටහිර සෝප් ඔපෙරාවක් මෙන් දිගහැරෙනුයේ 2006 ජූලි මාසයේදී කට්සව් සේවිකාවක් විසින් බ්ලැක්මේල් කරන බවට ඊශ්‍රායලයේ නීතිපති මෙනචෙම් මසුස්ට පැමිණිලි කරමිනි. කට්සව් සංචාරක ඇමැතිව සිටියදී ඔහු සමග වැඩ කළ ඒ, කට්සව් තමා දෙවරක් දුෂණය කළ බවත්, වෙනත් විවිධ අයුරින් ඇයට ලිංගික හිංසා කළ බවත් ඇය කියා සිටියේය. 


 අවම වශයෙන් විවිධ කාන්තාවන් සිව් දෙනකුගෙන් පැමිණිලි ලැබීමෙන් (පොලිස් කටයුතු පිළිබඳ අයි.බී.ඒ. වාර්තාකරුට අනුව) ඊශ්‍රායල් පොලිසිය අධිචෝදනා පත්‍රයට ප්‍රමාණවත් සාක්ෂි තමන් සතුව ඇති බව තීරණය කළේය. 


නඩු විභාගයේදී විනිසුරුවරුන් තිදෙනා ඒකමතිකව දූෂණය, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් භාවිත කරමින් අශෝභන ක්‍රියාවක් සිදු කිරීම, සාක්ෂිකරුවෙකුට හිරිහැර කිරීම සහ යුක්තියට බාධා කිරීම යන චෝදනාවලට වරදකරු කර ඇත. 2011 මාර්තු 22 දින, මොෂේ කට්සව්ට වසර 7 ක සිර දඬුවමක් සහ ස්ත්‍රී දූෂණ, අසභ්‍ය ක්‍රියාවන්, ලිංගික හිංසනය සහ යුක්තියට බාධා කිරීම යන චෝදනා යටතේ වසර දෙකක සිර දඬුවමක් නියම වූ අතර සිරගත කෙරුණු ඊශ්‍රායලයේ පළමු ජනාධිපතිද ඔහු වූයේය. 


කට්සව්ට සමාව දෙන ලෙස ඊශ්‍රායල ජනාධිපති ෂිමොන් පෙරෙස්ට විධිමත් ඉල්ලීමක් ලැබුණු බව 2012 ඔක්තෝබර් 15 වැනි දින නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ කට්සව්ගේ බිරිඳ ගිලා විසිනි. 2016 අප්‍රේල් 6 දින කොන්දේසි විරහිතව ඉක්මනින් නිදහස ලබා දෙන ලෙස මොෂේ කට්සව් කළ ඉල්ලීම බන්ධනාගාර නීතීඥ මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2016 දෙසැම්බර් 18 වැනිදා, කට්සව්ව ප්‍රසිද්ධියේ පෙර ඔහු කළ ක්‍රියාවන් ගැන කනගාටුව ප්‍රකාශ කළ බව නිවේදනය කරමින්, කට්සව්ව ඉක්මනින් නිදහස් කර ගැනීමට අනුමත කිරීමේ මණ්ඩලය අවසර දුන්නේය. 


කට්සව් සිය වසර 7 ක සිර දඬුවමෙන් වසර 5 ක් සහ දින 15 ක් සම්පූර්ණ කළේය. සිරකරු පුනරුත්ථාපන අධිකාරිය ඔහුගේ වසර 7 ක සිර දඬුවමේ ඉතිරි කාලය සඳහා අනුගමනය කළ යුතු සීමාසහිත සීමා පැනවීය. ඔහුගේ ඇප කොන්දේසි යටතේ ඔහුට මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් කිරීම හෝ රට හැර යාම තහනම් විය. ඔහුට පුනරුත්ථාපනයට සහභාගිවීමටත්, සතියකට වරක් මනෝ විද්‍යාඥයකු හමුවීමටත්, ඔහුගේ වින්දිතයින් ගැන සාකච්ඡා කිරීම හෝ අපහාස කිරීම හෝ කාන්තාවන් ඔහුට යටත් වන තනතුරු දැරීම ද ඔහුට තහනම් විය.

 

සටහන 
තිළිණි ද සිල්වා