(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
පන්විල- බඹරැල්ල මාර්ගයේ පිහිටි හුලුගග පාලම අසල කොටසක් ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් පාලම මතින් රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.
වත්තේගම හරහා නකල්ස් සංචාරක කලාපයේ සංචාරයේ යෙදෙන සංචාරක පිරිස් මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා ඉල්ලා සිටියි.
මෙම මාර්ගය වසා දැමීම නිසා හුලුගග නගරය, කොස්ගම, බැද්දේගම, ගොමරය, තවලන්තැන්න, බඹරැල්ල ආදී ගම්මානවල ජනතාවගේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපන වී ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බවත්, එම ප්‍රදේශවල ජනතාවගේ තේ දළු ප්‍රවාහනය කිරීම ඇතුළු අනෙකුත් දෛනික කටයුතුවලට මේ හේතුවෙන් ගැටළු මතුව ඇති බවත් පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදන්ත ලියනගේ මහතා පැවැසීය.
හුලුගග හරහා ඉදිකර ඇති මෙම පාලම සුදු අධිරාජ්‍යවාදී යුගයේ සකස් කරන ලද ඉතාමත් පැරණි පාලමක් බවත්, එය අබලන්ව පැවැතීම නිසා වෙනත් පාලමක් එම පාලමට යාබදව මේ දිනවල ඉදිකරමින් යන බවත් ඒ මහතා කීය.