ජීවිත ඉරණම හූනෙකුට කියන්න පුළුවන්ද ?


ඈත අතීතයේ සිටම කපුටු සාස්තරේ, හූනු සාස්තරේ, කෑරලා හඬ නැඟීම, නොයෙකුත් සතුන්, නොයෙකුත් මිනිසුන්, නොයෙකුත් පාරිසරික සාධක ආදී බොහෝ දේ ඇසුරින් පලාපල කියන්නට මිනිස්සු පුරුදු වී සිටියහ. ගමනක් බිමනක් යනවිට පළමුව මුණගැසෙන පුද්ගලයා අනුව එම ගමනේ කටයුත්ත සාර්ථක වනවාද නැද්ද යන්න කලින්ම දැනගැනීමට හැකි බව ඇතැමුන්ගේ මතයයි.   

මෙහිදී හිස් කළයක් අතින් ගත් කාන්තාවක්, වැන්දඹු කාන්තාවක්, නරක හැසිරීම් ඇති කාන්තාවක්, ස්වාමින් වහන්සේ නමක්, අංගවිකල මිනිසකු, හිඟන්නකු, ඕපාදූප කතා කරන ගමේ සිටින මූසල යැයි මිනිසුන් විශ්වාස කරන කාන්තාවක හෝ පුරුෂයකු පළමුව මුණගැසුණේ නම් එම ගමන ඉතා අසුභ බවත් එම කාර්යය සඵල නොවන බවත් ඇතැම්හු විශ්වාස කරති. ඒ වගේම නිවසින් එළියට බසින විටම බල්ලකු කන්පට ගැසීම, හූනකු චික් චික් ගෑම, කාට හෝ කිවිසුම් යෑම, පූසන්ගේ බෙරිහන් දීම, බල්ලකු උඩු බිරීම, කිරළ නාදය, යමක් අමතක වී නැවත ගේ තුළට යෑමට සිදුවීම, පය පැටලීම, ගෙන යන බෑගයේ කොක්ක කැඩීයාම, අතේ තිබෙන දෙයක් බිම වැටීම ආදිය සිදුවූයේ නම් එම ගමන ද අසුභ දෙයක් ලෙස සැලකේ.   


මිනිසුන්ගේ සිත් තුළ මෙවැනි විශ්වාස මුල් බැසගෙන තිබුණ ද ඒවායේ සත්‍ය අසත්‍යතාවක් තිබේද? කොහේවත් සිටින සතෙකුට හෝ බාහිර පුද්ගලයකුට තම ජීවිතයේ ඉරණම වෙනස් කළ හැකිද?   


නිර්මලා, වසන්ත සමඟ ජීවත් වන්නේ ඔවුන් විසින් මැටියෙන් සාදාගත් කුඩා පැල්පතකය. ආනමඩුව ප්‍රදේශයේ ජීවත් වන මොවුන් දෙදෙනා විවාහ වී වසර කීපයක්ම ගතවුවද ඔවුන්ට දරුවන් සිටියේ නැත. අවුරුදු තිස්හතක කාන්තාවක වන නිර්මලා තම සැමියා වන වසන්ත සමඟ ජීවත් වන්නේ ඉතා දරිද්‍රතාවයෙනි. විවාහ වී කලක් ගතවුවද කිසිදු ආර්ථික දියුණුවක් ඇතිවූයේද නැත. වසන්ත උදෑසනම අවදි වී නිවසින් පිටවන්නේ එදින ලැබෙන කුලී රැකියාවක් කර මුදලක් උපයා ගන්නා බලාපොරොත්තුවෙනි. කොතරම් දරිද්‍රතාවකින් පෙළුණත් නිර්මලා හූනු සාස්තරය නම් අකුරටම පිළිපැදි කාන්තාවක් වූවාය. මේ නිසාම අඟහිඟකම්වලින් ඔවුනට අඩුවක් තිබුණේ නැත.   


