හිමි නොවුණත් ආදරේ කරපු ආදරණීය හිත් තිබුණා... සූර්යා සමගින් රිදි තිරයට එන ජනිත් සහ සුදීක්ෂා


රිදී තිරයට අලුතින්ම එකතුවන චිත්‍රපටය සූර්යා ජූලි  4 සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීමට නියමිතය. සදාතනික පිය-පුතු අරගලය තේමාව කොටගත් අභිප්‍රේරණාත්මක සිනමා ශානරයේ නිර්මාණයක් වන මෙහි කතාව සහ අධ්‍යක්ෂණය  මහේෂ් මුණසිංහ ගෙනි. තිර රචනයෙන් රොනල්ඩ් දසනායක දායක වී ඇති අතර නිෂ්පාදනය දිනේෂ් මුතුගල ගෙනි.

මෙහි ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන්නේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ආදරණිය චරිතයක් වන ජනිත්  වික්‍රමගේයි. 

මෙවර සඳැල්ල කවරය වර්ණවත් කරමින් අප හා කතාබහකට එකතුවන්නේ ‘සූර්යා’ හි සූර්යා ස්වර්ණජීවට පණපොවන ජනිත් වික්‍රමගේ සහ එහි ඔහු හා රංගනයෙන් දායක වන වොනීෂා චරිතයට එක්වන සුදීක්ෂා සමාධි රංගන ශිල්පිනියයි. 

ප්‍ර සූර්යා ස්වර්ණජීව, මේ කතාව ගැන දිගටම කියන්න අපි ඔබටම භාර කරනවා.

මුලින්ම කියන්න ඕනැ දිනන රටකට බලන්නම ඕනැ චිත්‍රපටයක් තමයි මේ. චිත්‍රපටය ජුලි 4 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිතව තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කෙටියෙන්ම කිව්වොත් ‘‘සූර්යා’’ කියන්නේ පිය-පුතු අරගලය තේමාව කරගත් ආදර්ශවත් කතාන්දරයක්. අතිශය සෙල්ලක්කාර ජීවිතයකට හුරුවී සිටින තරුණයෙකු සම වයසේ  මිතුරන් සමඟින් අර්ථ විරහිත දේවල්වලට අවධානය යොමු කරමින්  කාලය ගත කරද්දී ඒ හේතු නිසා පුතා සහ පියා අතර පුංචි පුංචි ගැටුම් ඇතිවෙනවා.

පියා සමාජය පිළිගත් රැකියාවක නිරත වන ගරුත්වයක් උපයාගත්තු පුද්ගලයෙක්. ඒ නිසාම පියා උත්සාහ කරන්නේත් තම පුත්‍රයා සමාජයේ වැදගත් පුරවැසියෙකු කරන්න. නමුත් පුතා ගත කරන්නෙ සෙල්ලක්කාර ජීවිතයක්. ඔහු එක් අවස්ථාවක මුදල් සෙවීමේ පරිමාර්ථය මත යහළුවන් සමඟ එක්ව you tube නාළිකාවක් ආරම්භ කරනවා. අද කාලේ තරුණ පරම්පරාව දැඩිව ලොල්වෙලා ඉන්නෙ සමාජ මාධ්‍යවලටනෙ. ඉතින් මේ සමාජ මාධ්‍යවලින් එක්තරා  අවස්ථාවක මොවුන් මට්ටු වෙනවා. ඉතින් මට්ටු නොවී මේ තුළින් වැඩක් ගන්නෙ කොහොමද කියන දේ මේ කතාව පුරාවටම ගලාගෙන යනවා. 

කොහොමත් අද කාලෙ තරුණ පරපුර සමාජයට එන්නෙ මුදල් උපයන රේස් එකට ලෑස්ති වෙලානෙ. ඉතින් ලංකාවෙ තරුණ පරපුරට වගේම, වැඩිහිටි ඒ හැම දෙනාටම පූර්වාදර්ශයක් සපයන හැමෝම බලන්නම ඕනෑ චිත්‍රපටයක් තමයි මේ. මීට වඩා දෙයක් මේ නිර්මාණය ගැන මම කතා කරන්නෙ නැහැ. ඇවිල්ලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 

ප්‍ර සූර්යා ස්වර්ණජීව ගැන කතා කළොත්?

