පොලිස් චෝදනාගාරයෙන්
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂාවට ලක්කරන පොලිස් නිලධාරීන්
අටවක සඳ පායා එමින් තිබේ. ගොම්මන් අඳුර පලවා හරිමින් මුළු පරිසරයම වෙළාගත් රාත්‍රී අන්ධකාරය විනිවිදයාමට නොහැකි වුවත් අටවක සඳ එළිය යමක් හඳුනාගැනීමට හැකි පරිදි ගස් අතරින් පොළොවට පතිත වී තිබිණ. සඳ එළියෙන් පරිසරය නැහැවෙද්දී උදාර සඳකැලුම් සිය නිවස ඉදිරිපිට ළිඳෙන් දිය ඇද නාගත්තේය. දහවල් කාලයේ සිය බිරිඳ සමග ඇතිවූ අමනාපය අමතක කොට මේ දියෙන්ම සෝදා හැරීමට උවමනා වූවාසේ ඔහු දිගු වේලාවක් දිය නෑවේය.
හදිසියේම නිවස ඉදිරිපිට වේගයෙන් තිරිංග තදකොට නැවැත් වූ යතුරුපැදියක හඬින් සඳකැලුම්ට කරමින් සිටි කටයුත්ත අමතක විය. කරපොවා බැලු ඔහුට දක්නට ලැබුණේ කඩු කිණිසි අත දරා පැමිණෙන තිදෙනෙකුය. සිදුවෙන්නට යන දේ ඉවෙන් මෙන් වටහා ගත් සඳකැලුම් සැණෙන් හිස ඉවතට ගෙන ළිඳ ළඟ බටපඳුරු අස්සේ සඟවා ගත්තේය. එහෙත් අඟුණකොළපෑලැස්ස මුරවැසිහේන, සේද ජනපදයේ වීරසිංහ මාවතේ අනෙකුත් පදිංචිකරුවන් අසල්වැසි නිවසේ සිදුවෙන්නට යන දේ ගැන කිසිත් නොදැන සුපුරුදු පරිදි සිය කටයුතුවල නියැලෙමින් සිටියහ. සත්‍ය ලෙසම අසල්වැසියන් පමණක් නොව සඳකැලුම්ගේ දෙමාපිය සහෝදරයින් පවා ඒ වෙන විට තම නිවසේ සිදුවෙන්නට යන දේ දැනසිටියේ නැත. ඔවුන් සිහිනෙකින්වත් ඊළඟට සිදු වූ දේවල් බලාපොරොත්තු නොවන්නට ඇත.
ගිගිරුම් නද දෙමින් පළාතම දෙවනත් කරගෙන පැමිණ නිවස ඉදිරිපිට නැවැත් වූ යතුරුපැදියේ හඬින් පැමිණියේ කවුදැයි විපරම් කර බලනු පිණිස සඳකැලුම්ගේ මල්ලී ගයාන් මධුර සම්පත් ඉදිරිපස දොරකඩට පැමිණියේය. එන පිරිස කවුදැයි හඳුනාගත් නිසාදෝ ඔහු දොරවසාගෙන ඇතුළට ගියේය. එහෙත් බේරීමක් නැත. පිටුපස දොර කඩා ගෙන පැමිණි අපරාධකරුවෝ ගයාන්ට වචනයක්වත් කතා කරන්නට ඉඩ තැබුවේ නැත. “කෝ තොපේ චණ්ඩියා? එන්න කියාපිය” යනුවෙන් පවසමින් පැමිණි පිරිසෙන් අයෙකු පහර දුන්නේ දැඩි මුගුරකිනි. පහර කාගෙන පිටතට දිවයන ගයාන් පසුපස ගිය තවත් අයෙක් ඔහුට කඩුවකින් පහර දුන්නේය. පහර කාගෙනම ඔහු තම නිවසට යාබද නිවස කරා දිව ගියේ උදව් බලාපොරොත්තුවෙනි. එහෙත් අපරාධකරුවන් ඔහුට පහර පිට පහර එල්ල කරනු ලැබිණ. ලේ පෙරාගෙනම ගයාන් අසල්වැසි නිවස ඉදිරිපිට පොල්ගසක් යට ඇද වැටුණේය.
