හොරකම් කළ වාහන දෙකක් බද්දෙගමින් මතුවෙයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නායිම්බල ප්‍රදේශයේ හෝටලයක නවතා තිබියදී සොරකම් කරන ලදැයි කියන රුපියල් අසූ ලක්ෂයක් වටිනා සුබෝපභෝගී මෝටර් රථයක් හා මෝටර් රථයක් බද්දේගම නිවසක සඟවා තිබියදී එම හෝටලයේ සේවකයකු සමග අද (15) සැකපිට අත්අඩංගුවට ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.

එම හෝටලයේ සේවකයකු ද රුපියල් තිස් පන්දහසක මුදලක් සමග අතුරුදන් වී තිබූ බවද කියැවේ.

සැකකරු එම සුබෝපභෝගී මෝටර් රථයෙන් ඔහුගේ පෙම්වතියගේ නිවසට ගොස් එහි පැවති දානමය පිංකමකට සහභාගී වී පසුව ඇගේ පවුලේ ඥාතීන් සමග සීනිගම දේවාලය වැද පුදා ගැනීමට ද ගොස් තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

පසුව එම වාහන කොටස්වලට ගලවා රුපියල් පන්ලක්ෂයක මුදලකට විකිණීමට සැලසුම් කර තිබුණ බව ද පොලීසිය කියයි.

මෙම සොරකම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.