සූර්යා ස්වර්ණජීව, ඇත්තටම මේ චරිත රංගනය මම හිතන්නෙ ඕනෑම නළුවෙකුට ඉතාම දරුණු අභියෝගයක්. මොකද මේ චරිතය තුළ විකාශය වීම් රැසක් තියෙනවා. සූර්යාගේ භද්‍ර යෞවන කාලයත් තරුණ පරිණත කාලයත් මට රංගනයේ යෙදෙන්න අවශ්‍ය වුණා. මේ තුළ භද්‍ර යෞවන කාලය කියන්නෙ අවුරුදු 18, 20, 22 වගේ. ඒ කාලයේ මාව ආමන්ත්‍රණය කළේ පොඩ්ඩා නමින්. පසුව තරුණ පරිණත අවධිය සූර්යා ස්වර්ණජීව වුණා. ඒ තුළ මට ලොකුම අභියෝගයක් වුණේ භද්‍ර  යෞවන කාලය. මොකද ඒ කියන්නෙ මට වයස 18, 20, 22 ට යන්න වෙනවනෙ. එහිදී හඬකැවීම් කරද්දිත් ඒක ගොඩක් දැනුණා. කටහඬ හදාගන්න විදිය, අංග චලන, මුහුණෙ ඉරියව්, කතා විලාශය, හැසිරීම සියල්ලම වෙනස්නෙ. ඉතින් කෙසේ හෝ ඒ අභියෝගය මම භාරගත්තා. එයට මම සාර්ථකව මුහුණ දුන්නා කියලා හිතනවා මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාරවලින්. ඉදිරියෙදිත් ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා චිත්‍රපටය ගැන සහ අපේ රංගනයන් සම්බන්ධයෙන්. 

ප්‍ර ජනිත් ඔබ මේ නිර්මාණය තුළ වයස් පරාසයන් දෙකක රඟපාද්දි වේශ නිරූපණ ශිල්පීන් එහෙමත් විශාල වෙහෙසක් දරන්න ඇති නේද?

ඒ කියන්නෙ මම ගොඩක් වයසයි කියන එකද?

ප්‍ර අනේ නැහැ, නමුත් ඔවුන්ගේ දක්ෂතාවත් චිත්‍රපටය නරඹද්දි අපි දැක්කා?

ඇත්තටම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. ඇත්තම කතාව නම් මේ ගැන මට කියන්න තියෙන්නෙ මෙහි අධ්‍යක්ෂවරයා මහේෂ් මුණසිංහ මගෙත් එක්ක මේ රංගනයන් ගැන කතා කරද්දිත් අපි කතාවුණු දෙයක් තමයි තව අවුරුදු දෙක තුනක් වගේ ගත වුණානම් මේ චිත්‍රපටයට මට අනිවාර් යෙන්ම සම්බන්ධ වෙන්න බැහැ. මගේ වයසත් එක්ක ඒ අභියෝගය තිබුණා. මොකද අවුරුදු 18, 20 වගේ කාලේ චරිතය කරද්දි එහි ළාමක ගතිය සහ චරිත ස්වභාවය මට පෙන්නන්න අවශ්‍ය වෙන්න ඕනෑ. මම දැන් අවුරුදු තිස් ගණන්වල ඉන්න කෙනෙක් විදියට 18, 20 චරිත ස්වභාවය ගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. මම වගේම අධ්‍යක්ෂවරයා, මෙහි නිරූපණ ශිල්පීන් සහ ඇඳුම් පැලඳුම් භාරව හිටපු ජනක ඇතුළු ඒ සියලු දෙනාත් ඇත්තටම ලොකු වෙහෙසක් දැරුවා ‘සූර්යා’ රිදී තිරයට ගේන්න. 

ඒ වගේම මෙහි පිටපත් රචක රොනල්ඩ් දසනායක සහ නිෂ්පාදක දිනේෂ් මුතුගල විශේෂයෙන් සිහි පත්කරන්න ඕනෑ.

ප්‍ර මේ තුළ ආදර කතාවකුත් ගලාගෙන යනවා නේද?

නේහා චරිතයත්, වොනීෂා චරිතයත් සූර්යා චරිතය හා සම්බන්ධව ඒ ගලායාම සිදුවෙන්නෙ. ආදරය තුළින් මිනිසුන් කොයිතරම් දුරට වෙනස් කරන්න පුළුවන්ද සහ ආදරය කියන දේ බිඳවැටීමක දී ඉන් මිදෙන්න කොයි තරම් මේ නිර්මාණය ඉවහල් වෙනවද කියන දේ චරිත රංගන තුළින් දකින්න  පුළුවන්. ඇත්තටම හරිම ආදර්ශවත් කතාවක්. ඉහතින් සඳහන් කළා වගේ චිත්‍රපට ශාලාවට  ඇවිල්ල නරඹන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. 

