කලා ක්ෂේත්‍ර සියල්ලම පාහේ අද වනවිට මුහුණ දී ඇත්තේ බරපතළ අභියෝගයකටය. එකී බලපෑම සංගීත ක්ෂේත්‍රයට ද එල්ල වී ඇතැයි කීම කිසි ලෙසකිනිදු අතිශයෝක්තියක් නොවන්නේය. ප්‍රසංග වේදිකාව අරභයා ද බරපතළ අර්බුද රැසක්ම නිර්මාණය වෙමින් පවතින යුගයක මේ කතාබහ දර්ශන සුගත් රාමනායක සමගිනි.
හෙතෙම වැලිවේරිය ‘Stage King’ සංගීත කණ්ඩායමේ ප්‍රධානියාය. 2016 දී අරඹන ලද මෙම සංගීත කණ්ඩායම අද වනවිට මෙරට රසිකයන් අතර බොහෝ සෙයින් ජනාදරයට පත්ව ඇති අතර, කලාව කෙරෙහි වූ බලවත් ඇල්ම හේතුවෙන්ම තම සංගීත කණ්ඩායම නිර්මාණය කළ බවද දර්ශන පවසයි.
ලංකාවේ ප්‍රසංග වේදිකාව අද තියෙන්නේ සතුටුදායක තැනක කියල හිතෙනවාද?
ඇත්තෙන්ම අද වෙන දේවල් ගැන නම් ලොකු පැහැදීමක් නෑ. ඊයෙ පෙරේදා දවසක අපේ සහෝදර සංගීත කණ්ඩායමකට එක්තරා ප්‍රහාරයකටත් මුහුණ දෙන්න සිදුවුණා. ඒකෙන් ලොකු පාඩුවකුත් සිදුවුණා කියල ආරංචියි. මේ දේවල් ඇහෙනකොට වගේම දකිනකොටත් ලොකු කම්පනයක් දැනෙනවා. හෙට ඔය දේ අපට වුණත් වෙන්න පුළුවන්. දැන් රසිකයන් කියන්නෙම හරි අමුතු පිරිසක්. ඉස්සර අය සහ මේ අය සසඳද්දී ඒ වෙනස තේරුම් යනවා හොඳින්ම. දැන් ඉන්න රසිකයන්ට සින්දුවක් ගැන වගේම කලාකරුවන් ගැනත් හරිහමන් අවබෝධයක් නෑ. හොඳටම මත්වෙලා තමයි ගොඩක් අය ප්‍රසංගවලට එන්නෙ. ඉතින් අපටත් වෙලා තියෙනවා රසවින්දනය පැත්තකින් තියලා ඒ අයගේ නැටවිල්ල වෙනුවෙන්ම සංගීතය සපයන්න. හැබැයි ඉතින් එතැනදි ටිකක්වත් එහෙ මෙහෙ වුණොත් මොකෙන් මොකක් වෙයිද කියල හිතාගන්න බෑ.
කොරෝනාවෙන් කඩා වැටුණු ප්‍රසංග වේදිකා කර්මාන්තය යන්තමින් ඔළුව උස්සන් එනකොටම ආයෙත් ලොකු හෙණයක් නේද මේ පාත්වෙලා තියෙන්නෙ?
කාලෙක පටන් අමාරුවෙන් ගොඩනගා ගත්තු ගොඩක් දේ කෙටි කාලෙකින් නොහිතපු විදිහට කඩා වැටුණා කොරෝනා නිසා. එතකොට තිබුණු සංගීත කණ්ඩායම් සංඛ්‍යාව සහ අද තියෙන සංගීත කණ්ඩායම් සංඛ්‍යාව අහසට පොළොව වගේ. මේ වෙද්දී ඇත්තෙන්ම කීවොතින් ගමකට එක සංගීත කණ්ඩායම ගාණේ වගේ තියෙනවා. සංගීත කණ්ඩායම් පැටවු ගැහුවත් රසිකයන් නම් හරිම අඩුයි. ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. හැමදාම පරණ අයම මේකෙ ඉන්න ඕනෑ කියලා නියමයක් නෑ. කර්මාන්තයේ පැවැත්මටත් ලොකු පිටිවහලක් අලුත් ශිල්පීන් බිහිවෙන එක. හැබැයි මොනයම්ම දෙයක් වුණත් ප්‍රමිතියක් ඇතිව නිර්මාණය විය යුතුයි.
ඇත්තෙන්ම කීවොතින් කොරෝනාවෙන් පස්සේ අපි නොහිතපු විදිහට සංගීත කණ්ඩායම් ගොඩක් බිහිවෙලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම ප්‍රසංග බෙදිල යන තත්ත්වයක් තමා අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසාම අපට ප්‍රසංග සඳහා ලැබුණු ඉඩකඩේ යම් අඩුවක් දැකගන්න පුළුවන්.