හූනන්ගේ ‘චික් චික්’ නාදයත් සමඟ “ඔන්න බාධා වුණා” යයි පවසමින් බොහෝ වැඩ කල්දැමීම ඇයගේ සිරිතක් විය. විවාහ වී වසර කීපයක් ගත වී ඇතත් දරුවන් නොසිටි මොවුන්ට දරුවකු ලැබෙන්නේ නොසිතූ කාලයකය. ඒ වනවිට නිර්මලාට අවුරුදු තිස්හතකි. වසන්තට අවුරුදු හතළිස් එකකි. කලකට පසු දරුවකු ලැබීම ඔවුන් දෙදෙනාට සතුටක් වුවද එම සතුටට වඩා ඔවුන් තුළ ප්‍රශ්න වැඩිවන්නට විය. වසන්තට හරිහැටි රැකියාවක් නොතිබූ හෙයින් දරුවාගේ වියහියදම් දැරීම පවා ඔවුනට මහත් ප්‍රශ්නයක් විය.   


කෙසේ හෝ දරුවාගේ කටයුතු සිදුකිරීමට වන නිසා නිවස අසල ඇති සිල්ලර කඩයටත් ඇතැම් මිනිසුන්ටත් ණය වන්නට සිදුවිය. මෙම නිවසේ දරුවා තබාගැනීමට අපහසු නිසා බිමටවත් සිමෙන්ති ටිකක් දමා ගැනීමට සිතූ ඔවුන්ට එවැනි දේ සඳහා ද සුළුවෙන් හෝ ණය වන්නට සිදුවිය. මොන දේ කළත් හරියන පාටක් නැත.   


එන්න එන්නම ප්‍රශ්න පමණකි. අවුරුද්දේ වැසි කාලවලදී ප්‍රශ්න තව තවත් උග්‍රවිය. මක්නිසාද යත් එවැනි කාලයන්වලදී එදිනෙදා රැකියාව පවා වසන්තට නොලැබී යාම නිසාවෙනි. හිඟා නොකා හිඟා කන තත්ත්වයකට ඔවුහු පත්වූහ. නිර්මලාට ජීවිතය නැති කරගන්නට සිතුණු වාර අපමණය. නමුත් දරු පැටියා නිසා කෙසේ හෝ එම ප්‍රශ්න දරාගෙන ජීවත් වන්නට නිර්මලාට සිදුවුණි. දැන් දැන් වනවිට මානසික මෙන්ම ශාරීරික ලෙඩ රෝග ද නිර්මලාට තිබේ. නිතරම කුමන හෝ අසනීපයකි. වරෙකදී හිසරදය, වරෙක කරකැවිල්ල, දණහිස් වේදනා, පපුවේ දැවිල්ල නිතර කියන්නා වූ රෝගවලින් කීපයකි.   


ඔවුන් සන්තකයේම තිබුණේ වසන්තගේ පියාගෙන් ඔවුනට ලැබුණු පර්චස් තිහක ඉඩම් කැබැල්ල පමණි. “එන්න එන්නම ප්‍රශ්න වැඩිවන්නේ උඹලට භූමි පාළුවක්වත් කරලා ඇති” යනුවෙන් අලුත් අදහසක් නිර්මලාගේ ඔළුවට දැම්මේ ගමේ සිටින නන්ද‌ා විසිනි. “ඒක නම් මටත් හිතුණා. කරන කරන වැඩේ ගඟට කපන ඉණි වගේ වෙනවා. හැමදාම ලෙඩවල අඩුවකුත් නැහැ. කොච්චර හිත හදාගෙන මොන අලුත් වැඩක් කරන්න ගියත් බාධා වෙනවා. පුදුම දේ කියන්නේ මොන වැඩේට අත තිබ්බත් හූනො කෑ ගහලා ඒක කඩාකප්පල් කරනවා. ඒ වුණාට ඉතිං ඒකට මොකක් හරි කරවන්න හරි බලන්න හරි සල්ලි එපායෑ” නිර්මලා පවසන්නට විය.   
“ඕවා ගැන හිත හිත ඉන්න එපා. සුළු ගානක් හරි හොයාගෙන පේනයක්වත් බලන්න යමු. අපිටත් ඔහොම කාලයක් තිබිලා රතු මල්ලිලාගේ දේවාලෙන් වැඩ කරාට පස්සෙ තමයි ඔළුව ඉස්සුවේ. දේවාලෙන් වැඩ කරලා මාස හයක් යන්න කලින් අසනීපත් හොඳ වුණා. අතට සල්ලිත් එන්න ගත්තා” නන්ද‌ා වචන බර කරමින් කියා සිටියාය.   