ජීවිතවලට කොයි තරම් උත්තේජනයක්  ලබාගන්න පුළුවන්ද කියන දේ මේ තුළ තියෙනවා. මෙහි රංගන ශිල්පියෙක් විදියට මේ නිර්මාණය නරඹද්දි මගේ ඇස්වලටම කඳුළු එනවනම් මම හිතනවා ගැලරියේ ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලටත් කඳුළක් උනයි කියන දේ. ඒක මම බොහොම විශ්වාසයෙන් ඉන්න කාරණාවක්. මිනිසුන්ගේ තියෙන ළයාන්විත හදවත නැවත අවධි කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා හිතනවා ‘සූර්යා’ 
ජනිත්ගේ අම්මා, තාත්තාගෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබුණෙ.

ඒ දෙන්නටම චිත්‍රපටය බලන්න අවස්ථාව ලැබුණා. ඉතින් වෙනදා වගේම ගොඩක් සතුටු වුණා. ඒ දෙන්නා දන්නවා මම කවදත් හොඳම දේටයි මහන්සි වෙන්නෙ කියන එක සහ මම මගේ වැඩේ තුළ බොහොම අවංකයි කියලා. ඉතින් වෙනදා වගේම අම්මා, තාත්තගේ ආශීර්වාදය ලැබුණා.

ප්‍ර මේ චිත්‍රපටයේ තේමා පාඨයක් තියෙනවා ‘‘සියල්ල අහිමි  මොහොතෙදි සැබෑ  ආදරය ඔබ තනි නොකරාවි’’ කියලා ඇත්තද මේ?

එකිනෙකාට වෙනස් විදියටනෙ ඒක සිදුවෙන්නෙ. පෞද්ගලිකව ගත්තම එක විදියක්. සමස්තය ගත්තම තවත් විදියක්. නමුත් ඉතින් සමස්තය බැලුවම කියන්න තියෙන්නෙ ඇත්තටම ආදරේ කියන දේ මම විශ්වාස කරන විදියට ආදරයට පුළුවන් මිනිහෙක්ව ඇති කරන්නත්, නැති කරන්නත්, ඒ වගේම ලෝකෙ තියෙන සුන්දරම වචනයක් ආදරය, භයානකම, දරුණුම වචනයත් එක තමයි. 

ඉතින් ඒ ආදරය හැමෝටම හොඳ විදියට ලැබෙයි කියන එක මගේ ප්‍රාර්ථනයක්.  මේ චිත්‍රපටය තුළ ඒ ආදරේ සූර්යාට ලැබෙනවා.

ප්‍ර සූර්යාට ලැබුණ ආදරේ ජනිත්ට නැද්ද?

මෙහෙමයි, මම නොයෙකුත් කාලවල සම්බන්ධතාවල හිටියා. ඒත් මේ මොහොතෙ ආදරෙත් එක්ක ජීවත් වෙනවද කියන දේ මම හරි වෙලාවට කියන්නම්. මොකද මම ඒ ගැන කතා කළොත් සමහරවිට අනෙක් පාර්ශ්වයට ඒක අවාසියක් කියන දේ මට හිතෙනවා.  

මොකද ඒවා ගොසිප්වලට ගිහින් ඒ සම්බන්ධතා කවදහරි නැති වුණොත් ගැටලුකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්නෙ. මම පෞද්ගලිකව ඒ දේට කැමති නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් මම මරිසි දානවා කියලා නමුත් මේ මගේ විදිය.

ප්‍ර ඉතින් ඇයි බැරි ජනිත්ට විවාහයක් ගැන හිතන්න?

මෙහෙමයි, මම ජීවිතේ සමහර දේවල් අත්විඳිනවා කපල් එකක් දැක්කම, දරුවො දකිද්දි ඒ දේවල්වලට මම හරි ආසයි. එතකොට මටත් හිතෙනවා විවාහවෙලා, ජීවිතේ ඒ කෙනා එක්ක ෂෙයා කරගන්න. ජීවිතේ දේවල් අප්ඩේට් කරගන්න ඒවගේ ඉතින් ජීවිතේ හැම තිස්සෙම සාපේක්ෂ දෙයක්. අපිට හැමදේම ලබාගෙන මැරෙන්න බැහැ. එක්කො තනිකඩව මැරෙයි, නැත්නම් විවාහවෙලා මැරෙයි. ඒ කිසි දෙයක් අවුලක් නැහැ කොල්ලා කොහොමත් සතුටින්.

ප්‍ර සූර්යාට අමතරව සම්බන්ධ වන කලා කටයුතු කොහොමද?

