රංජිත් රාජපක්ෂ
හැටන් ලංගම ඩිපොවේ ඉහළ තනතුරු බෙදා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වූ ආධාරකරුවන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දැක් වු ආධාකරුවන් අතර පොරයක් පවතින බව එහි ඩිපෝ ආරංචි මාර්ග පවසයි.
ඩිපෝ කළමණකාර, සහකාර කළමණාකාර (ධාවන), සහකාර කළමණාකාර ඉංජිනේරු, සහකාර කලමණාකාර (මුදල්) යන තනතුරු සදහා එම ආධාරකරුවන් අතර තරගයක් පවතී.
එම තනතුරු සඳහා ඉදිරි පත් වී සිටින කිසිවෙකුටත් සේවා කාලය හැර වෙනත් කිසිදු සුදුසුකමක් නොමැති බව පැවසේ.
එම ඩිපෝවේ ධාවනය කරවන බස් රථවල රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා ද එම පක්ෂ දෙකේ ආධාකරුවන් අතර දැඩි තරගයක් පවතින බවත්, මෙම තරගකාරි තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයට සහයෝගය දුන් ආධාරකරුවන් තමන් දැනට දරණ තනතුරුවල අවිනිශ්චිත භාවයක් ඇතිව තවදුරටත් එම ඩිපෝවේ රාජකාරි සිදු කරමින් සිටියි.
මෙම තත්ත්වය හමුවේ එම ඩිපෝවේ උසස් තනතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදුන් ආධාරකරුවන් පිරිසකගේ නාම ලේඛනයක් නාරහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටි එම පක්ෂ කාර්යයාලය වෙත යොමු කර ඇති බව එම ඩිපෝ ආරංචි මාර්ග පවසයි.