‘අපි පුදුමාකාර හයියක් තියෙන ජාතියක්’


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

‘දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කරන්න බැහැ.අපි පුදුමාකාර හයියක් තියෙන ජාතියක්.ගමට ක්‍රීඩාව ගෙන ඒම ලොකු දෙයක් යැයි ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය අද (26) කරුවලගස්වැවදී පැවසුවාය.

පුත්තලම කරුවලගස්වැව සාලිය ආදර්ශ මහා විද්‍යාලයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගීවෙමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ බව කීවාය.

එහිදි රුපියල් ලක්ෂ 100 ක් වැය කර ඉදි කරනු ලබන ක්‍රීඩා මණ්ඩපයේ මුල් ගල් තැබිමේ උත්සවයට සුසන්තිකා ජයසිංහ මහත්මිය ඇතුළු ආරාධිතයෝ පිරිසක් සහභාගීවූහ.

එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේ කීවාය.

‘‘අපි අඩුපාඩු ගොඩක් මැද ලෝකය දිනල පෙන්නල තිබෙනවා.පොදු රාජ්‍ය තරග දිනල පෙන්නලා තියෙනවා.ඒ දිනපු උදවිය උනත් අද කොයිතරම් දුරට ක්‍රීඩාව වෙනුවෙන් සේවය කරනව ද? ප්‍රයෝජනයක් ගන්න ව ද? පරණ ක්‍රීඩා කරපු දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ දක්ෂ නිලධාරීන්ව සුදුසු වටිනාකම් දුන්නොත් තමයි හිතෙන්නේ තව ටිකක් බැහැල වැඩ කරන්න" යැයි ඔලිම්පික් පදක්කම්ලාභි ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රියාණි කුලවංශ මහත්මිය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික නාමල් මුතුගල මහතා සහ කරුවලගස්වැව  ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගීවූහ.

මෙම අවස්ථාවේදී ක්‍රීඩා පුහුණු සංචිතයක් ආරම්භ කිරීම,ලක්ෂ 11ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ ලබා දීමද මෙහිදි සිදුකෙරිණි.