“අනේ නන්දක්කේ ඔය ඇත්තමද. අපිත් හෙටම දේවාලයට යමුද?” නිර්මලා ඇසුවේ හිතට පොඩි සැනසීමක් ලැබුණාක් මෙනි. “හෙට සඳුද‌ානේ. හෙට ගිහිල්ලා වැඩක් නැහැ. හරියටම කියවෙන්නේ බද‌ාද‌ාටයි සිකුරාද‌ාටයි. ඒ නිසා අපි බද‌ාද‌ා යමු” නන්ද‌ා කීවාය. එදින උද‌ාවිය.   


නිර්මලා වසන්තත් කැමති කරවාගෙන දරුවා ද රැගෙන නන්ද‌ා සමඟ පේනය බැලීම සඳහා රතු මල්ලිලාගේ දේවාලය වෙත ගියාය. රුපියල් තුන්සිය දහයක මුදලක් බුලත් අතක් සමඟ තබා තමන්ගේ වාරය එන තෙක් බලා සිටියාය. ඔවුන්ගේ වාරය පැමිනුණි. ආරූඪයට පත් වූ මෑණියෝ මොවුන්ට සාස්තරය කියන්නට පටන් ගත්තාය.   


“ඇත්තටම මොකක්ද මේ ගෙදර තියෙන ප්‍රශ්නෙ? ප්‍රශ්න ගොඩක් පෙන්නුම් කරනවානේ. කරන කිසිම දෙයක් හරියන්නෙ නැහැ වගේ” ආදී වශයෙන් කරුණු කීපයක් මෑණියෝ කියාගෙන කියාගෙන ගියාය.   
“ඔව් ඔව් මෑණියනි. අපිට ඔය කියන ප්‍රශ්න ඔක්කොම තියෙනවා. මොන දේ කරත් දියුණුවක් නැහැ. ගෙදර බල්ලො කනපට ගහන ඒවා. හූනො කෑගහලා බාධා කරන ඒවා ගොඩක්ම තියෙනවා” මෑණියන්ට පේනය පහසු කරවමින් නිර්මලා ප්‍රශ්න කියාගෙන කියාගෙන යන්නට වූවාය.   


“මේක මේ ගෙදරට කරපු දෙයක්. කිසිම වගතුවක් නැහැ. ධන හානි වෙනවා. සල්ලි බහිරවයා අදිනවා. ඔය ලෙඩ ඇතිවෙන්නෙත් ඒකෙ බලපෑමෙන්” මෑණියෝ නිර්මලාට ඇති සියලු ප්‍රශ්න කියාගෙන ගියාය.   
“මොකක්ද මෑණියෝ ඒකට දැන් කරන්න ඕනා?” නිර්මලා මෑණියන්ගෙන් ඇසුවාය.   


“ඉස්සෙල්ලා මට වත්ත බලන්න ඕනෙ. දිනයක් දාගෙන අද හෙටම ඇවිත් මං වත්ත පරීක්ෂා කරන්නම්. ඉන්පසු අපි දෙවන පියවර පටන් ගමු” කියා මෑණියෝ පේනය කීම අවසන් කළාය.   


