‘ෆේස්බුක් වලට ඡායාරූප යවන්න කලින් සිතන්න ඕනෑ’


(ශිරාන් රණසිංහ)

 

අන්තර්ජාලයට හා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට ඡායාරූප හා තොරතුරු යැවීමට පෙර එම තීරණය උචිත ද අනුචිත ද යන්න පිළිබඳව  කිහිප විටක් කල්පනා කළ යුතු බව අධිකරණ මනෝ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී තාරක ප්‍රනාන්දු මහතා පවසයි.

පිදුරංගල ගල මත සිට නිරුවත් ඡායාරූපය ගැනීම, ඒවා සමාජ ජාල වලට මුදාහැරීම හරහා හුදු ජනප්‍රියත්වයක් හා සමාජයේ අවධානය දිනා ගැනීමේ මනෝමය තත්ත්වයක් දක්නට ලැබෙන බව ද මනෝ වෛද්‍යවරයා කියා සිටියේය.

මෙවැනි දෙයක් කිරීමට පෙර එයින්  තමන්ට හා සමාජයට සිදුවන හානිය පිළිබඳ කල්පනා කළ යුතු බවත් එසේ නොකිරීමෙන් ඔවුන්ට මෙන්ම සමාජයට ද හානියක් සිදුවන බව මනෝවෛද්‍ය ප්‍රනාන්දු මහතා පැවසීය.

ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු නොවූ පරිදි තරුණ පිරිස් එය භාවිතයට ගන්නා ක්‍රම වෙනස් වී ඇතැයි ද යමක් කිරීමට පෙර එය තමාට හා සමාජයට කරන බලපෑම පිළිබඳ කල්පනා කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා පැවසීය.

ඒ නිසා යමක් කිරීමට පෙර සිතන්න එවිට හොඳ නරක තේරුම් ගත හැකි වන බවද මනෝ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.