’කසල කන්ද සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමට බැරි පාලනයකින් වැඩක් නෑ’


(ඩයනා උදයංගනී)
       
කසල කන්දක් කඩා වැටී තිස් ගණනක් ඝාතනය වීම සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස්වලට දඬුවම් ලබාදීමට බැරි පාලනයකින් වැඩක් නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එය කසල ගොඩ ගැසීමටත් වඩා ඉතාම භයානක වරදක් මෙන්ම මියගිය පිරිසට කරන දැඩි අවමානයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.   

මීතොටමුල්ලේ කසල කන්ද නාය යෑම පිළිබඳව කිහිපවතාවක් අනතුරු ඇඟවීම කළ නමුත් කිසිවෙකුත් ඒවා ගණනකට නොගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මීතොටමුල්ල කසල කන්ද පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ ලැබුණු සාක්‍ෂි අනුව විනිශ්චයකාරවරයා විසින් එම අපරාධයට වගකිව යුත්තන් ලෙස රාජ්‍ය ආයතන පහක් සහ පුද්ගලයින් ගණනාවක් නම් කර තිබෙන බව කී අමාත්‍යවරයා ඒ කිසිම පුද්ගලයකුට හෝ රාජ්‍ය ආයතනයකට මේ වන තෙක් දඬුවම් ලබාදී නොමැති බවද කියා සිටියේය.