නිර්මලාටත් වසන්තටත් මෑණියන්ගේ කතාව ඉඩෝරයට දිය පොදක් සේ මහත් ශක්තියක් විය. “අපි ඉක්මනටම දිනයක් ද‌ාගමු. කවදද පුළුවන්” යැයි පේන කියන කාන්තාවගේ ආවතේව කරන එම කාන්තාවගේ සැමියා වන රතු මල්ලිගෙන් මේ සම්බන්ධව විමසීය. “මෑණියොත් එක්ක කතා කරලා හෙට හවසම එන්නම්” රතු මල්ලිගේ පිළිතුර විය. කිවූ පරිදි රතු මල්ලිත් මෑණියොත් පසුදා සවස මොවුන්ගේ භූමිය පරීක්ෂා කිරීමට ගියහ.   
වසන්තලාගේ නිවසට ඇතුළු වූ මෑණියන් වත්තේ තැනින් තැන ඇවිද වටපිට බලමින් උඩ බලාගෙන ආරූඪය ලබාගත්තාය. හිස පද්දමින් ආරූඪයෙන් නිවස වටේත් ඉඩම වටේත් නිවස ඇතුළතත් ගමන් කළ මෑණියෝ, “මේකට ප්‍රේත බන්ධනයක් කරලා තියෙනවා. මේකට අවුරුදු පහළොවකටත් වැඩියි. මේක අතහැරලා යන්න තමයි කරලා තියෙන්නේ” යනුවෙන් මෑණියෝ විස්තර කරදුණි.   


“මෑණියනි ඒක කවුද කරලා තියෙන්නේ?” නිර්මලා මෑණියන්ගෙන් ඇසීය. මොනවදෝ කියමින් හිස ඒ මේ අත පැද්දූ මෑණියෝ,   


“ඒ කරපු එකා දැන් ජීවතුන් අතරත් නෑ. ඒක නිසා ඒක හෙව්වා කියලා පලක් නෑ. කරන්න තියෙන දේ තමයි එම භූමි පාළුව කපා දැමීම” මෑණියන්ගේ පිළිතුර විය.   


“මොකක්ද මෑණියනි මේකට කරන්න ඕන දේ” නිර්මලා විමසීය. “ඕකට අවශ්‍ය කළමනා ලෑස්ති කරගෙන දිනයක් දාගන්න. ඒක අස්කරාට පස්සේ උඹලට හොඳ කලක් උදාවෙයි” යනුවෙන් පවසා මෑණියෝ ආරූඪයෙන් මිදුණාය.   


අවශ්‍ය බඩු තුණ්ඩුව මොවුන්ට ලියා දී එය අස්කිරීම සඳහා ගාස්තුව රුපියල් පහළොස් දහසක් ලෙස රතු මල්ලි පැවසීය.   


“එච්චර ගාණක් අපි කොහෙන් හොයන්නද? බඩු ටික කොහොම හරි ගමේ ගොඩෙන් හොයාගත්තා කියලා හිතමු. නමුත් ඔච්චර ගාණක් අපිට දෙන්න හිතන්නවත් බැහැ. ඒක අපේ කරුමෙ තමයි” යනුවෙන් වසන්තත් නිර්මලාත් දුක කියන්නට විය.   


“කමක් නෑ. උඹලගේ දුක මට තේරෙනවා. ඒක නිසා අපි ඕකට රුපියල් පන්දහසක්ම අඩු කරන්නම්” යනුවෙන් පවසා රුපියල් දසදහසකට භූමි පාළුව කපා දැමීමට මෑණියෝ කැමැති වූහ.   


“අපි කොහොමද මෙච්චර ගාණක් හොයන්නෙ? ණයට ගන්නවත් කෙනෙක් නෑ” යනුවෙන් වසන්ත දිගින් දිගටම එම මුදල සොයාගැනීමේ නොහැකියාව ප්‍රකාශ කළ ද “ඉඩම උගස් තියලා හරි මේක කරේ නැත්තම් අපි තවත් අමාරුවේ. ඒක නිසා මේක කොහොම හරි කරන්න ඕනේ” යන්න නිර්මලාගේ අදහස විය. දන්නා කියන මිනිසුන්ගෙන්ද ණයට මුදල් ඉල්ලාගෙන වසන්ත මේ දිනවල වැඩ කරන කොන්ත්‍රාත්කරුවාගෙන්ද රුපියල් පන්දහසක මුදලක් ඉල්ලාගෙන භූමි පාළුව ඉවත් කිරීමට සූදානම් බව මෑණියන්ට දැන්වීය.   


