අතුරුපස


හිඟන්නාගේ වාසනාව   

දෛවයෙන් උරුම වූ දවසේ රැකියාව අවසන් කළ හිඟන්නා, හීං අඩියකින්ද සප්පායම් වී සිය නවාතැන්පළට පැමිණියේය. ඔහු රාත්‍රිය ගත කළේ තොටළඟ පාලමට නුදුරු බස් නැවතුමක් තුළයි. කඩමල්ලක් එළාගෙන ඔහු එහි වැතිර ගත්තේය.   


එදා ග්‍රීෂ්ම දවසකි. වෙනදා මෙන් ඉක්මනින් නින්ද ඔහු වෙත නොපැමිණියේය. ටිකක් හුළං වදින්නට සිතා එළියට බැසගත් හිඟන්නා කැලණි පාලම දෙසට ඇවිදගෙන ගියේය. පාලම උඩ පදික තීරුවේ හිඳගත් ඔහු තම තරුණ ජීවිතය අයාලේ ගිය හැටි කල්පනා කරමින් සිටියේය. 

 
වේලාව රාත්‍රී දහය පසුවී ඇත. දැන් පාරේ වාහනද අඩුය. තරමක වේගයෙන් ආ නවීන පන්නයේ මෝටර් රථයක් හදිසියේම පාලම උඩ සිඟන්නා සිටි තැන නැවැත්වීය.   
‘මේ අයියේ එනවද මා එක්ක යන්න?   


රිය ඇතුළෙන් නැගුණු සුකොමළ ගැහැණු කටහඬින් හිඟන්නා උඩගොස් බිම වැටුණේය.   
වාහනයේ ඉදිරිපස දොර හැරුණි. එන්න අයියා මම විතරයි ඉන්නෙ. බයවෙන්න එපා.     
රියදුරු අසුනේ හුන් සුරූපිනියට වශී වූ සිඟන්නා දෙවරක් නොසිතාම රථයට ගොඩවිය. යළිත් පැරණි වේගයෙන්ම ගමන ඇරඹුණි.   
කොල්ලුපිටියේ වෙරළබඩ මාවතක පිහිටි සුවිසල් නිවසක ගරාජයේ මෝටර් රථය නැවතුණේය.  
බහිමු අයියා. බයවෙන්න එපා. මම විතරයි මේ ගෙදර ඉන්නේ.   


මහත් චකිතයට පත් සිඟන්නා ඇය පසුපසින් පඩිපෙළ නැග ඉහළ මාලයට ගියේය. ඔවුන් ඊළඟට පිවිසුණේ අලංකාර සුවපහසු කාමරයකටයි.   
මහන්සිත් ඇත්නේ? අයියා මේ ඇඳේ ටිකක් ඇලවෙලා ඉන්නකෝ. මම වොෂ් එකක් දාගෙන එන්නම් ඩාලිං.   
නොසිතූ ලෙස කඩා වැටුණු මේ හදිසි වාසනාව ගැන සිතමින් සිඟන්නා ඒ සුවපහසු යහනාවේ වැතිර සිටියේය. ටික වේලාවකට පසු තුවායක් හැඳගත් සුරූපිය නාන කාමරයේ සිට එහි පැමිණියාය.   


‘මං පරක්කු වුණාද අනේ. කෝ ටිකක් එහාට වෙන්නකෝ මටත් හාන්සි වෙන්න.   
හිඟන්නා ඇයට ඉඩදෙමින් ඇඳේ පසෙකට විය.   


‘ජබොස්’ යන ශබ්දය ඇසුණි. ඒ හිඟන්නා කැලණි ගඟට වැටුණු හඬයි.   


කඩ වීදියේ මිනීමැරුම   

ධාරානිපාත වර්ෂාව සහිත රාත්‍රියකි. විදුලිය අකුණු මැද වුවද මුළු නුවරම නිදිගත් ලෙසින් පෙනේ. පාළු වීදියේ කෙළවරකින් අද්භූත මිනිස් රූ දෙකක් මතුවෙයි.   