පුතාගේ කෑ ගැසීම් හඬට දිව ආ ගයාන්ගේ පියා ආරියරත්නටද අපරාධකරුවන්ගෙන් ගැලවිල්ලක් නොවිණ. ඔහුටද බේරී දුවන්නට අන් තැනක් පෙනුණේ නැති නිසා අසල්වැසි නිවස කරාම දිව ගියේය. එහි එළිපත්ත ආසන්නයේ බරපතළ කැපුම් තුවාල සහිතව ආරියරත්න ඇද වැටුණේය. ඉන්පසු පැමිණියේ ගයාන්ගේ මවය. ඇයට එල්ල වූ පළමු පහරින්ම ඇය ඇද වැටිණ. තවත් පහර කීපයක් එල්ලකොට කිණිස්සෙන්ද කපා තුවාල සිදුකරද්දී මවගේ විලාපය අසා සිටිනු නොහැකිව සඳකැලුම්ද සැඟවී සිටි තැනින් එළියට ආවේය. අපරාධකරුවෝ ඔහුටද ප්‍රහාරය එල්ල කළත් ඒ වනවිට අසල්වැසියන් තැනින් තැනින් එබිකම් කරමින් කෑ ගසන්නට පටන් ගෙන තිබූ නිසා අපරාධකරුවන් ප්‍රහාරය නවත්වා තමන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගියේ අත වූ මුගුර ද නිවස ඉදිරිපිට ඇළ මාර්ගයට විසිකරමිනි.
ඔවුන් පැන ගිය පසු සිද්ධිය වූ ස්ථානයට ළඟා වූ අසල්වැසියෝ තුවාලකරුවන් සියලු දෙනා අඟුණකොළපෑලැස්ස රෝහලට රැගෙන ගියහ. එසේ කරන්නට පෙර ඔවුහු අඟුණකොළපෑලැස්ස පොලිසියට ද ඇමතුමක් ලබාදී සිදුවීම සැලකර සිටියහ. රෝහල් ගත කරනවිටත් හැටවැනි වියේ පසුවූ ජයසේකර කංකානම්ලාගේ ආරියරත්න හා ඔහුග් බාල පුතු විසිපස් හැවිරිදි ගයාන් මධුර සම්පත් මියගොස් තිබිණ. ගයාන්ගේ මව පනස් දෙහැවිරිදි සෝමලතා සිරිවර්ධන හා ගයාන්ගේ වැඩිමහල් සොහොයුරු විසිඅට හැවිරිදි උදාර සඳකැලුම් බරපතළ තුවාල ලබා සිටියහ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් අඟුණකොළපෑලැස්සේ සිට තංගල්ල රෝහලට මාරු කර යවනු ලැබූ අතර දින ගණනාවක්ම ඔවුහු එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.
මියගිය ආරියරත්නගේ නිවස
අඟුණකොළපෑලැස්ස පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ළඟාවෙන විට තුවාලකරුවන් රෝහල්ගත කර තිබිණ. එයින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසියට දැනගන්නට ලැබිණ. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක වරුසවිතාන, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහූ පරීක්ෂණ කටයුතු ඇරඹූහ.
මියගිය ආරියරත්න මහතාගේ නිවස ඉදිරිපිට ළිඳ අසල පනිට්ටුවක් වැටී තිබිණ. කිසිවෙක් දියනාමින් සිටි බවට සැක කළ හැකි පරිදි ඇඳුම් කීපයක් එම ස්ථානයේ ඉහළින් රඳවා තිබෙනු දැකිය හැකිවිය. නිවසේ පුටු ඒ මේ අත පෙරැළී තිබූ අතර සමහර ඒවා කැඩි ගොසිනි. නිවස ඇතුළත හා එහි සිට අසල්වැසි නිවස දෙසටත් ඒ නිවස ආසන්නයේත් ලේ පැල්ලම් දක්නට ලැබිණ. නිවස ඉදිරිපිට ඇළ මාර්ගයේ තිබී අඩි තුනක් පමණ දිග අඟල් අටක පමණ වට ප්‍රමාණයෙන් යුත් මුගුරක්ද සොයාගත හැකි විය. අසල්වැසියන්ගෙන් ලද තොරතුරුද අනුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ විය.
පුතාගේ කෑ ගැසීම් හඬට දිව ආ ගයාන්ගේ පියා ආරියරත්නටද අපරාධකරුවන්ගෙන් ගැලවිල්ලක් නොවිණ. ඔහුටද බේරී දුවන්නට අන් තැනක් පෙනුණේ නැති නිසා අසල්වැසි නිවස කරාම දිව ගියේය. එහි එළිපත්ත ආසන්නයේ බරපතළ කැපුම් තුවාල සහිතව ආරියරත්න ඇද වැටුණේය. ඉන්පසු පැමිණියේ ගයාන්ගේ මවය. ඇයට එල්ල වූ පළමු පහරින්ම ඇය ඇද වැටිණ. තවත් පහර කීපයක් එල්ලකොට කිණිස්සෙන්ද කපා තුවාල සිදුකරද්දී මවගේ විලාපය අසා සිටිනු නොහැකිව සඳකැලුම්ද සැඟවී සිටි තැනින් එළියට ආවේය. අපරාධකරුවෝ ඔහුටද ප්‍රහාරය එල්ල කළත් ඒ වනවිට අසල්වැසියන් තැනින් තැනින් එබිකම් කරමින් කෑ ගසන්නට පටන් ගෙන තිබූ නිසා අපරාධකරුවෝ ප්‍රහාරය නවත්වා තමන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගියේ අත වූ මුගුර ද නිවස ඉදිරිපිට ඇළ මාර්ගයට විසිකරමිනි.