“ඊටපස්සේ ඔය ගෙදර ඉන්න හූනො ප්‍රශ්නෙත් විසඳෙනව ද?” නිර්මලා මෑණියන්ගෙන් ඇසීය. “හූනො වැඩියෙන් බෝ වෙන්නෙත් නරක කාලයට. මොකද කරන කරන හැම වැඩේටම බාධා ඇතිවෙන්න ඕනෙ නිසා තමයි එහෙම වෙන්නෙ. ඕකෙන් පස්සෙ ඒ කරදරෙත් අහවර වෙයි” මෑණියෝ නිර්මලා අස්වැසුවාය.   


එම දිනයද උදාවිය. මෑණියෝ රතු මල්ලිත් තවත් අත්උදව්කරුවකුත් සමඟ හැන්දෑවේ හතට අටට පමණ භූමි පාළුව කැපීම ඇරඹුවාය. මිනී හිස් කබල් කැබැල්ලක්, ගෙරි ඔළු කැබැල්ලක්, විවිධ පලතුරු ගෙඩි කීපයක්, විවිධ ගස් කඳන් කැබලි කීපයක් ආරූඪයෙන්ම කඩුවෙන් කපමින්, දුම්මල අල්ලමින් පැය තුනක හතරක කාලයකදී භූමි පාළුව කපා ඉවත් කළහ.   


ආරූඪයෙන් ඉවත් වූ මෑණියෝ, “අපේ වැඩේ අහවරයි. දැන් නුඹලට හොඳ කලක් උදාවෙයි. දැන් සතුටෙන් ඉඳපල්ලා. මහන්සි වෙලා වැඩපළ කරපල්ලා” යනුවෙන් පවසා රුපියල් දසදහසක මුදල ද රැගෙන රාත්‍රී දොළහ වන්නටත් පෙර වසන්තගේ නිවසින් පිටත් වූවාය.   


වසන්තත් නිර්මලාත් එදින නින්දට ගියේ මහත් සැනසීමකිනි. මන්ද, විවාහ වූ දිනයේ සිටම පැවතුණා වූ බාධකය අද දින අවසන් වූ බලාපොරොත්තුවෙනි. මහන්සියත් සතුටත් සමඟ හොඳ නින්දක් ලැබූ ඔවුන් පසුදා අවදි වූයේද දවල් වීය. ලෙඩදුක්ද අද වනවිට දැනෙන්නේ නැත. සිතේ සතුට නිසාම ප්‍රබෝධයෙන් යුතුව පසුවූ වසන්ත එදින වැඩට නොගිහින් ඊළඟ දිනයේ වැඩට යන්නට සිතුවේය.   


දැන් වසන්තත් නිර්මලාත් කල් ගෙවන්නේ සියලු ප්‍රශ්න අහවර වූවාක් මෙනි. ලෙඩ රෝගද නැත. නමුත් මෙලෙසද ගතවූයේ මාස දෙකකට ආසන්න කාලයකි. අඟහිඟකම් යළිත් දැනෙන්නට පටන් ගත්තේය. නිවසේ හූනන්ගේ බාධා කිරීම්ද නිර්මලාට හොඳින් දැනෙන්නට විය. ලෙඩරෝගද නැවත ඇරඹිණි.   


“ඒකෙනුත් එහෙනම් අපිට පලක් වුණේ නැහැ” මෙලෙස ඔවුන්ගේ ප්‍රශ්න ටික පෙර තත්ත්වයටම පත්විය.   