වැස්ස තවත් වැඩිවෙයි. මිනිස් රූ වැනෙමින් ඉදිරියටම එනු පෙනේ. මොවුන් බේබද්දන් බවට දැන් සැකයක් නැත.   
‘වැ...වැෂ්ෂ වැඩියි මෂ්ෂිනා....ඔ....ඔය අයිනකට යමං.....’   
‘ආකාෂෙත් අද අපට පානිය දානවා. ඈ....අනේ අම්මපා මට....’   
ඩ්‍රාංං හඬින් අකුණක් පුපුරා ගියේය.   


‘යකෝ කට, ආකාශෙට බැණලා බේරෙන්ඩද? වරෙන් මෙහාට’ අනෙකා ඔහු ඇදගෙන කඩපිලක් අයිනට පැන්නේය.   
‘ස්.... ෂොරි හොඳේ’   
ඒවේලේ කඩය ඇතුළින් කටහඬ කීපයක් ඇසෙන්නට විය.   
‘කෝ .... .කැපුවද?  
‘අත් දෙක නම් කැපුවා බොස්’ 

 
‘කැපුවා නම් අත් දෙක පැත්තකින් තියපං. පපු කෑල්ල කපලා හිටින්. ‘ඒකත් කැපුවා බොස්’   
‘අනෙකත් ගනින්. කකුල් කපලා පැත්තකට දාපන්. මේක අදම ඉවරයක් කරන්න ඕනෑ.   
ඇතුළේ කථාබහට ඇහුම්කන් දී සිටි බේබද්දෝ තැති ගත්හ.   
‘මෙතන හෙණ ගේමක් යනවා’   
‘අ අපි මාරුවෙමු. උන්ට අහුවුණොත් අපටත් ඔය ටික තමයි. දුවමු’ එහෙත් වැඩිදුර දුවන්නට නොලැබුණි. ඒයි කොහෙද දුවන්නේ? කියමින් පොලිස් භටයෙක් ඉදිරියට කඩා පැන්නේය.   


‘උඹලා හෝරු න්ද? වැඩක් දීලා පනින්නයි හැදුවෙ ඈ?  
‘න්....නෑ නෑ සර්. අ.....අපි පාටියකට ගියේ. පොඩ්ඩක් වැඩිවුණා නම් තමයි.   
‘ඒක පේනවා දිව්වේ මොකද කියපන්.   
‘ෂර්....අ.....අපි වැෂ්ෂට අර කඩේ ගාවට ගියා. එතන මි මිනීමැරුමක් සර්’   
‘මොනවා? හ්ම් එනවා බලන්න’   
කඩ කාමරය ළඟට ඔවුන් සමග ගිය නිලධාරියා දොරට තට්ටු කළේය. මොහොතකින් දොර ලෑල්ලක් විවෘත විය.   
‘මොකද උඹලා කරන්නේ?  


 ‘අ.....අපි රෑ වැඩ කරනවා සර්’   


‘වැඩ මොනවද වැඩ’   


‘මේක ටේලර් සාප්පුවක් සර්. හෙට බාරදෙන්න තියෙන සූට් එකක් කැපුවා. ඇතු​ළේ සිටි අයෙක් කරුණු පැහැදිලි කරත්ම එක් බේබද්දෙක් කඩා පැන්නේය.   
‘අපට බොරු එපා ෂනා. අත් දෙකයි පපු කෑල්ලයි කකුල් දෙකයි කපලා පැත්තකින් තිබ්බා නේද?   
‘මොකක්ද ඒකෙ වැරැද්ද? මේ කපලා පැත්තකින් තියලා තියෙන්නෙ ඒවා තමයි’ මිනිසා කැපූ සුට් එකක් පෙන්වමින් කීය.   
පොලිස් නිලධාරියා බේබදු යුගලය කරමුලින් අල්ලාගෙන එළියට බැස්සේය.   
‘යමව් පොලිසියට. නැට්ටට ගහලා අපිවත් හොල්මන් කරනවා. කාලකණ්ණි.

 

කලණ මිතුසඳ