සිදුවීම අනුව මෙය කිසියම් මැර කණ්ඩායමක ප්‍රහාරයක් බව පැහැදිලි විය. එවැනි මැර ප්‍රහාරයක් එල්ල වෙන්නට තරම් මේ පවුලේ අයගෙන් සිදුව තිබෙන වරද කුමක්ද? මියගිය ආරියරත්න මහතා ගොවියෙකි. සිය ගොවිතැනින් උපයා ගන්නා ආදායමෙන් පවුල නඩත්තු කළ ඔහු සිය පවුලේ ආහාර වේලද එයින් පිරිමසාගෙන කාටත් කරදරයක් නොවී ජීවත් වූ අයෙකි. මියගිය ගයාන්, වාහන එකලස් කරනු ලබන පෞද්ගලික ආයතනයක සේවය කළේය. ආරියරත්න මහතාගේ දරුවන් දෙදෙනා අහිංසකයන් නොවුණත් ගමේ අයට කරදරයක් නොවූ තරුණයන් බව කාගෙත් අදහස විය. එසේ නම් කුමක්ද මේ ප්‍රහාරයට හේතුව?
ඒ අනුව පොලිසිය ඔවුන්ගේ පවුලට සම්බන්ධ වූ වෙනත් අය ගැන සොයා බැලීය. මේ වනවිට යම් සුවයක් ලබා සිටි තුවාලකරුවන්ගෙන් ගත් කටඋත්තර අනුව හෙළිදරව් වූ කාරණාව ඉතා වැදගත් විය. එනම් තුවාල ලබා රෝහල්ගත කර සිටින සඳකැලුම් විවාහ වී සිටින්නේ බරවකුඹුක සුජිත් ලොකුලියනගේ හෙවත් ලන්දේවත්තේ බාලයාගේ හා අජිත් ලොකුලියනගේ හෙවත් අක්කරපනහේ පොඩ්ඩාගේ සහෝදරියගේ දියණිය සමග බවය.
සිද්ධිය වූ දිනයේ සඳකැලුම් හා බිරිඳ අතර යම් බහින් බස්වීමක් සිදුව ඇති අතර කේන්තිය ඉවසිය නොහැකි වූ සඳකැලුම් සිය බිරිඳට පහරදී ඇත. එයින් පසු සැමියා සමග අමනාප වූ ඇය සිය මහගෙදරට ගියාය. ඥාති දියණිය සැමියා සමග අමනාපව මහගෙදරට පැමිණ ඇති බව දැනගත් අක්කරවත්තේ පොඩ්ඩා ඒ ගැන සෝදිසි කළේය. සිද්ධිය සහසුද්දෙන්ම දැනගත් පොඩ්ඩා ඒ බව සිය සහෝදරයා වන ලන්දෙවත්තේ බාලයාටද සැලකර සිටියේය.
“උන්ගෙන් පහරකන්න අපි ගාව ගෑනු නෑ. මේවා මෙතනම නැවැත්තුවේ නැත්නම් පස්සට කරදරයි” යැයි පැවසූ බාලයා, පොඩ්ඩා සහ සිය කණ්ඩායමේ මිතුරෙක් වන ඩිලාන් හර්ෂ නොහොත් රනා සමඟ සඳකැලුම් සොයා ඔහුගේ නිවසට ගියහ. ඒ ගියේ හිස් අතින් නම් නොවේ. පොඩ්ඩා සතුව අඩි දෙකහමාරක් දිග කඩුවකි. බාලයා සතුව ඊට තරමක් කුඩා කඩුවකි. රනා සතුවද උල් පිහියකි. ඔවුන් පාඩමක් උගන්වන්නට ගියේ සඳකැලුම්ට වුවත් පාතාලයට සම්බන්ධ මේ අපරාධකරුවන්ට මිනිසුන් මියයාම හෝ පහරකෑමට ලක්වීම එතරම් බරපතළ කාරණා නොවේ. ඒ නිසා තමන් ඉදිරියට එන ඕනෑම අයෙකුට පහරදී ඉවරයක් කිරීම ඔවුන්ගේ න්‍යාය වූවා සේය. සඳකැලුම් වෙනුවට පවුලේ සියලු දෙනාටම පහර දෙන්නේ ඒ නිසාය.