ඉන්පසුවද නොයෙකුත් වත්පිළිවෙත් සිදු කළද අන්තිමේදී ඔවුන් ණය වූ තරමට ඉඩමද විකුණන්නට තීරණය වුණි. ඉඩම විකුණන බව ප්‍රසිද්ධ වීමෙන් පසුව ගමේ අයද මොවුන්ගේ පවුලට වීමට යන විපත්තිය ගැන සොයාබලන්නට වූහ. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ බව දැන මොවුන් පන්සලට ගෙන්වා කතා කරන්නට වූහ. එහිදී සිදුවූ සියල්ල මොවුහු විස්තර කරදුන්හ.   


එය අසා සිටි ලොකු හාමුදුරුවෝ “ඔබ දැන්ම කලබල වෙන්න එපා. පන්සලෙනුත් පුළුවන් විදියට උදව් කරන්නම්. තව ඉවසලා බලන්න” යැයි පැවසූ හාමුදුරුවෝ “ඒත් එක්කම ඔබලා මේ බව ගිහින් කතා කරන්න විද්‍යාකුලපති මහතා සමඟ” යනුවෙන් ද පවසා මොවුන්ව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


“නමුත් අපිට ඒකටවත් සල්ලි නැහැ හාමුදුරුවනේ” වසන්තගේත් නිර්මලාගේත් අදහස විය. “ඒකට කමක් නෑ. ඔබ යන්න. මම ඒ මහත්තයට කතා කරන්නම්” ලොකු හාමුදුරුවෝ එලෙස පවසා මෙම සිදුවීම පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා දැනුම්වත් කළේය.   


සිදුවූ සියල්ල හොඳින් දිගු වේලාවක් තිස්සේ අසා සිටි වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් “මට කිසිම සල්ලියක් අවශ්‍ය නෑ. ඔබලා මේ අගාධයෙන් ගොඩ එන්න. මම කියන විදියට වැඩ කරලා නිසි ප්‍රතිකාර අරගෙන ඉඩම විකුණන්නෙත් නැතුව ඔබලා ජීවිතය ජය ගන්න” යනුවෙන් පැවසූ විද්‍යාකුලපති මහතා මොවුන්ගේ ප්‍රශ්නය විසඳීම ඇරැඹීය.   


වෙන වෙනම වසන්තගෙනුත් නිර්මලාගෙනුත් විමසා ගමේ මොවුන්ට ආදරය කරන කීපදෙනෙකුත් කැඳවා ගැටලුව පිළිබඳව දිගු වේලාවක් කතා කළේය.   


“හරි මම මේකට විසඳුම් දෙනවා. පළමුව ඔබලා දෙදෙනාම මනෝ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි” යනුවෙන් පවසා ඔවුන්ගේ කැමැත්ත ඇතුව ඔවුන් දෙදෙනාට මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාදුණි.   


ඒ අතර වසන්තට රැකියාවට යන ලෙස ද වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් දැනුම්වත් කෙරිණි. සති දෙක තුනක් යනවිට නිර්මලාගේ සිතෙහි තිබූ දුක, කලකිරීම, අසතුට මෙන්ම කායික රෝගද අඩුවන්නට විණි. ඒ වගේම වසන්තගේද සිතෙහි තිබූ එපාවීම, කලකිරීම වෙනුවට ධෛර්යයෙන් වැඩ කිරීමට පෙළඹිණි. මාස තුනක කාලයක් මොවුන්ට ප්‍රතිකාර කිරීමත් සමඟ මොවුන්ගේ ගැටලු ටිකෙන් ටික නිදහස් වන්නට විය. හම්බ කරන සුළු මුදලින් පවා අරපිරිමැස්මෙන් පාවිච්චි කර ණය පියවා ගැනීමට ඔවුන් පෙළඹුණහ. මාස හතරක් පහක් යනවිට ඔවුන්ගේ ණයද අඩු විය. ශාරීරික හා මානසික ගැටලුකාරී තත්ත්වයන්ද අඩු විය. ඒ වගේම සිතෙහි සතුටද වැඩි විය. අද වනවිට මෙම ක්‍රියාදාමයට වසර දොළහක් ගත වී ඇත. දරුවාද හොඳින් අධ්‍යාපනයේ නිරත වන අතර, අද මොවුහු ඉඩම විකිණීමෙන් තොරව මැටිගෙදර කඩා ඉවත් කර සාමාන්‍ය තත්ත්වයේ නිවසක් සාදාගෙන ලස්සන ජීවිතයක් ගත කරති. මෙහි සිදු වූ ඇතුළාන්තය වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කළේය.   