මීට අමතරව චිත්‍රපට දෙකක් සම්බන්ධයෙන් කතා කරගෙන යනවා. ඒ වෙනුවෙන් දැන් ශරීරය සම්බන්ධ වැඩ කටයුතු කරගෙන යනවා. මොකද පසුගිය කාලෙ හොඳට කකා බිබී ඉඳලා ඇඟ ටිකක් වගේ මහත්වෙලා තිබුණෙ. දැන් නැවත නිර්මාණ කටයුතු වෙනුවෙන් කැපවෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම නිවේදනය පැත්තෙනුත්  වැඩ කටයුතු කරගෙන යනවා. කොහොමත් නිවේදනය කියන්නේ මම හරි ආසාවෙන් කරන වැඩ කටයුත්තක්.  

අපේ මීළඟ කතාබහට එක්වුණේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරයට අවධානයට දැඩිව ලක්ව සිටින රංගන ශිල්පිනියක වන සුදීක්ෂා සමාධි.

ප්‍ර සුදීක්ෂාව රිදී තිරයෙන් ඉතා නුදුරේම දකින්න පුළුවන් නේද?

ඔව් - ඇත්තටම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් වන ‘සූර්යා’ ජුලි 4 එළිදැක්වීමට නියමිතව තියෙනවා. ඉතින් මෙතෙක් මාව ටෙලිනාට්‍යවලින් දැකපු ප්‍රේක්ෂකයන්ට ‘සූර්යා’ හරහා වෙනස්ම චරිතයකින් මාව දැකගන්න ලැබෙයි. 

ප්‍ර සූර්යා හි ඔබේ චරිත රංගනය ගැන මොකද හිතෙන්නෙ?

මගේ චරිතය තමයි වොනීෂා. සූර්යා කියන්නේ තරුණ පරපුර නියෝජනය කරන කතාවක්. ඉතින් මෙහි මගේ චරිතය ඉතාම වෙනස් චරිතයක්. චිත්‍රපටය අවසානයේ තමයි මගේ චරිතයෙ තියෙන හරිම කතාන්දරය එළියට එන්නෙ. ඉතින් මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයො වෙනස්ම විදියකට මාව දකීවි සහ වෙනස් අත්දැකීමක් මේ තුළින් ලබාවී කියලා මම විශ්වාස කරනවා. 

ප්‍ර කොහොමද මේ සිනමා අත්දැකීම?

මේ මගේ දෙවන සිනමා අත්දැකීම. පළමු නිර්මාණය ලස්සන ජයසේකර අධ්‍යක්ෂවරයාගේ ‘විලන්’.  එතකොට තවත් නිර්මාණයක් මේ වසරෙදිම තිරගත වෙන්න තියෙනවා. ඒ අනූෂ එදිරිමුණි අධ්‍යක්ෂවරයාගේ ‘මදර් ලංකා’.  ඇත්තටම මේ වසර ඒ කියන්නෙ 2025 වසර මගේ රංගන ජීවිතේ සිනමා වසරක් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම ගැන හරිම සතුටුයි. විශේෂයෙන් සූර්යා ගැන කතා කළොත් මට මෙහිදී ප්‍රවීණ ඉතාම දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒක නම් ඇත්තටම නවක රංගන ශිල්පීන් වන අපට ඉතාම වටිනා අවස්ථාවක්. ඉතින් ඔවුන් එක්ක හොඳ  කාලයක් ගත කළා. ඒ කාලය තුළ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්නත් හැකිවුණා.

ප්‍ර මේ නිර්මාණය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මම ඉහතින් සඳහන් කළා වගේ ‘‘සූර්යා’’ කියන්නෙ තරුණ පරපුර නියෝජනය කරන කතාවක්. ඉතින් බාල, තරුණ, වැඩිහිටි කාටත් වයස් භේදයකින් තොරව නරඹන්නට හැකි නිර්මාණයක් තමයි මේ. මේ චිත්‍රපටය නරඹලා අවසානයේදි ඔළුවට හොඳ උත්තේජනයක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලද්දී සමහර ඒවායේ  හොඳ ආදර්ශයන් තියෙනවා. සමහර ඒවායේ නැහැ. ඒවාගේ හරයක් අපි හොයා ගන්න ඕනෑ. 

නමුත් මේ නිර්මාණයේ එහෙම නැහැ. හිතට තට්ටු කරලම කියනවා මෙන්න මේකයි යථාර්ථය කියලා. තාක්ෂණය භාවිතයේ යහපත්, අයහපත් බව, ඒ වගේම තරුණ වැඩිහිටි පරපුරට ඔවුන්ගේ හැඟීම් සහ  ආදරය එක්ක ගනුදෙනු කරද්දි කොහොමද මුහුණ දෙන්න ඕනෑ?  ඒ හැමදේම හරිම ලස්සනට මේ තුළ කතා කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය නරඹලා ඒ අත්දැකීම ලබාගන්න පුළුවන්. 