කොහොම නමුත් කර්මාන්තයේ යම් පසුබෑමකුත් එක්කම ලොකු තරගකාරීත්වයකුත් නිර්මාණය වෙලා තියෙනවා කියන එකනම් කියන්නම ඕනෑ. ඒ වගේම තාක්ෂණයත් උපරිමයෙන්ම භාවිත කරන හැකියාවෙනුත් අනූන පිරිසක් අද ප්‍රසංග වේදිකාවෙ ඉන්නවා කියන එකත් කියන්නම ඕනෑ.
ක්ෂේත්‍රයේ වෙනස්කමුත් එක්ක අද ඔබේ කණ්ඩායම ගැන මොන විදිහේ තක්සේරුවක්ද තියෙන්නෙ?
මම බොහොම අමාරුවෙන් ගමනක් ආපු කෙනෙක්. ඇත්තෙන්ම මට සතුටුයි අද මම ඉන්න තැන ගැන. දැනට මා එක්ක පරණම අයගෙන් ඉන්නෙ එකම එක ශිල්පියෙක් විතරයි. ඔහු කීබෝඩ් වාදක රුවන් සමීර. වසර 9 ක් තිස්සේ ඔහු ඉන්නවා මා එක්ක. සංගීත කණ්ඩායමේ කළමනාකරණ කටයුතු වෙනුවෙන් ඔහු මට ලොකු ශක්තියක් සපයනවා. අනෙක් හැමෝම වාගේ අලුත් ශිල්පීන්. ඒ වගේම ඒ අය දක්ෂ පිරිසක් කියන එකත් මතක් කරන්න ඕනෑ. මෙතෙක් ආපු ගමන්මග ගැන ලොකු සතුටක් දැනෙනවා. ආ මග කෙටියි වගේම යන්න තියෙන දුර විශාලයි කියන එකත් නිතරම මගෙ හිතේ තියෙනවා. මා එක්ක හිටපු ශිල්පීනුත් මට නිරතුරුවම සවියක් වුණා. ඒ අයගෙ කැපකිරීමුත් එක්ක තමා මම මෙතෙක් දුරක් ඇවිත් තියෙන්නෙ.
ඉදිරි ගමන්මග වෙනුවෙන් වෙනස් විය යුතු තැන් සහ අඩුපාඩු එහෙමත් හඳුනාගෙනද තියෙන්නෙ?
ඇත්තෙන්ම මේක ‘ටීම් වර්ක්’ එකක්. හැමෝම එක වගේ කැපවෙන්න ඕනෑ මේ වෙනුවෙන්. ඇතුළෙ ඉන්න පිරිස මේ වෙනුවෙන් එකා වාගේ කැපවෙන්න ඕනෑ. ඇත්තෙන්ම මම කණ්ඩායමේ නායකයා විතරයි. මට විතරක් තනියම කරන්න පුළුවන් දෙයක් නොවෙයි මේක. තාක්ෂණයත් මේ ගමනේදි ඉතා වැදගත්. ඒක නැතුව ගමනක් යන්නම බෑ. අලුත් කණ්ඩායම් එක්ක කරට කර හැපෙමින් ගියොත් විතරයි අපට පැවැත්මක් තියෙන්නෙ. මේක මිනිසුන්ගේ හදවත් එක්ක කරන ගනුදෙනුවක්. අපි අලුත් දේ තුළින් ඔවුන්ගේ හදවත් තුළ යම් හෝ මතකයක් ගොඩනැගුවහොත් පමණක් හැමදාමත් අපට මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වේවි.
තාක්ෂණයට අනවශ්‍ය විදිහට වහල් වීම නිර්මාණයේ ස්වභාවිකත්වයට අභියෝගයක් නෙවෙයිද?
කොයි දෙයක් වුණත් අනවශ්‍ය විදිහට ළංකර ගත්තොත් ඒ හැම එකකම අතුරු බලපෑම් එල්ල වෙනවාමයි. හැබැයි දැන් නිර්මාණය වෙලා තියෙන ගීත අතරින් බොහෝමයක් ඒවාත් එකම ආරක නිර්මාණ. සමහර ගීත තියෙනවා තාක්ෂණය නැතුව වාදනය කරන්නත් අමාරු. ඒ වගේ තැන්වලදී සංගීත කර්මාන්තයට ලොකු හානියකුත් වෙනවා. ඒ නිසා ඉතින් එන එන හැමදේම ළං නොකර ගන්න එකත් හැමෝගෙම වගකීමක් කියන එකත් මතක් කරන්නම වෙනවා.
අමිල දොළපිහිල්ල