ළමා නිවාසවල ගුණාත්මකභාවය ගැන වර්ගීකරණයක්


(බිඟුන් මේනක ගමගේ) 
 
දිවයින පුරා පිහිටි ළමා නිවාසවල ගුණාත්මකභාවය පිළිබඳ වර්ගීකරණයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
දැනට ළමා නිවාස 435 ක් පමණ ලංකාව පුරා පිහිටුවා ඇති බවත් දිස්ත්‍රික් පදනමින් මාසයක පමණ කාලයක් තිස්සේ මෙම වර්ගීකරණය කරන බවත් අබේරත්න මහතා කීය.
 
මෙම වැඩපිළිවෙළ යටතේ ඉතා හොඳ, හොඳ සහ වර්ධනය විය යුතු යන කාණ්ඩ තුනකට ළමා නිවාස බෙදීම සිදුවන බව කී හෙතෙම  පිළිවෙලින් ඒවාට කොල, කහ සහ රතු යන වර්ණ ලබාදෙන බව ද පැවසීය.
 
ළමා නිවාසවල ගුණාත්මකභාවය ඉලක්ක කරගනිමින් සැකැසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා ගැනීම මෙහිදී මූලිකව සිදු කෙරෙන බවත් එම පිළිතුරුවලට දෙන ලකුණුවල පරාස මත වර්ගීකරණ ක්‍රියාවලිය සිදුකෙරෙන බවත් සභාපතිවරයා කීය.
 
මේ වනවිට දිවයින පුරා ලියාපදිංචි හා ලියාපදිංචි නැති ළමා නිවාස ද ඇති බව ද අබේරත්න මහතා කීවේය.
 
මෙම වර්ගීකරණයේදී ලියාපදිංචි නොවූ ළමා නිවාස ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන බව ද අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.