(දයාරත්න ඇඹෝගම)
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා හානි වන්දි ගෙවීමේදී මුදල් වංචාවක් සිදුව ඇති බවට ගොවි සංවිධාන වලින් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පරික්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක සෝමවංශ මහතා අද (16) පැවසීය.
පසුගිය 2016/2017 මාස් කන්නයේ දී හානි වු කුඹුරු වෙනුවෙන් එම ගොවින්ට වන්දි මුදල් ගෙවිමේදී මෙම මුදල් වංචාව සිදුවී ඇති බවට ගොවීහු චෝදනා කරති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟය හේතුවෙන් විනාශ වු කුඹුරු වෙනුවෙන් ගොවීන් 24,400 කට පසුගිය සති කිහිපයේ දී වගා හානි වන්දි ගෙවා තිබිණි.
මෙහිදි වන්දි මුදල් ගෙවිමේදී කිසිදු වගාවක් නොකළ ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 20,000ක වන්දියක් පුර්ණ වගා හානි සිදුවු ගොවීන්ට අක්කරයකට රුපියල් 6000 ක් ද සමහර ගොවීන්ට වන්දි වශයෙන් කිසිම මුදලක් නොලැබුණු බව ද ගොවීහු පවසති.
හොරොව්පොතාන අන්දරගොල්ලැව ගොවි සංවිධානයේ සභාපති එස්.ටි.ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.
මෙම වගා හානි වන්දි ගෙවිමේදී හොරොව්පොතාන අංක 117 ග්‍රාම නිලධාරි වසමේ බරපතල මුදල් වංචාවක් සිදුවෙලා තිබෙනවා. කිසිම වගාවක් සිදු නොකළ පුද්ගලයන් රැසකට හානි වන්දි විදියට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ගෙවලා තිබෙනවා. පුර්ණ හානි වන්දි විදියට අපට ගෙවලා තිබෙන්නේ රුපියල් 6000 ක්, සමහරුන්ට ශතයක්වත් ලැබිලා නැහැ.
කිසිම වගාවක් නොකරපු අයට වන්දි විදියට විශාල මුදලක් ගෙවලා තිබෙනවා.මේ මුදල් වංචාවට ගොවි නියාමකවරු කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් සම්බන්ධ බවට අපට තොරතුරු ලැබි තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අපට සාධාරණ විසදුමක් ලබා දෙන්න කියලා අපි කෘෂිකර්ම ඇමැතිතුමාට මේවන විට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.