සියල්ල සිදුකළ බාලයා, පොඩ්ඩා හා රනා ප්‍රදේශය හැරගොස් සිටියද පොලිසිය ඔවුන් සොයාගැනීමේ මෙහෙයුම කිසිසේත්ම අත්හැරියේ නැත. හම්බන්තොට හා මාතර දිසාවන් භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එකතු කරනු ලැබිණ. සහකාර පොලිස් අධිකාරි තුෂාර දලුවත්ත මහතාගේද මඟපෙන්වීම යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ. රංජීව මහතාද වැඩිදුර පරීක්ෂණයට එක්විය.
පොලිස් නිල ඇඳුමෙන් ගොස් මේ සැකකරුවන් ගැන සෙවිය නොහැකිය. මන්ද ඔවුන් ගැන වචනයක් හෝ පැවසීම ජීවිතය අනතුරේ හෙළන්නක් බව ගම්වැසියන්ගේ අදහස විය. මන්ද මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ලන්දේවත්තේ බාලයා ඝාතන විසිහයක් සම්බන්ධයෙන් නඩු පවතින අයෙකි. මේ සිදුකළ ඝාතන දෙකත් සමග එය විසි අට දක්වා ඉහළගොස් තිබේ. තමන්ට එරෙහිව යන කෙනා කවුරු වුවත් ඒ ඕනෑම කෙනෙකු පරලොව යැවීම ඔහුගේ අරමුණ බවයි ගම්මු අතර පවතින මතය.
ඒ නිසා පොලිස් නිලධාරීහූ වෙස්වළා ගෙන විවිධ ස්වරූපයන්ගෙන් බාලයාගේ ගම් ප්‍රදේශය වන බෙලිඅත්ත උඩුගල්මොටේ ප්‍රදේශයේ සති කීපයක් සැරි සැරූහ. එහිදී හෙළි වූයේ ඔහු තණමල්විල වැල්ලවාය ප්‍රදේශවල ජීවත් වෙන බවය. කුමන මොහොතක හෝ ඔහු නිවසට පැමිණිය යුතු යැයි සිතූ පොලිස් කණ්ඩායම ඔහුගේ නිවස අවට රැකවල්ලා සිටියහ. ඒ අතර ජංගම දුරකථන දත්ත පරීක්ෂාවක්ද සිදුකළහ. ඒ සියල්ලෙන් යහපත් ප්‍රතිඵල ලැබිණ. හදිසියේම පරීක්ෂණ කණ්ඩායම වෙත අලුත් තොරතුරක් ලැබිණ. එනම් බාලයා බරවකුඹුක ප්‍රදේශයට පැමිණ ඇති බවය. සිවිල් ඇඳුමෙන් වෙස්වළා ගෙන ගමේ ඔබමොබ යන පොලිස් නිලධාරීන් ගැන හාංකවිසියක් නොදන්නා බාලයා ගමට පැමිණියේ අනතුර තරමක් පහව ඇතැයි සිතූ නිසාය. එහෙත් ඔහු තමන්ගේ බාහිර පෙනුම වෙනස් කරගෙන වෙස්වළා ගැනීමට අමතක කළේ නැත.
ඔහු තමන්ගේ අනන්‍යතාව වූ දිග කොණ්ඩය කැපුවේය. හැමදාමත් අඳින සරම වෙනුවට ඩෙනිම් කලිසම ඇන්ඳේය. හැමදාමත් පලඳින සෙරෙප්පු දෙක වෙනුවට සපත්තු කුට්ටමක් පැලැන්ඳේය. එහෙත් ඔහුට වැරදිණ. මිනිස් ඝාතන විසිඅටක් සම්බන්ධයෙන් විටින්විට අත්අඩංගුවට ගෙන තිබෙන බාලයා කොයි ලෙස හිටියත් හඳුනාගන්නට සමත් පොලිස් නිලධාරීහූ මේ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය. ඒ නිසා වෙස්වළා ගෙන සිටි බාලයා හඳුනාගැනීමට ඔවුහු සමත් වූහ. පොලිසියේ ඇසට වැලිගසා පැන යන්නට සිතූ බාලයා පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඔහුගේ කඩුවද සමගය. ඔහු අත්අඩංගුවට ගත් බව දැනගත් අනෙක් සැකකරුවෝ ද දින කීපයකට පසුව නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට බාරවූහ. පහරදීම සිදුකළේ 2016 ඔක්තෝබර් 09 වැනිදා වන අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබූවේ සිද්ධියෙන් සති දෙකකට පසු එනම් ඔක්තෝබර් 25 වැනිදාය.
අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පසුව ඇපමත මුදාහරිනු ලැබිණ. පොලිස් සැරයන්වරු වන (1058) මුණසිංහ, (33992) සුමනසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන (44974) මංජුල, (53724) ගාමිණි, (41717) සම්පත්, (62427) සිරිවර්ධන යන නිලධාරීන්ද මෙම පරීක්ෂණයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළහ.
මුදිතා දයානන්ද සමග
හම්බන්තොට වාර්තාකරු