ප්‍ර පෙර සඳහන් කළානෙ මේ සුදීක්ෂාගේ සිනමා වසරක් කියලා. ඉතින් මේ සිහිනයක් සැබෑවීමක්ද?

ඔව්. ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට රඟපාන්න පටන් ගත්තම සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම ඔවුන්ගේ හීනයක්. ඉතින් ඒ හීනය ඇතුළෙ මමත් ජීවත් වුණා. ඒ හීනය ‘විලන්’ චිත්‍රපටයෙන් යථාර්ථයක් බවට පත්වුණා. ඒ වගේම  සූර්යා ඒ හීනය තව තවත් වර්ණවත් කළා. ඉතින් මම හිතනවා මගේ එන්න තියෙන නිර්මාණත් ඒ හා සමානව ඉදිරියට යයි කියලා. 

හිමින් යන තරමට ලස්සනයි මට කිසිම හදිසියක් නැහැ. ඉතින් හොඳ නිර්මාණ එක්ක එළියට එන්න ඕනෑ කියන තැන තමයි මම ඉන්නෙ.

ප්‍ර ‘සූර්යා’ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

මෙහි අධ්‍යක්ෂවරයා මහේෂ් මුණසිංහගෙන් තමයි ආරාධනා ලැබෙන්නෙ. මාව මේ වෙනුවෙන් යෝජනා කරලා තිබුණෙ මෙහි පිටපත් රචක රොනල්ඩ්  දිසානායක. ඉතින් ඔහුටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ මාව මේ වෙනුවෙන් යෝජනා කළාට.

ඒත් එක්කම සූර්යා හි නිෂ්පාදක දිනේෂ් මුතුගල ඔහු කව්රුත් දන්න ගුරුවරයෙක්. ඔහු පළමුවරට නිෂ්පාදකවරයෙක් විදියට එළියට එනවා සූර්යා හරහා. ඒ වගේම චිත්‍රපටය ඇතුළත රංගනයෙන් දායක වෙනවා. එයත් විශේෂ වේවි මම හිතන්නෙ මෙය නරඹන ප්‍රේක්ෂකයන්ට, වගේම ඔහුගෙන් ගුරුහරුකම් ලබාගන්න සැම කෙනෙක්ටම ඒ අය වගේම විශේෂයෙන් මේ තුළ ප්‍රධාන චරිතයෙන් එකතු වන ජනිත් වික්‍රමගේ අයියා. ඔහුත් මේ නිර්මාණය මේ විදියට අරන් එන්න විශාල කැපකිරීමක් කළා. 

මේ කණ්ඩායමේ හැමෝම ඉතාම ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ නිර්මාණය වෙනුවෙන් සිදුකළ කැප කිරීමට.

ප්‍ර මේ නිර්මාණයට අමතරව සුදීක්ෂාට ‘මායාවි’ හි මංගේශ්වරී වෙනුවෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්, ඒ ගැන කියන්නම ඕනෑ. මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයාගේ පිටපතක් අනුව සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන මායාවි ලලිත් වසන්ත මහත්මයා තමයි නිෂ්පාදනය කරන්නෙ. 

ඇත්තටම ඒක ගොඩක් ලස්සන වෙනස්ම විදියෙ නිර්මාණයක්. එහි මගේ චරිතය අභියෝගාත්මක චරිතයක් කිව්වොත් හරි. නමුත් මට මේ වෙනුවෙන් ආරාධනා කළාම හරිම ආසාවෙන් තමයි ඒක භාරගත්තෙ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ චරිතය වෙනත් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම ප්‍රතික්ෂේප කරපු චරිතයක්. ඉතින් මේ චරිත රංගනයට මාව විශ්වාස කරලා මට ලබාදීම ගැන ඇත්තටම සතුටුයි. මොකද අද වෙද්දි මංගේෂ්වරීට ලැබෙන ප්‍රතිචාර විශාලයි. ඉතින් මම මේ චරිතයට සාධාරණයක් කරනවා ඇති කියලා විශ්වාස කරනවා.  

මොකද මේ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර නිසා. ඉතින් ඉදිරියේදිත් මේ වගේ එකිනෙකට  වෙනස් විදියෙ චරිත එක්ක ලස්සන නිර්මාණවලින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා.

ධනූ විජේරත්න
සඳුන් ගමගේ