හිස පීරන පනාවක් හෙරොයින් ජාවාරමට යොදා ගත් අයෙක් අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවකු අද (3) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවස්ථා තුනකදී අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටියදී අධිකරණය මග හැර වරෙන්තු ලබා සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

පොලිසිය විසින් සැකකරු රැඳී සිටි නිවස සෝදිසියට ලක්කර ඇති අතර එහිදී කිසිදු දෙයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.පසුව සැක සහිත හිස පීරන පනාවක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් එහි සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.