“මෙතැනදී මාහට පැවසීමට කරුණු කිහිපයක් තිබෙනවා. පළවෙනි කරුණ නම් මිථ්‍යා විශ්වාස හිතේ දරාගෙන කල් ගෙවූ නිර්මලා කාලයක් තිස්සේ මානසික පීඩාවට ලක්වීම නිසා ක්ලමථ අක්‍රමිකතා (Stress Disorders) නම් ගැටලුකාරී තත්ත්වයට පත්වුණි. එහි ලක්ෂණ නම් මානසික ලක්ෂණ ලෙස දුක, කලකිරීම, එපාවීම, තරහයාම, අමතක වීම, සතුට නොදැනීම, අනියත බිය, දෙයක් පටන් ගත්තත් මගදී එපාවෙන ගතිය, කිසිම දෙයකට සිත් නොදෙන ගතිය, මීට වැඩිය හොඳයි මැරෙනවා නම් යැයි සිතීම, කොටින්ම කියනවා නම් ජීවිතය විඳිනවා නොව විඳවනවා ලෙස දැනීම ඔවුන්ට දැනේ.   


මෙහි ශාරීරික ගැටලු ලෙස නින්දේ අක්‍රමිකතා එනම්, ඒකාකාරී නින්දක් රාත්‍රියේ සිදුනොවීම හෝ දහවල් කාලයේ පවා නිදිබර ගතිය වැඩිවීම, ආහාර ජීර්ණ පද්ධතිය මුල්කරගත් රෝග තත්ත්ව එනම්, බඩ පුරවා දැමීම, බඩගින්න නොමැති වීම, ආහාර අරුචිය, බඩේ දැවිල්ල, ගැස්ට්‍රයිටීස්, මලබද්ධය හෝ වැසිකිළි යාමේ අක්‍රමිකතා ඇතිවිය හැකිය.   


ඒ වගේම හිසරදය, ඇඟපත කැක්කුම, හන්දි වේදනා, ඇඟටපතට අප්‍රාණික ගතිය, මොකක් හරි රෝගයක් නිතර නිතර වැළඳීම, ඇඟට පතට කිසිදු ක්‍රියාශීලී බවක් නොමැති වීම ආදී බොහෝ ලක්ෂණ විය හැකියි. මෙය දරුණු තත්ත්වයට පත්වුවහොත් Depression නැතහොත් ‘විශාදය’ ලෙස හඳුන්වන අතර, සාමාන්‍ය තත්ත්වයේදී ‘ක්ලමථය’ ලෙස හඳුන්වයි. අප විසින් මුලින්ම සිදුකළේ මොවුන් දෙදෙනාටම ඒ සඳහා ප්‍රතිකාර කිරීමයි.   
දෙවන කරුණ නිර්මලාගේ සිතේ ඇති වූ මිථ්‍යා විශ්වාස සහ හූනන් ගැන පවතින මිථ්‍යා විශ්වාසයයි. එය ද පැහැදිලි වශයෙන්ම මිථ්‍යාවකි. හූනන් සම්බන්ධ අනාවැකි බලන විට එය මෙලෙස වේ.   


