බිඟුන් මේනක ගමගේ
වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දේශපාලන හා නිලධාරින්ගේ හිතවත්කම් මත කිරීමට ඉඩහැර ඇතැයි චෝදනා කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
මෙම තත්ත්වයට මග පෑදී ඇත්තේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාවට නොනැගීම යැයි ද එය ගුරුවරුන්ට කරන බරපතල අසාධාරණයක් යැයි ද එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අංක 2007/20 දරණ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව එහි 2.2 වන වගන්තියේ සඳහන් පරිදි වාර්ෂික ගුරුමාරුවීම් සිදුකිරීමේදී රේඛීය අමාත්‍යාංශය මට්ටමින් ජාතික හා අන්තර් පළාත් ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු වුවද මෙතෙක් එය ක්‍රියාවට නැගී නැතැයි ද එම ලිපියෙන් ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.
පළාත් රාජ්‍ය සේවයේ සිට ජාතික පාසල්වලටත් පළාත් අතරත් වාර්ෂික ස්ථානමාරුවීම් අයැඳුම්කරන ගුරුවරුන් 4000 ට ආසන්න පිරිසක් සිටින නමුත් ඔවුන්ට විධිමත්ව ස්ථාන මාරුවීම් නිර්දේශ ලබාදීම සිදුනොවන බැවින් විවිධ දේශපාලන හා නිලධාරී හිතවත්කම් පසු පස ගොස් මෙම නිර්දේශ ලබාගැනීමට සිදුව ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව 2019 වසරේ සිට හෝ ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.