හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි


අනීෂා මානගේ
 
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගව මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (17) දහවල් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙස් පරිදි වැටලීම සිදුකල අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරු ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී තංගල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. 


අත්අඩංගුවට පත්වූ සැකකරු තංගල්ල නලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගව මස් කිලෝග්‍රෑම් අනූපහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ත්‍රී රෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. 


හම්බන්තොට සිට තංගල්ල නගරය වෙත ගව මස් ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී ඇති බලපත්‍රය උපයෝගී කරගෙන තංගල්ල නලගම ප්‍රදේශයේ සිට තංගල්ල නගරයේ පිහිටි ගවමස් අලෙවිසැළක් වෙත මස් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.