හිස - කළහ, පපුව - ධන ලාභ, මුහුණ - බන්ධු දර්ශන, තනය - උතුම් ගෞරවයන්, නළල - තානාන්තර, බඩ - ධන ලාභ, බැම මැද - බන්දු, නාස, නැබ - රත්න ලාභ, බැම - රජුගෙන් ගෞරවය, දකුණු ඇල - දියුණුවීම, වම් ඇල - මරණය, ඇස - සිර භය, නාසය - ව්‍යාධි, පිට කොන්ද - ද්‍රව්‍යයන් ලාභ, උඩු තොල - වස්තු හානි, පිට - ශුභ සම්පත්, මුඛය - භය, ලිගුව - දරිද්‍ර, යටිතොල - වස්තු ලැබීම, යෝනිය - පුරුෂයාට මරණය, නිකට - රාජ දඬුවම්, වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ, දකුණු කන - දීර්ඝායු, ගුදය - වස්තු ලාභ, වම් කන - වෙළෙඳ ලාභ, කලව - පියාට විපත්, හිසකෙස් - මරණය, දකුණු කෙණ්ඩ - බොහෝ පාඩු, බෙල්ල - සතුරු හානි, වම් කෙණ්ඩ - කලහ, දකුණු උර - නිරෝගී, ඇසවට - සැප, වම් උර - ස්ත්‍රී සැප, දකුණු පාදය - දුක්, වම් වළලුකර - කීර්තිය, දකුණු පාදයේ ඇඟිලි - රාජ භය, දකුණු අත - භයානක මරණ, වම් පාදයේ ඇඟිලි - රුද්‍ර සහිත රෝග, වම් අත - ශෝක මරණ, නියපොතු - ධන හානි. දකුණු අත ඇඟිලි - රාජ සම්මාන, ශරීරයේ දිව්වේ නම් දීර්ඝායු.   


මෙය අප සමාජයේ ඇතැම් මිනිසුන් තුළ තිබෙන්නා වූ දරුණු මිථ්‍යාවකි. හූනකු කෑ ගසන්නේ එම සත්ත්වයාගේ ක්‍රියාකාරකමක් ලෙස මිස මිනිසුන්ට බාධා එල්ල කිරීමට නොවේ.   


හූනා කියන සතා බිත්තිවල, වහළයේ ගමන් කරනු ඔබ දැක ඇත. ඔවුන් උඩ වහළයේ පවා බිමට නොවැටී ගමන් කරන්නේ කෙසේද යන්න ඔබට ප්‍රශ්නයක් වනු ඇත. නමුත් විද්‍යාත්මකව බලන විට ඔවුන් එසේ ගමන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇති සියුම් කෙඳි විශේෂයක ආධාරයෙනි. නැනෝ තාක්ෂණය පිළිබඳව දන්නා විද්‍යාඥයකු සමඟ ඔබ කතා කළහොත් ඔබට එය හොඳින්ම වටහාගත හැකි වනු ඇත. එම සතාගේ දෝෂයක් මත සතා බිම වැටෙනු ඇත. එහිදී ඇඟට වැටුණහොත් ඇඟේ ස්ථාන අනුව ඇතැම් මිනිසුන් විසින් මිථ්‍යා කතාවන් පවසා පලාපල කියයි.   


නමුත් කිසිසේත්ම හූනෙකුට පලාපල සිදුකිරීමට නොහැක. ඔබ ජීවත් වන්නේ ඔබ කළ හොඳ නරක මතයි. මෙන්න මෙම සිතුවිල්ල මා විසින් නිර්මලාගේ යටි සිතට ඇතුළු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස කීපයක් යනවිට ඔවුන් ශාරීරිකව හා මානසිකව නිරෝගි වී අද වනවිට හොඳ තත්ත්වයේ පසුවෙනවා.   


මේ පිළිබඳව සමාජයට මට දෙන්න තිබෙන මතය තමයි හූනා කියන්නේත් සත්ත්ව රාජධානි බලන විට එහි විශේෂයක් වන එක් ජීවි විශේෂයක් පමණකි.   


එම ජීවි විශේෂයට මිනිසුන් සම්බන්ධව බාධා කිරීමට හෝ මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අනාවැකි සිදුකිරීමට කිසිදු හැකියාවක් නැත. එය සම්පූර්ණ මිථ්‍යාවක් පමණයි. කිසිසේත්ම හූනා කෙරෙහි විශ්වාසයක් තැබීම මිථ්‍යාවක් පමණකි.   

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)   

 

 


සටහන: හබරාදුව නිමල් අල්ගෙවත්ත